ඇයි විවාහ වෙන්නේ? ඒක මට තේරෙන්නෙ නෑ-රිතූ ආකර්ෂා




බොහෝ අයගේ ආකර්ෂණයට ලක්වීම කියන්නේ එක්තරා විදිහක සම්මානයක්. නමටම ගැළපෙන අයුරින් රසික හදවත් ආකර්ෂණය කළ ඈ නමින් රිතූ ආකර්ෂා. අතිශයින්ම කාර්‍යබහුල ඈ රසඳුන සමඟ කතාබහට එක් වූයේ මෙලෙසිනි.


රිතූ කියන්නේ සැබෑ ජීවිතයේ මොනවගේ චරිතයක්?


මම ඇත්තටම සාමාන්‍ය චරිතයක්. හුඟක් අය ටෙලි නාට්‍යවලදී මාව දකින විදිහට ටිකක් සැර කෙනෙක් කියලා හිතුවට, ඇත්තටම මම සැර නැති හරිම සරල කෙනෙක්.


ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද ?


මගේ පරම්පරාවේ කවුරුවත් කලාවට සම්බන්ධ අය නෑ. මම තමයි මුලින්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මම කලා පරපුරක ආරම්භකයෙක්.


නිරූපණ ශිල්පිණියක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, ටෙලි නාට්‍ය නිළියක් වැනි නොයෙක් ක්ෂේත්‍රවල හැකියාව පෙන්වන්න ඔබ ඔබවම හදගත්ත විදිහ මොකක්ද ?‍


මේක මම උපතින්ම ගෙනාව දක්ෂතාවයක්. නමුත් මම ඒ දක්ෂතා තව තවත් වැඩි දියුණු කළා කිව්වොත් තමයි හරි. මම නිරූපණ ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි අහම්බයකින් හරි මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ ඒක වඩාත් හොඳින් කරන්න මට ඕන වුණා. ඒ සඳහා කැපවීම, උනන්දුව කියන දේවල් තියෙන්න ඕනේ. දවසින් දවස මේ ක්ෂේත්‍රයේ තියන දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. අධ්‍යක්ෂවරුන්ගෙන්, ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් හා අපිට හමුවෙන සෑම කෙනෙක්ගෙන්ම සෑම දෙයකින්ම අපි අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ. මම තාමත් මේ කලා ක්ෂේත්‍රය හදාරනවා. පුළුවන් හැම වෙලාවකම හැම දෙයක්ම ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න දේවල්වලින් මම මාව හදා ගන්නවා.


ඔබේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ වන විට 650000ක රසික ප්‍රමාණයක් සිටිනවා. මේ ආදරය ඔබ දකින්නේ කොහොමද ?


ඒ ආදරය තමයි මම මෙච්චර කාලයක් හම්බ කළ මගේ වටිනාම වස්තුව. දැන් මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 13ක් වෙනවා. මේ කාලය මුළුල්ලේ මාව දිරිමත් කරගෙන, මගේ අඩුපාඩු පෙන්වගෙන මාව ඉදිරියටම ගෙනාවේ මේ ප්‍රේක්ෂක ආදරය. ඉතිං ඒ ආදරයට මම ඇත්තටම ආදරෙයි. මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඉන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේම කැමැත්තෙන් එකතුවුන රසික පිරිසක්. අනික මම කවදාවත් ඒ පිරිස වැඩි කරගන්න උපක්‍රම හා තාක්ෂණය පාවිච්චි කෙ‍ෙළ් නෑ. ඒ හැම දෙයක්ම ස්වභාවිකවම සිදුවුන දේවල්. ඒ නිසා මට රසික පිරිස හුඟක් වටිනවා.


ඔබ ආකර්ෂණීය කාන්තාවක්. ඉතිං ඔබ ආකර්ෂණය වුන ප්‍රේමයක් නැද්ද ?


ප්‍රේමයක් තිබිලම නෑ කියන්න බෑ. තිබුන ප්‍රේමයන් කාලයත් සමඟ නැතිවෙලා ගියා. මේ මොහොත වෙනකොට මට ප්‍රේමයක් නෑ.


ආදරය,විවාහය සහ කාන්තා සමානාත්මතාවය කියන වචන 3 රිතූ දකින්නේ කොහොමද ?


ආදරය කියන්නේ අපි හැමෝටම ඕනේ දෙයක්. ඒක හැඟීමක්. ඒ හැඟීමේ වෙනස් වෙනස් කොටස් තියනවා. අපි කැමති දේවල්වලට ආදරය කරන්න පුළුවන්. කැමති පුද්ගලයන්ට ආදරය කරන්න පුළුවන්.


විවාහය මම දකින්නේ අත්‍යාවශ්‍යම දෙයක් විදිහට නෙමෙයි. ඇයි විවාහ වෙන්නේ? ඒක මට තේරෙන්නේ නෑ. 


සමානාත්මතාවය කියන එක ගැහැනුන්ට විතරක් නෙමෙයි, හැමෝටම පොදු කාරණාවක්. සුදුස්සාට සුදුසු දේ ලැබිය යුතුයි. සුදුසු තැන ලැබිය යුතුයි. ඒක තමයි මම දකින සමානාත්මතාවය.


රිතූ කාය වර්ධන හා ශරීර සෞඛ්‍ය ගැන උනන්දු වෙනවා ද?


අනිවාර්යයෙන්ම. නිරූපණ ශිල්පිනියක් විදිහට මම ඒ ගැන බොහෝම සැලකිලිමත් වෙනවා. මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න නම් අපි අපේ ලස්සන ගැන සහ ශරීරය ගැන වගේම සෞඛ්‍ය ගැනත් බලන්න ඕනේ. ඒ නිසා මම ව්‍යායාමවල යෙදෙනවා සහ කෑම පාලනයක් කරනවා.


ඇයි සිනමාව හෝ වේදිකාව තුළ ඔබ පෙනෙන්න නැත්තේ?


සිනමාවට එන්න හුඟක් ආරාධනා තියෙනවා. නමුත් තාමත් මගේ හිතට දැනෙන පිටපතක් ලැබුණේ නෑ. වේදිකාවට එන්න මම හුඟක් ආසයි. ටෙලි නාට්‍ය නිළියක් විදිහට ඉන්න මම වේදිකා රංගනයට එනවා නම් ඒක මුල ඉඳන්ම ඉගෙන ගන්න ඕනේ එකක්. ඒ වෙනුවෙන්ම කැපවෙලා ඉන්න ඕනේ. අපි දෙයක් කරනවා නම් ඒක හරියටම ගෞරවයෙන් ඒක කරන්න ඕනේ. නැත්නම් ඒක අපිට පිහිටන්නේ නෑ. නමුත් මේ කාර්‍යබහුලත්වය නිසා මට දැනට ඒ සඳහා වෙලාවක් වෙන් කරගන්න අමාරුයි. අනාගතයේ දවසක මම වේදිකාවෙත් ඉඳියි.


අනාගත සිහින මොනවාද ?


එහෙම ලොකු හීන මම ළඟ නෑ. ගෙදර අයත් මගේ රසිකයනුත් එක්ක සතුටින් කාලය ගත කරන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති.


මොහාන් සුරවීර





Previous Post Next Post