අක්ෂි කියන්නෙ මට වෙනස්ම අත්දැකීමක්-මොරින් චාරුනී




ගැහැනිය යනු විවිධ භූමිකාවන් සිය ජීවන ගමන තුළ නිරූපණය කරන්නියකි. සැබෑ ජීවිතය තුළ සිදු කරනු ලබනා භූමිකාවන්ට අමතරව කැමරා ඇස හා ගැටෙමින් අති දක්ෂ වෘත්තීය රංගන ශිල්පිනියකගේ ප්‍රතිරූපය මනා ලෙස නිරූපණය කරනා ඇය ජ්‍යෙෂ්ඨ රංගනවේදිනී මොරින් චාරුනීය.


 මේ දවස්වල ඔබ ඉතාම වෙනස් රංගනයකින් අක්ෂි ටෙලිනාට්‍යය හරහා පුංචි තිරයේ දකින්න ලැබෙනවා. මොකක්ද මේ වෙනස?


“අක්ෂි” කියන්නෙ මට වෙනස්ම අත්දැකීමක්. ජීවිතේ පළවෙනි වතාවට එවැනි චරිතයක් හා සම්බන්ධ වෙන්නෙ. නාගරික පේළි නිවාස පරිසරයක ජීවත් වෙන, ජීවිත අත්දැකීම්වලින්ම ශක්තිමත්ව, ජීවිතයට මුහුණ දෙන “ප්‍රේමා” නමැති චරිතයට තමා මම පණ දෙන්නෙ. ඇයට විවිධ වයස්වල දරුවන් ඉන්නවා. උගත්කමක් නැහැ. නමුත් ජීවිතයට මුහුණ දෙන්න අවශ්‍ය බුද්ධිමත් බව ඇයට තියෙනවා. ඇයට එම ශක්තිය ලැබිල තියෙන්නෙ සමාජය සමඟම ගැටීමෙන්.‍


තමන්ගෙ දරුවන්ගෙ අනාගතය පේළි ගෙවල්වලින් එහා ගිය යහපත් තැනකට ගෙන ඒමට විශාල සටනක් කරන කෙනෙක්...


මම මේ චරිතය සඳහා ආසාවෙන් එකතු වුණා. ප්‍රේමා කියන්නෙ නාගරික පීඩිත ජන සමාජයේ වෙසෙන උත්සාහවන්ත ගැහැනියක්.


 අක්ෂි වර්තමාන සමාජ රටාව තුළ ගොඩනැඟුණ නිර්මාණාත්මක වැඩක්. මේ සඳහා දායක වුණු කණ්ඩායම ගැන කතා කළොත්?


අක්ෂි සඳහා දායකව ඉන්නෙ නව පරපුරේ පිරිසක්. අධ්‍යක්ෂණය ශාන් ජයරත්න කියන තරුණ අධ්‍යක්ෂවරයා. කැමරාකරණය චානක සංජීව, නිෂ්පාදනය කරන්නෙ අමන්දා රණවීර වගේම මෙහි පිටපත රචනා කරන්නෙ ප්‍රියාන් විදානපතිරණ.


තරුණ කණ්ඩායමක් වන මේ පිරිස නව තාක්ෂණය හා ගැටෙමින් හරි අපූරුවට මෙම නාට්‍ය මෙහෙයවනවා. අක්ෂි කියන්නෙ පවුලක්. ශලනි තාරකා නාගරික පේළි නිවාසයක වෙසෙන යොවුන් තරුණියකගෙ වෙනස්ම චරිතක් නිරූපණය කරනවා.


ප්‍රේක්ෂකයින්ට මෙය අලුත් අත්දැකීමක්. මේ වන විට කොටස් 80ක් පමණ විකාශය කර අවසන්. ළඟදීම අක්ෂි 2 කොටස රූපගත කිරීම් ආරම්භ කිරීමට සූදානම්.


තම සංවේදී බව සඟවා ගත් දරදඬු ගැහැනියක ලෙස විටෙක ප්‍රේමා නිරූපණය වුවත් ඈ තුළ හිත හොඳ ගැහැනියක් සැඟව සිටිනවා. ඒ වගේම දරුවන්ගේ සුබ සිද්ධිය පතන අම්මා කෙනෙක් වන ඇගේ චරිතය මේ ජීවන අරගලයේ වෙසෙන තවත් එක් ගැහැනියක්.


ඔබේ පාසල් කාලය හා පවුලේ තොරතුරු මොනවාද?


