අපි ජනප්‍රිය නිසානේ ඔය වගේ ප්‍රශ්න අහන්නේ-ශිරෝෂි රොමේෂිකා



ශිරෝෂි රොමේෂිකා කියන්නේ කවුරුත් ආදරය කරන පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්ත සුරූපී දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්. ශිරෝෂි රොමේෂිකා සහ අමල් පෙරේරාගේ ආදරණීය කැදැල්ලට එකතුවුණු දෝණි මෙරීසා අමාෂි පෙරේරා. ශිරෝෂි මේ වෙද්දී වැඩි කාලයක් කැප කරලා තියෙන්නේ දුව සහ ඇයගේ ආදරණීය පවුල වෙනුවෙන්. ඒ අතරතුර ලැබෙන නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්නත් ඇය අමතක කරලා නැහැ. මේ සොඳුරු කතාබහ ශිරෝෂි රොමේෂිකා සමඟ


මේ දවස්වල නිර්මාණ කටයුතු කොහොමද?


ස්වර්ණවාහිනියේ රාත්‍රී 9.30ට විකාශය වන රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කරන 1990 Love born in the heart අනූව දශකයේ ආදර කතාව නාට්‍යයේ ඉන්නවා. මේ දවස්වල විකාශය වන නාට්‍යයකට තියෙන්නේ ඒ නාට්‍යය විතරයි. ඒ හැර තව අලුත් නිර්මාණ තුනකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ දේවල් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි.


1990  Love born in the heart අනූව දශකයේ ආදර කතාවට කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම ඒ නාට්‍යයේ මම කරන්න හිටියේ වෙන චරිතයක්. මගේ ඇක්සිඩන්ට් එක වෙන්න කලින් තමයි එහි ඇග්‍රිමන්ට් එක අත්සන් කරලා හිටියේ. මම පුදුම ආසාවෙන් හිටිය චරිතයක්. නමුත් ඒක කර ගන්න ලැබුණෙ නැහැ. ඊට පස්සේ රනිල් අයියා වෙනම චරිතයක් මට දීලා මාව සම්බන්ධ කර ගත්තා. මම දැන් හිතනවා කලින් කරන්න හිටිය චරිතයට වඩා මේ දැන් කරන නාත්ගේ නංගිගේ චරිතය හොඳයි කියලා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතයක් මම කරන්නේ. ගොඩක් අහිංසක චරිතයක්. ඒ නිසා ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරේ කරන චරිතයක් වෙලා තියෙනවා. මට ලැබෙන ප්‍රතිචාර එක්ක මට දැනෙනවා. මම ඒක සාර්ථකව කරනවා කියලා.


දැන් සුපුරුදු විදියටම නිර්මාණ භාර ගන්නවද?


ඔව්. එහෙම තමයි හිතාගෙන ඉන්නේ.


නර්තන කටයුතු කොහොමද?


නර්තනය පැත්තෙන් ලොකු වෙනසක් කරන්න මම බලපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් මට සිදුවුණු හදිසි අනතුරත් එක්ක මගේ දණහිසක පොඩි ආබාධයක් තියෙනවා. ඒකට බෙහෙත් කරලා තමයි නර්තනය පැත්ත හිතන්න ඕනේ. ඒ නිසා මේ දවස්වල නම් නර්තනය පැත්තෙන් මුකුත් වෙන්නේ නැහැ.


චිත්‍රපටවලටත් සමබන්ධ වුණාද?


නැහැ. ඇත්තටම කිව්වොත් මට ආරාධනා ලැබුණේ නැහැ. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක් ද කියලා. සමහර විට මම කාලයක් වැඩ කරපු නැති නිසා කට්ටියට මාව අමතක වෙලා ද කියලත් කියන්න බැහැ. හැබැයි දැන් වැඩ කරන නිසා ඉස්සරහට බලාපොරොත්තුවක් තියෙනවා මට හොඳ ආරාධනාවක් ලැබෙයි කියලා.


හොඳ නිර්මාණයක් කියලා ශිරෝෂි මතු කරේ, රංගනයට සීමාවන් තියෙනවද?


