මගේ අම්මා වගේ කෙනෙක් මට මුණ ගැහුණා-සුගත් ජානක



මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන “ලොක්කිගෙ කතාව“ ටෙලි නාට්‍යයේ කුමාගේ චරිතයෙන් ඔබේ නිවෙසට ගොඩ වන ඔහු රංගන ශිල්පී සුගත් ජානක. වසර විසි හතරක් පුරා රංගනය, ගායනය ආදී විවිධ ඉසවු හරහා දක්ෂතා දක්වන ඔහු කලා ජීවිතයේ සිය අත්දැකීම් බෙදා ගත්තේ මෙලෙසිනි.

 ලොක්කිගෙ කතාවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම හොඳයි. පළවෙනි කොටස එපිසෝඩ් විස්සකින් අවසන් වුණ නිසා ඒ කුතුහලය එක්ක දෙවෙනි කොටසත් බොහෝ දෙනෙක් ආදරෙන් වැළඳගෙන තියෙනවා. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්ගෙ චරිතයක් තමයි නිරූපණය කරන්නෙ.


 ඔබත් අධ්‍යක්ෂණයට පිවිසෙන්න අඩිතාලම දාල නේද තියෙන්නෙ?


මම මේ වෙනකොට පෝය නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කරල තියෙනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ දොළහක් පමණ අධ්‍යක්ෂණය කරල තියෙනවා.


 

අවුරුදු විසි හතරකට පෙර කලා ලෝකයට පා තැබුවේ කොහොමද ?


පාසල තමයි මගෙ කලා ජීවිතේ මූලාරම්භය. පාසලේ උත්සවවල දී කලා හැකියාවන් පෙන්නුවා. මට මතකයි පාසලේ ගුරුවරයෙක් ප්‍රියා සූරියසේනගේ “ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්” කියන ගීතය මට කියල කීප වතාවක්ම ගායනා කරවා ගත්තා. ජෝතිපාලගෙ ගීත තමයි මම ඒ කාලෙ ගායනා කළේ.


 ඒ කාලෙද පුංචි ජෝති කියලා කිව්වේ?


ඔව්. හැබැයි පොඩි කාලෙ නම් ඒකට මම කැමති නෑ. එච්. ආර් ජෝතිපාල කියන්නේ කවුද කියල ඒ කාලේ මං හරියට දැනගෙන හිටියේ නෑනේ. ළමයි එක්කත් හැමදාම රණ්ඩු. ඉස්කෝලෙ යන්න බෑ කියලත් තියෙනවා. දැන් නම් කවුරු හරි මට එහෙම කියනවා නම් මම ගොඩක් කැමතියි.


 එතකොට රඟපාන්න පටන් ගත්තෙ කොහොමද?


පාසල් යන කාලෙ “වැසියෝ” කියලා වේදිකා නාට්‍යයක් හරහා තමයි මම වේදිකාවට ගොඩවු‍ණේ. එතකොට මම අට වසරෙ ඉගෙන ගත්තේ. පස්සෙ මම පාඨමාලාවක් කරමින් ඉන්න කාලේ ටෙලි විව් එකෙන් දැන්වීමක් දාල තිබ්බ රඟපාන්න කැමති අයට අවස්ථාවක් තියෙනව කියලා. මගෙ මුල්ම ටෙලි නාට්‍යය තමයි 1999 විකාශය වුණ


“කුලවිලෝකනය”. අධ්‍යක්ෂණය කළේ සුනිල් සිරිවර්ධන. විශේෂයෙන් මතක් කරන්න ඕන සරත් සේනාරත්න කියන නිර්මාණකරුවා තමයි මාව ඒ නිර්මාණයට තෝරාගත්තෙ.


 

ඔබට මුල මතකයි නේද.?


ඔව් ඇත්තටම. හැබැයි ගොඩක් අයට අද කාලෙ මුල මතක නෑ. මම එදා ලබාගත්ත පන්නරයත් එක්ක ගොඩක් නවකයන්ට අත හිත ලබා දුන්නා. මගේ චරිතය පරිත්‍යාග කරපු අවස්ථාත් තිබ්බා.


