අපි මේ චිත්‍රපටය කළේ නිර්මාංශ වී පේ වෙලා-එඩ්වඩ් ජයකොඩි




සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන ලද ‘ගුත්තිල’ චිත්‍රපටය මේ දිනවල තිර ගතවේ. එහි ගුත්තිල ඇදුරිඳු ගේ චරිතය නිරූපණය කරනුයේ මෙරට ප්‍රවීණතම ගායකයකු, සංගීතඥයකු වන විශාරද එඩ්වඩ් ජයකොඩි විසිනි. ගුත්තිල නැරඹූ සැණින් ගුත්තිල ඇදුරුතුමන් ගේ චරිතයට එඩ්වඩ් තරම් සුදුස්සෙකු තවත් නැතැයි සිතෙන තරමට ඔහු චිත්‍රපටය තුළ ගුත්තිල ඇදුරිඳු වී ඇති බව අපට පසක් විය. සිනමා රංගනයට එඩ්වඩ් ආධුනිකයකු වුවද, ගුත්තිල ඇදුරු තුළින් ඒ ආධුනිකත්වයේ ලක්ෂණ කිසිවක් ප්‍රකට නොවීය. එඩ්වඩ් ගේ මේ අපූරු රංගනයේ සුවිශේෂතා ගැන විමසන්නට පසුගිය දිනක අපි ඔහු හමුවූයෙමු.


එඩ්වඩ් ජයකොඩිට ගුත්තිල ඇදුරු හමුවුණේ කොහොමද?


අපේ තිස්ස නාගොඩවිතාන මහත්මයා මාව දකින වාරයක් වාරයක් පාසා මා දිහා අමුතු විදියට බලනවා. අපි දෙන්නා උත්සවයකදි හමු වුණත් ඔහු මා ළඟින් වාඩිවෙනවා. මා දිහා බලාගෙන ඉන්නවා. ටික කාලෙක ඉඳලා නාගොඩවිතාන මහත්තයා ඔය වැඩේ කළා. මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. ඔහොම අවුරුදු කීපයක් ගෙවිලා ගියා. දවසක් ඔහු මට මුණ ගැහැනු වෙලාවක කිව්වා, “අපි චිත්‍රපටයක් කරනවා. ඒකේ ප්‍රධාන නළුවා ඔබ” කියලා. මට ඉතින් සමහරු විහිළුත් කරනවනේ. ඒ නිසා මම හිතුවා මේකත් විහිළුවක් තමයි කියලා. ඒ හින්දා මම කිව්වා. ඔව් ඉතින් පික්චර් එක දුවන්න ඕන නම් වෙන කවුරු හරි දාගන්න. පික්චර් එක නිකං ආසාවට කරනවා නම් මං එන්නම් කියලා. ඊටත් ටික දවසකට පස්සේ තමයි ඔහු මට හමුවෙලා කිව්වේ “ ‘ගුත්තිල’ චිත්‍රපටය කරනවා. ප්‍රධාන නළුවා ඔයා තමයි” කියලා කිව්වේ.


 


ඉතිං ඔබේ ප්‍රතිචාරය වුණේ කුමක්ද?