මගෙ ගම වෙන්නප්පුව. කටුනේරිය බාලිකාවට තමා කුඩා කල පාසල් ගියේ. පහ ශ්‍රේණියෙදි එය මධ්‍ය මහා විද්‍යාලයක් වෙනවා. නමුත් උසස් පෙළ අධ්‍යාපනය ලැබුවෙ වෙන්නප්පුව බාලිකාවෙ කලා අංශයෙන්.


භාත්ඛණ්ඩේ සංගීත විභාගය කළා. ලක්නව් උපාධිය සඳහා සිතාරය හැදෑරුවා. දැන් නම් අවුරුදු ගාණකින් සංගීතයෙන් වැඩක් ගත්තෙ නෑ. ගුරු පත්වීමක් ලැබුණා. ගුරු වෘත්තිය අත්හැරලා තමා කලාවට සම්බන්ධ වෙන්නෙ.


මම තමා පවුලෙ වැඩිමලා. තාත්තා නම් නැති වුණා මීට වසර 23කට කලින්. නංගි සහ මල්ලි දෙදෙනාම විවාහකයි. මාත් විවාහකයි. මට දියණියක් ඉන්නවා. ඇය වැඩිදුර අධ්‍යාපනය හදාරනවා විදෙස් රටක. සැමියත් විදේශ රටක රැකියාවේ නිරත වෙනවා.


 

ගුරු පත්වීම අතෑරලා කලාවට ආපු ගමන කොයි විදියට ද වුණේ?


මට කරදිය වළල්ල චිත්‍රපටයට දායක වෙන්න ලැබෙනවා. කරදිය වළල්ලෙන් තමා මම සිනමාවට එන්නෙ. මේ වන විට ක්ෂේත්‍රයේ වසර 38ක කාලයක් රංගනයෙන් දායක වෙලා තියනවා. සිනමාව, ටෙලිනාට්‍ය කියන අංශ දෙකේම කටයුතු කරනවා. වේදිකා නාට්‍යය කීපයකත් රඟපාලා තියනවා.


 වර්තමාන මිනිස් ජීවිත අරගලය හා කලාව කොහොමද සමබර කරගන්නෙ?

කලාව කියන්නෙ විශාල පරාසයකට විහිදුණු දෙයක්. සාහිත්‍ය හා ප්‍රාසාංගික යන මේ කොටස් දෙකම කලාවන් සමඟ බද්ධ වෙලා තියෙන්නෙ. හැබැයි මේ කලාව තුළ මිනිසුන් වෙනස් කිරීමේ විශේෂ බලයක් තියෙනවා. අවිවේකී මනසට සහනයක් ලැබෙනවා කලාවෙන්. ඉතින් පීඩාවන්ට ලක්වෙන මිනිස් සිත සහනයෙන් පුරවන කලාවෙන් ජීවිතය සමබර කරගන්න පහසුයි.

කොවිඩ් වසංගතයෙදි මුළු ලෝකෙම රටවල් ඒ උවදුරට ලක්වුණා. දරාගන්න පුළුවන් රටවල් නැඟිට්ටා. අනෙක් රටවල් කඩා වැටුණා. කලා කටයුතුත් මේ කාලයෙ තාවකාලිකව නවතන්න සිදු වුණා. මේ වෙද්දි ටිකක් හොඳ මට්ටමක් කරා පැමිණෙමින් ඉන්නවා. කලාකරුවන්ට පැය 24ම වැය කරන්න වෙලා තියෙන්නෙ කලාව වෙනුවෙන්. නමුත් හැම මනුස්සයෙකුටම වැඩ අධිකයි තමා. මේ කාලයෙ ආර්ථික අපහසුතා මිනිසුන්ට අභියෝගයක්. නමුත් නිසි කාල කළමනාකරණයෙන් ඉවසීමෙන් කටයුතු කිරීමත් වැදගත්. අපට පුළුවන් කන බොන දේ පවා ගෙවත්තේ වවා ගැනීමට. අපි සතුටින් ඉන්න ජීවිතය සමබර කරගන්න උත්සාහ කළොත් එය වරදින්නෙ නෑ. මම හරිම කැමතියි මගෙ ජීවිතයෙ පවතින වැරදි අඩුපාඩු හදාගෙන ජීවත් වෙන්න. හැම කෙනෙක්ටම එහෙම හිතන්න පුළුවන් නම් හරිම වටිනවා. අපේ සැබෑ විනය කියන්නෙ මවාගන්න චරිතයක් පමණක් නොවිය යුතුයි.





Previous Post Next Post