 

ඔබ කලාවට ආපු කාලේ සහ අද කලාවට එක්වෙන අයට තියෙන අවස්ථාවන් ගැන අදහස මොකක්ද.?


රංගන පාසල්, තරග වගේ අවස්ථාවන් ගොඩක් තියෙනවා. හැබැයි ඔය රංගන පන්තිවල උගන්වන අයට නිසි දැනුමක් තියෙනව ද කියන එක ගැටලුවක්. හැදෑරීමක් කරලා රඟපාල ඒ දැනුම වෙන අයට ලබා දෙන එක හොඳයි. හැබැයි පිරිසක් ඉන්නවා මේක ව්‍යාපාරයක් බවට පත් කරගත්ත. නවකයන්ට මට කියන්න තියෙන්නෙ කලාව කියන දේ හදාරන්න සහ කලාවට ආදරේ කරන්න කියලයි.


 

ජනප්‍රියම නළුවා නිළිය තෝරන්නෙ එස්. එම්. එස් මඟින්. ඒක සාර්ථකයිද.?


එස්. එම්. එස් ක්‍රමය ප්‍රායෝගික නැහැ. සම්මානවලදි දක්ෂතාවයට තැන ලැබෙනවද කියන එකත් ප්‍රශ්නයක්. දශකයකට දෙකකට කලින් හිටපු ශිල්පීන්ව පවා සමහර අය දන්නෙත් නෑ. එකම පිරිසකට තමයි මාධ්‍ය තුළින් වැඩසටහන් සහ සම්මාන උළෙලවලට ආරාධනා කරන්නෙ.


 

රසිකාවියන්ගෙ ආකර්ෂණය දැනෙන්නෙ කොහොමද?


ආදරේ නම් ගොඩක් ලැබෙනවා. ඒ අතර යෝජනාත් නැතුවම නෙවේ. කලාකරුවෙක් හැටියට අපි හැමෝටම ආදරේ කරන්න ඕන.


 


ජීවිතේට විශේෂ කෙනෙක් එකතු කරගන්න බලාපොරොත්තුවක් නැද්ද ?


ළඟදිම බලාපොරොත්තුවෙන් ඉන්නවා. අම්ම එක්ක වැඩි කාලයක් හිටපු කෙනෙක් විදියට මගේ අම්මා වගේ කෙනෙක් තමයි මම බලාපොරොත්තු වුණේ. ඒ වගේ කෙනෙක් මට දැන් මුණගැහුණා.


 

ඉස්සරහට මොනවද වෙන්නෙ?


මේ දවස්වල නිලංගනී ජයසූරියගෙ “සුභද්‍රා” කියන වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කරනවා. ඒක ඉතිහාසගත කතාවක්. මම මේ නාට්‍යයේ සත්තුග කියලා පල් හොරෙක්ගෙ චරිතයක් තමයි රඟපාන්නේ.


 

එතකොට අනාගත සිනමා නිර්මාණ මොනවද?


සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන “කිඩ්නැප්”, මොහාන් නියාස්ගෙ “ශ්‍රී වික්‍රම”, බර්මන් ලයිලි ප්‍රනාන්දුගේ “අග පිපි මල්” සහ “මේක පුදුම කතාවක්“ කියන චිත්‍රපට හතර ඉදිරියේදි තිරගත වෙනවා.


 

එතකොට ගායන කටයුතු.?


ඔබ මගේ වෙලා සහ ආදරේ මතකයන් කියන ගීත දෙක කලින් නිර්මාණය කළා. අලුත්ම ගීතය “හැමදාම ළඟ ඉන්න” පටිගත කිරීම් අවසන්. රූප රචනයත් එක්ක ඉදිරියේදී බලන්න පුළුවන් වෙයි.





Previous Post Next Post