මම කිව්වා විහිළු කරන්න එපා. මට ඒක අදහගන්නත් බෑ. කියලා. ඊට පස්සේ එතුමා මට කිව්වා මම මේ චරිතය කළේ නැතිනම් මේ චිත්‍රපටය කරන්නේ නෑ කියලා. ඇත්තටම මේ ආරාධනාව මට විශාල ගෞරවයක්. චිත්‍රපටය කරන්න අවුරුදු පහකට විතර වගේ කලින් තමයි ඔවුන් මට මේ යෝජනාව අරන් ආවේ. පස්සේ මම ඒ චරිතය කරන්න කැමැති වුණා. හැබැයි ඉතින් කනගාටුවට කාරණය තමයි චිත්‍රපටය තිරගත වෙන අවස්ථාව වෙනකොට එතුමන් ජීවතුන් අතර නැති වීම. නමුත් එතුමා මිය යන්නට පෙර චිත්‍රපටය නරඹලා තිබුණා. දැන් එතුමාගේ පුතා හරේන් නාගොඩවිතාන සහ දිලිනි ද සිල්වා තරුණ යුවළ තමයි මේ කටයුතු ඉදිරියට කරගෙන යන්නේ. මේ තරුණ යුවළට පුළුවන් තමන්ගේ ප්‍රාග් ධනය ලංකාවේ වෙන ඕන බිස්නස් එකකට යොදවන්න. එහෙම යොදවලා ආර්ථික වාසී ලැබිය හැකි ඕන තරම් අවස්ථාත් ඔවුන්ට තිබෙනවා. එහෙම තියෙද්දි මේ වගේ ඓතිහාසික කතාවක් සිනමාවට නඟලා, මේ රටේ ජනතාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන ඒමේ වැඩපිළිවෙළකට දායක වෙනවා. අනිත් පැත්තෙන් මේ කතාව ලංකාවේ පාසල් විෂය නිර්දේශයේ තිබෙන, පාසල් ළමයින්ට වැදගත් වන, දෙමව්පියන් පොඩි කාලේ කියවපු, පුංචි කාලේ ගුත්තිලයේ කවි කියවපු අයට තමයි ඉදිරිපත් කරන්නේ. අපි දන්න කතාවක් ආපහු ක්‍රමවත්ව විධිමත්ව කියවනකොට හරි රසවත්නේ. සමහර අය මේ කතාව දැනගත්තට චිත්‍රපටය බලනකොට සමහර සියුම් තැන් අල්ලගන්න හැකි වේවි. ඇත්තටම මේ වගේ කතාවක් සිනමාවට නැඟීමට උනන්දුවීම අපි අගය කරන්න ඕන කාරණාවක්.


 


ඔබේ ප්‍රථම සිනමා රංගනය ‘ගුත්තිල ඇදුරිඳු. මොනවද දැනුණේ ඔබට?


මම චිත්‍රපටයක ප්‍රථම වතාවට තමයි ප්‍රධාන චරිතයක් රඟපාන්නේ. එදා මම මේ චරිතය බාර ගන්නකොට හිතුවා මේ මගේ ප්‍රථම රංගනය වගේම අවසාන රංගනයද වෙනවා කියලා. කොහොම වුණත් ගුත්තිල ඇදුරුතමාගේ චරිතය මට සමීප පසුබිමක්. ඒ මොකද මගේ විෂය සංගීතය නිසා. මම ඉස්සර ඉඳලම ගුත්තිලයේ කවි වලට ආසයි. පොඩි කාලේ සාහිත්‍ය පාඩම කරනකොට අපි ආසාවෙන් ඉගෙන ගත්ත කවි. ගමේ හැදුණ අය නිසා මේවා ඉතාම හොඳීන් අපි ඇසුරු කරලා තියෙනවා. ඒක නිසාම තමයි මම බය වුණෙත්. මම නිරුපණය කරන්නේ මහ බෝසතාණන් වහන්සේගේ එක්තරා ආත්මයක්. ඒක හරි බැරෑරුම්ව කළ යුතු එකක්. රංගනයේදි මට සියලුම රංගන ශිල්පින් උදව් කළා. මේ චිත්‍රපටයේ මාත් එක්ක රංගනයේ යෙදෙන බොහෝ දෙනා රංගනයේ මට වඩා ප්‍රවීණයෝ. මම හිතන්නේ මම තමයි එතන හිටිය ආධුනිකම කෙනා. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්, අයිරාංගනී සේරසිංහ මැතිනිය, ශී‍්‍රමාල් සත්‍යජිත්, වීණා ජයකොඩි, සනත් ගුණතිලක, යශෝදා විමලධර්ම ඇතුව මේ හැම දෙනාම මට මෙතනදි හරියට උපකාර කළා. ඒ නිසා ඒ හැම දෙනාටම මගේ ගෞරවය මේ වෙලාවේ පිරිනමන්න ඕන.


 


ඔබ මේ චිත්‍රපටයේ රඟපාමින් ගයනව?


