සමහරු මේ සිංදුව පිරිත් වගේ ඇහුවාලු- පියත් රාජපක්ෂ




දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවි කියලා කියන්නෙ මේ දවස්වල තරුණ පරපුර උන්මාදයෙන් වගේ වැලඳගත් ගීතයක්. ඒ ගීතයට මියුරු හඩින් පණ දෙන ඔහු නමින් පියත් රාජපක්ෂ. රියැලිටි වේදිකාවෙන් ක්ෂේත්‍රයට පැමිණ රසික රසිකාවියන් අතර ආදරය දිනාගත් පියත් පිළිසඳර සමඟ එකතු  වුණා.

 කොහොමද මේ දිනවල වැඩකටයුතු?


වැඩකටයුතු නම් හොඳින් කරගෙන යනවා. මගේ සංගීත කණ්ඩායමේ වැඩ සහ ගීත කිහිපයක වැඩකටයුතු එක්ක තමයි මේ දවස් ගතවෙන්නෙ.


දවසක් ඒවි ගීතය රසිකයන් ගොඩක් ආදරයෙන් වැලඳගත් ගීතයක්. ඒ ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද?


දවසක් ඒවි කියන්නෙ පෞද්ගලිකව මටත් ඉතා සමීපකමක් තියෙන ගීතයක්. මගේ ජීවිතයේ මට සමීපම මගේ ආදරයත් එක්ක හැදුණු ගීතයක්. ඒකෙ වචනවල තියෙන හැඟීම නිසා වෙන්න ඇති රසිකයන් මෙතරම් ආදරයෙන් වැලඳගත්තෙ. මටත් හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා. සමහරු කිව්ව එයාලගෙ ජීවිතේ කඩන් වැටුණු අවස්ථාවල ආපහු නැඟිට්ටෙ මේ සින්දුව නිසා කියලා. සමහරු ගෙදර පිරිත් අහනවා වගේ ගීතය අහනවා කියලා කිව්වා. ඒ තරම් මිනිස්සු ගීතයට ආදරය කළා.


අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?


අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරලා තියෙන්නෙ. එම ගීතවල මියුසික් වීඩියෝවල වැඩකටයුතු තමයි සිදු කිරීමට තිබෙන්නෙ. ඒ වැඩකටයුතු අවසන් වුණු ගමන් අලුත් ගීත එළිදක්වනවා.


ඔබ වැඩිපුර ගීත නිර්මාණයට යොමු වුණු කෙනෙක් නෙවෙයි. රියැලිටි තරගාවලියකින් ක්ෂේත්‍රයට පැමිණි කෙනෙක් විධියට ඔබට හිතෙන්නෙ නැද්ද මේක රසිකයන්ට කරන අසාධාරණක් කියලා?


එහෙම හිතෙන්නෙ නෑ. මොකද මම ගීත කිහිපයක්ම කළා. නමුත් මගෙ මෙගා හිට් එක දවසක් ඒවි ගීතය. මම ගොඩක් ගීත කළේ නෑ කියලා ප්‍රේක්ෂකයො මට ක්ම්ප්ලේන් කරලා නෑ. මොකද එයාල දන්නවා මම පරක්කු වෙලා හරි හොඳ නිර්මාණ එයාලට දෙනවා කියලා.


ඔබේ වැඩකටයුතුවලට සඳනිගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


සඳනිගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම නිර්මාණයක් කළාම මුලින්ම එයාට තමයි පෙන්නන්නෙ. එයා තමයි මගෙ පළමුවැනි රසිකාවිය.   එයාගෙනුත් මං අදහස් ගන්නවා.


ආදරය සහ විවාහය පිළිබඳ ඉදිරි බලාපොරොත්තු මොනවාද?


විවාහ වෙන්න ඕන කාලය නම් ඇවිල්ලා තිබෙන්නෙ. නමුත් ඊට කලින් අපි දෙදෙනාට තනි තනිව ළඟා කරගන්න ඕන අරමුණු සහ බලාපොරොත්තු කිහිපයක් තිබෙනවා. ඒ දේවල් ළඟා කරගත්තට පසුව විවාහ වෙනවා කියලා තමයි අපි දෙන්නම හිතාගෙන ඉන්නෙ.