මෙ‌ෙහමයි. මට ඒක ඒ කාලේ ඉඳන් තිබ්බ දෙයක්. නිළියක් වුණාම එහෙම සීමාවන් එක්ක රඟපාන්න අපහසුයි කියන එක පිළිගන්නවා. නමුත් අපි ඉන්න ලංකාවේ විදියත් එක්ක අපිට එහෙම සීමාවන්වල ඉඳලා වැඩ කරන්න සිද්ධ වෙනවා. දැන් මට දුවෙක් ඉන්නවා. එයාගේ අනාගතය ගැන හිතන්න ඕනේ. අනාගතයේදී සමාජයට මුහුණ දෙන්න පුළුවන් විදියට කරන්න පුළුවන් නිර්මාණ භාර ගන්නවා.


වැඩසටහනකදී කියලා තිබ්බා සැමියා (අමල් පෙරේරා) එක්ක නම් රණ්ඩු වෙන්නෙම නැහැ කියලා, ඇත්තටම ද ඒ කිව්වේ


ගෙදර විස්තර වැඩසටහන්වල කියන්න ඕනෙ නැහැනේ. ඒ නිසා එහෙම කිව්වා. ඕනෙම පවුලක් ඇතුළේ ප්‍රශ්න තියෙනවා. ඒවා සාමාන්‍යයයි. අපි ජනප්‍රිය නිසානේ ඔය වගේ ප්‍රශ්න අහන්නේ. ඒ ප්‍රශ්නවලට ඔහොම උත්තර දීලා ඉන්න එක තමයි හොඳම.


ඒක දැකලා අමල් අයියා මොකද කිව්වේ


එයා ඒවාට මුකුත් කියන්නේ නැහැ. මොකද එයා දන්නවනේ මම කවුද කියලා.


දෝණිට දැන් අම්මා නිළියක් කියලා තේරෙන වයසනේ, කොහොමද එයාගේ ප්‍රතිචාර


මම කොහේ හරි ගමනක් යන්න ලැස්ති වුණාම, මේ ඇඳුම අම්මට ලස්සනයි. මේ සපත්තු දෙකත් මේකට ගැලපෙනවා වගේ දේවල් මට කියනවා. එයා හරි ආසයි මේකප් කරන්න. ෆැෂන් කරන්න ආසයි. අපි කියන ඇඳුම ලේසියෙන් එයා අඳින්නේ නැහැ. ගමනක් යන්න ගියාම යුද්ධයක් වගේ.


අනාගතයේ ඇයත් කලාවට එයි කියන ලක්ෂණ පෙන්නුම් කරනවද?


ඔව්. හැබැයි කොහොම වෙයිද කියන්න බැහැ. තාම එක වසරේ ඉන්නේ. එයා කැමති මාර්ගයක් එයා අනාගතයේදී තෝරා ගනීවි. අපි දෙන්නා බලපෑම් කරන්නේ නැහැ. එයාට නිදහස දීලා තියෙනවා.


ශිරෝෂි රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?


මම කැමතියි මේ ඉන්න ස්වරූපයෙන් එහාට ගිය චරිත කරන්න. ඒ වගේම ටිකක් මනස විකෘති වුණු චරිතයක් කරන්නත් ආසයි.


ක්ෂේත්‍රයේ ඉන්න හොඳම යාළුවා කවුද?


වොල්ගා කල්පනී. එයා තමයි මගේ ළඟින්ම ඉන්න යාළුවා.


ශිරෝෂි සිහින දැක්කේ කලාවට එන්නද? නැත්නම් අහම්බෙන් ආව ගමනක් ද?