ඇත්තටම මට මුලින්ම ආරාධනා කළේ චිත්‍රපටයේ රඟපාමින් මෙහි සංගීතය අධ්‍යක්ෂණය කරන්න. මට ඒක මහා බැරැරුම් කාර්යයක් වුණා. ඒ නිසා මම රංගනය විතරක් තෝර ගත්තා. සංගීත අධ්‍යක්ෂණය කළේ දිනේෂ් සුබසිංහ. ඔහු අපට හිතා ගන්නවත් බැරි ආකාරයට මේ චිත්‍රපටයට හරි ලස්සනට සංගීතය නිර්මාණය කළා. රංගනයත් සමඟ ගීත ගායනයත් දෙබස් උච්චාරණයත් මමම සිදුකළ නිසා මට හිතෙනවා ලොකු විශ්වසනීයත්වයක් මේ තුළ ගොඩ නැඟෙනවා කියලා.


ඇත්තටම මේ කතාව උපකල්පිත නිර්මාණයක්. මුළු කතාවම ගත්තම උපකල්පනය වෙන්නේ වෙනම යුගයක්. මේ යුගය වෙනකොට වීණාවට සමාන සංගීත භාණ්ඩ තිබෙන්නේ සිතාර්, එස්රාජ්, ඩිල්රුබා සහ දක්ෂීණ භාරතයේ වීණාව. අපි කියන මේ උපකල්පිත යුගයේ මේ සංගීත භාණ්ඩ නිර්මාණය වෙලා නැති යුගයක්. සමහර විට අපි වීණාව විදියට පාවිච්චි කරන සංගීත භාණ්ඩය කෙනෙකුට හිතන්න පුළුවන් සිතාරය කියලා. එහෙම නැතිනම් එස්රාජය කියලා හිතන්න පුළුවන්. දකුණු ඉන්දියානු වීණාව බිම තිරස් අතට තියලා තමයි වාදනය කරන්නේ. නමුත් අපේ මේ වාදන ඉරියව් වෙනස්. කෙනෙක් බලයි ඇයි වීණාව මේ විදියට වාදනය කරන්නේ කියලා. අතේ රඳවා ගන්න ක්‍රමවේදයේ ඉරියව් වෙනස්. දැන් සංගීතය හදාරන ශිෂ්‍යයකුට හිතෙන්න පුළුවන් ඔහු දැකලා තියෙන විදියට නොවෙයිනේ මේවා අල්ලගෙන ඉන්නේ කියලා. මේක වාදනය කරන විදිය වැරදියිනේ කියලා හිතන්න පුළුවන්. ඒනිසා මේ චිත්‍රපටය බලනකොට ඒ මනසින් බලන්න එපා. මේක අලුත්ම භාණ්ඩයක්. අලුත්ම ඉරියව්වක්. අලුත්ම රඳවා ගැනීමේ ක්‍රමයක්.


ඔබ රාජ සභාවේ ගයනවා වයනවා. ඔබත් සමඟම මූසිලත් ගයනවා වයනවා. කොහොමද ඒ අත්දැකීම?


රාජ සභාවේ සංගීතඥයා විදියට මුලින්ම මම ගයනවා. වයනවා. පසුව මුසිල පැමිණීමෙන් පසු අපි දෙන්නම ගයනවා වයනවා. මුසිලට රඟපාන්නේ අඛිල ධනුද්දර. අපි දෙදෙනාගේ වාදනයන් හරිම ලස්සනට දිනේෂ් නිර්මාණය කර තිබුණා. ඒවා වාදනය කරන්නත් අපි සෑහෙන්න පුරුදු පුහුණු වුණා. අනිත් එක මාත් සමඟ ගායනයට එක් වෙන්නෙත් අඛිලමයි. කොහොම වුණත් අපි මේ චිත්‍රපටයම කළේ මස් මාශ වලින් තොරව පේ වෙලා. මට නම් ඉතින් අලුතින් පේ වෙන්න දෙයක් නෑ. මම කවදත් නිර්මාංශයි නේ.