රියැලිටි තරගාවලිවලින් බිහිවන ගායන තරු ස්වතන්ත්‍ර නිර්මාණ සිදු කිරීමට පෙලඹෙනවා අඩුයි. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?


ගීතයක් නිර්මාණය කරනවා කියන්නෙම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මම ගීත ගායනා කරනවා වගේම මගේ ගීතවල තනු නිර්මාණය සහ යම් මට්ටමකින් පද රචනය කර ගැනීමටත් හැකියාව තිබෙනවා. ඒ නිසා ගීතයක පළමුවැනි පියවර ටික තනිවම කර ගැනීමේ හැකියාවක් මට තිබෙනවා. ඒ නිසා මට වියදම ටිකක් පාලනය කරගැනීමේ වාසිය තිබෙනවා. නමුත් හැමෝටම ඒ දේ කරගන්න බැරි නිසා ගීතයක් නිර්මාණට ලොකු වියදමක් යනවා.


රියැලිටි තරගාවලිවලින් බිහිවන ගායක ගායිකාවන් බහුතරයක් අද වන විට ක්ෂේත්‍රයේ දකින්නවත් නැති තරම්. ඔබ හිතන විධියට මොකක්ද මෙයට හේතුව?


සුපර් ස්ටාර් වුණාට පසුව මට අවබෝධයක් තිබුණෙ නැහැ ඊළඟට කරන්න ඕන මොකක්ද කියලා. රියැලිටි තරගාවලියකින් ජයග්‍රහණය කළාට පසුව අපි නොහිතන තරම් පිරිසක් අප වටා එකතු වෙනවා. මියුසිකල් ෂෝ බොහෝමයකට ආරාධනා ලැබෙනවා. මේ කාලයේදී බොහොමයක් රියැලිටි තරුවලට තමන්ගෙම දෙයක් කර ගැනීමට අමතක වෙනවා. අපි ඉදිරියේදි කරන්න ඕන මොකක්ද කියලා මඟපෙන්වන්න කෙනෙක් හිටියෙ නෑ. මම හිතනවා බොහෝ දෙනෙක්ට ක්ෂේත්‍රයේ රැ‍ෙ¾දන්න බැරි මේ හේතුව නිසා වෙන්න ඇති කියලා. මම හිතනවා මේක රූපවාහිනි නාලිකාවලත් වගකීමක් කියලා. මම රියැලිටිවලින් ආපු නාලිකාවෙන් මට උදවු කළේ නෑ කියලා කියන්නෙ නෑ. නමුත් ගීත නිර්මාණ පැත්තෙන් සහයෝගයක් තිබිය යුතුයි. මොකද අපි ඒ චැනල් එකේ ප්‍රඩක්ට් එකක්. අපි යන්න ඕන හරි පාර පෙන්නන එක එයාලගෙ වගකීමක්. එයාල ගෙනාපු ස්ටාර් කෙනෙක් අද හොඳ තැනක ඉන්නවා කියන එක චැනල් එකටත් හොඳයි.


රංගන ක්ෂේත්‍රයට එන්න අදහසක් නැද්ද?


කොහෙත්ම නෑ. මම ගොඩක් ආසයි රඟපාන්න. මියුසික් වීඩියෝවල නම් පොඩි රංගනයක යෙදෙන්න වෙනවනෙ. නමුත් මට දෙබස් කියන්න බෑ. ඒක කරන්න ගියොත් මම අසාර්ථක වෙයි කියලා හිතෙනවා. නොදන්න දේවල් කරන්න යනවට වඩා දන්න දේ කරන් ඉන්න එක තමයි හොඳම දේ කියලා මට හිතෙනවා.


ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


මගෙ අලුත් ගීත කිහිපයක් රිලීස් වෙන්න තියෙනවා මේ අවුරුද්දෙ. ඒක තමයි දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව.


චමෝදි පෙරේරා





Previous Post Next Post