ඇත්තටම අහම්බෙන් ආව ගමනක්. පොඩි කාලේ අවුරුදු ඉඳන් මම සෝමා ගමගේ මිස් යටතේ උඩරට නර්තනය හැදෑරුවා. ඊට පස්සේ මගේ ජීවිතේ වැඩි ඉඩක් දුන්නේ නර්තනයට. සමස්ත ලංකා තරගවලින් ජයග්‍රහණ අරන් තියෙනවා. හැබැයි ජීවිතේට හිතුවේ නැහැ නිළියක් වෙයි කියලා. ඔය අතරේ මගේ තාත්තා සිරසේ ගිය තරුමංසලට ඇප්ලිකේෂන් එකක් දාලා තිබ්බා. එතැනින් පණිවිඩයක් ආවා මට එන්න කියලා. එතැනදි කාණ්ඩ දෙකකට මාව සිලෙක්ට් වුණා. ඊට පස්සේ නිල්වලා ආයතනයෙන් කරපු මියුසික් වීඩියෝ වලට කතා කළා. ආයෙමත් මට සහ මගේ යාළුවට නිල්වලා ආයතනයේ ලලිත් අයියා කතා කළා. නාට්‍යයක ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කියලා කිව්වා. ඇත්තටම යාළුවාව තමයි තෝරා ගන්න හිටියේ. නමුත් එයාට දෙබස් මතක හිටින්නේ නැති නිසා මාව තෝරා ගත්තා. ඒ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු “කොට උඩ මන්දිර“ ටෙලි නාට්‍යය. එහෙම තමයි මේ ගමන ආවේ.


ජීවිතේ ගැන අද මොකද හිතන්නේ?


අපි කාලෙන් කාලෙට ලබන ජීවිත අත්දැකීම්වලට මුහුණ දෙමින් මේ ගමන යනවා. මම හිතනවා මාව බාහිරින් පෙනෙනවාට වඩා හිතින් ශක්තිමත් ගැහැනියක් කියලා. ඒ විදියටම මම ජීවිතේට එන ප්‍රශ්නවල‍ට මුහුණ දෙන්න බලපොරොත්තුවෙන් ඉන්නවා.


ශිරෝෂි කියන්නේ මොන වගේ කෙනෙක් ද?


මෙහෙමයි ඕනෙම කෙනෙක්ගේ දුකකදී මගේ හිත උණු වෙනවා. තව කෙනෙක්ට වරදක් කරන්න හිතින්වත් හිතන්නේ නැහැ. තව කෙනෙක්ට මම ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇත්තටම මම ආසයි මට වඩා කෙනෙක්ට හරි යනවට. මම ඒකට උදව් කරනවා. ඒ වගේම මගේ ජීවිතේ දිහා බැලුවොත් මගේ අම්මාට වඩා දේවල්වලට මම මුහුණදීලා තියෙනවා. ඒ දේවල් එක්ක අදටත් මේ විදියට ඉන්නවා කියන්නෙම මම මාව දකින්නේ ශක්තිමත් කෙනෙක් විදියට.


අද ක්ෂේත්‍රයට අලුත් අය බොහොමයක් එනවා, ඒ අය ශිරෝෂිට අභියෝගයක් ද?


නැහැ. තමන්ට තමන්වයි අභියෝගයක් වෙන්න ඕනේ. මට දැන් මාව අභියෝගයක් වෙලා තියෙන්නේ. මම දකිනවා අලුත් පරම්පරාව තුළ දක්ෂයින් ඉන්නවා. හැබැයි අපි එකිනෙකාගේ හැකියාවන් වෙනස් නිසා ඒ කිසිකෙනෙක් මට අභියෝගයක් වෙලා නැහැ. මට මාවයි අභියෝගය. ඉන්නකෝ මම කරලා පෙන්වන්නම් කියන තැන මම ඉන්නේ.


අනාගත බලාපොරොත්තු මොනවද?


ඉස්සර නම් තිබ්බ සෑහෙන බලාපොරොත්තු. දැන් මම ආසයි හොඳම නිළිය කියන සම්මානය ගන්න පුළුවන් තැනට මට රඟපාන්න. ඒක මගේ සිහිනයක්. ඒ වගේම මගේ දෝණිගේ හීන වලට යන්න එයාට සහයෝගය දෙමින් එයා එක්ක ඉන්න එක තමයි සිහිනය.





Previous Post Next Post