මට විශේෂයෙන් මෙතනදි කියන්න තියෙන්නේ අපේ පාසල් විෂය නිර්දේශයෙත් ගුත්තිල කාව්‍ය අඩංගු නිසා කොහොම හරි මේ චිත්‍රපටය දරුවන්ට පෙන්වන්න කියලයි. අධ්‍යක්ෂ සනත් අබේසේකර මෙතෙක් කරපු හොඳම ඓතිහාසික තිර පිටපත මේක කියලයි මට දැනුණේ. මේ තිර පිටපත හරිම ප්‍රබලයි. අපි සාකච්ඡාවට කිහිපයක්ම තියලා තමයි මේ කතාව කරන්න පටන් ගත්තේ.


ඉතින් මම මේ වෙලාවේ ආරාධනා කරනවා විශේෂයෙන් අපේ පාසල්වල විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන බලධාරීන්ට මේ චිත්‍රපටය දරුවන්ට පෙන්වන්න උත්සුක වෙන්න කියලා. මේ දවස්වල දරුවෝ ඉන්නේ වෙනම මානවල. වෙනම කෝණවල. මේක ජාතක කතාවක් කියනවා වගේ දෙයක් නොවෙයි. සංගීතමය චිත්‍රපටයක්. ඒ සංගීතය වුණත් කෙනකුට හිතන්න පුළුවන් අයියෝ මේ සිතාරය වීණාව වගේ භාණ්ඩ එක්ක ශාස්ත්‍රීය වාදන අහන්න අපට අමාරුයි කියලා. නමුත් එහෙම දෙයක් මෙතන නෑ. නූතනයත් එක්ක මුහුකරලා තමයි හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. දැනටමත් විදුහල්පතිවරුන් නරඹලා අපට ප්‍රශංසා මුඛයෙන් කතා කරලා තිබෙනවා. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් නරඹලා මේ පිළිබඳ විශේෂ ඇගැයීමක් කරලා තියෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටය පවුලේ හැමෝටම නැරඹිය හැකි චිත්‍රපටයක්. චිත්‍රපට නිෂ්පාදකවරු වශයෙන් හරේන් සහ දිලිනි අත ගහල තියෙන්නේ විශාල කර්තව්‍යයකට. අපි නොහිතන ආකාරයේ අති විශාල මුදලක් වියදම් කරලා. ඉතින් ඒකට වැඩිහිටියෙක් වශයෙන් මගේ ගෞරවය ඔවුන්ට පිරිනමන්න ඕන.


 


ඔබට සිනමා රංගනය අලුත් අත්දැකීමක් වුණාට, රංගනය කියන්නේ අලුත් දෙයක් නෙමෙයි නේද? ඔබ වේදිකා නාට්‍ය නළුවෙක් ලෙස සම්මානයට පවා පාත්‍ර වූවෙක් නේද?


ඔව්... වේදිකාව මට නුහුරු තැනක් නොවෙයි. වේදිකාවේ මම ඉතාම පුංචි චරිතයේ සිට ප්‍රධාන නළු චරිතය දක්වාම කරලා තියෙනවා. රඟපාමින් ගීත ගයලාත් තියෙනවා. රඟපාන්නේ නැතුව ගීත ගයලාත් තියෙනවා. වේදිකාවේ හොඳම සහාය නළුවාට මම සම්මානත් ලබලා තියෙනවා. වේදිකාවේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට කිහිප වතාවක්ම සම්මාන ලබලා තියෙනවා. ඉතින් මේ සියල්ලම ගුත්තිල රඟපාන්න උත්තේජන සපයන්න ඇති.


ගුත්තිල රඟපාල පළවෙනි වතාවට මගේ රඟපැම් දකිනකොට ඇත්තටම මට හරිම ලැජ්ජාවක් ඇති වුණේ. මට හැංගිලා ඉන්න තිබුණා නම් හොඳයි වගේ කියන හැඟීමක් ආවා. නමුත් චිත්‍රපටය නැරඹුවට පස්සේ මට විශාල සතුටන් ඇති වුණා. ගුත්තිල වගේ දැවැන්ත චරිතයක් කළාට පස්සේ ආයෙ මට කරන්න දෙයකුත් නෑ කියලා හිතෙනවා.


දැන් ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් විශ්‍රාම අරගෙන ඉන්නේ දැන් ගෙවන ජීවිතේ කොයි වගේද?


මට විශ්‍රාම දිවියක් නෑ මම හිතන්නේ. බොහෝ අය විශ්‍රාම ගත්තම ශරීරයෙන් මනසින් දුර්වල වෙනවා. නමුත් මට එහෙම එකක් නෑ. මම පෙර පාසල් වයසේ සිට වයෝවෘද්ධ පුද්ගලයින් දක්වා සැරිසර සංගීත ශාලිකාවේ සංගීතය උගන්වනවා. කොළඹින් පිට කුරුණෑගල, සපුගස්කන්ද ප්‍රදේශවලත් පන්ති කරනවා. ඉතින් ඒ නිසා මම හරි කාර්ය බහුලයි. ඒ කාර්ය බහුලත්වය මම මගේ ශරීර සුවතාවයට හේතුවක් කරගෙන තියෙනවා. මෙයට අමතරව කරගෙන යන ‘මාරම්බරි’ ප්‍රසංග මාලාවත් පසුගිය කොරෝනා සමය නිසා අතරමග නැවතුණා. නමුත් ඉදිරියේදි ඒ ප්‍රසංගය කරන්න සැලසුම් කරගෙන යනවා. ඒ වගේම මම, චරිතා සහ චන්දීප පුතු එකතුව කරපු ‘නෙතු දැහැන්’ ප්‍රසංගය නැවත කරන්න කියලා ආරාධනයකුත් තිබෙනවා. මේ පාර ඒ සඳහා දූ ශාරණ්‍යාත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා.


අනිත් එක මට විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. මම නළුවෙක් විදියට වේදිකාවේ රඟපෑවා කියන එක හුඟක් දෙනෙක් නොදන්නා කාරණාවක්. ඒ කාලේ මම කෑගල්ලේ ශාන්ත මරියා මහා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පාසල් වේදිකාවෙත් මම රඟපෑවා. ඒ කාලේ මගේ පාසල් මිතුරෝ තමයි බන්දු සමරසිංහ, බුද්ධදාස විතානාරච්චි, සුනිල් ජයන්ත නවරත්න වගේ අය. ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නට තමයි ඒ කාලේ ඉඳන්ම ඕනකම තිබුණේ මාව නළුවෙක් කරන්න. ඉතින් ‘ගුත්තිල’ තුළින් මම ඔහුගේ සිහිනය සැබෑ කළා. මට අදටත් මතකයි මම හේවුඩ් එකේ ඉන්න කාලේ සුනිල් ජයන්ත නවරත්නට පොඩි රැකියාවක් තිබුණා. ඔහු ඔහුගේ පඩියෙන් පොඩි ගාණක් ගෙවලා මාව දැම්මා ධම්ම ජාගොඩ මහත්තයාගේ රංග ශිල්ප ශාලිකාවේ මාස 6ක නාට්‍ය පාඨමාලාවක් හදාරන්න. මගේ ගුරුවරයා සමරපාල සර් වගේම මගේ ලොකු අක්කා සහ ලොකු අක්කගේ මහත්තයා නොවෙන්න අද එඩ්වඩ් ජයකොඩි කෙනෙක් නැතිවෙයි. මට උදව් කරපු ඒ හැම දෙනාම මේ මොහොතේ ආදරෙන් සිහිපත් කරන්න ඕන. දැන් මගේ බලාපොරොත්තුව මම උගත් දේ තවත් පරම්පරාවකට තිළිණ කරන එකයි. උල්පතක් වුණත් පිරිසුදුව තව තව වතුර උනන්නේ ළිදෙන් වතුර ගන්න තරමටනේ. මට ඕනත් මම ඉගෙන ගත් දේ අලුත් පරම්පරාව ගන්නවා දකින්නයි.


 




Previous Post Next Post