ආදරේ කළා විවාහ වුණා අහම්බයක් වුණත් ඒ තමයි ලැබීම- අරුණි කොඩිතුවක්කු



 අරුණි කොඩිතුවක්කු කියන්නේ උදේ පාන්දර පත්තර පිටු අතරේ ඇති කතා රැගෙන මුල් පිටුවට ආ නිවේදිකාවක්. මයිකෆෝනය ඉදිරියේ හඬ හැඩ ගැන්වූ ඇය දැන් ආදරණීය පුතෙක් ඉන්න මවක්. ජනප්‍රිය රංගන ශිල්පී කංචන කොඩිතුවක්කුගේ නැඟණිය වූ ඈ ගැනයි මේ කතාබහ


අරුණි මවක් වුණාට පස්සේ රැකියාවට දෙවැනි තැන දිලා පුතාට මුල් තැන දීලා වගේ..?


ඇත්තටම එහෙම වුණා, රැකියාවට විතරක් නෙමෙයි හැමදෙයක්ම දෙවැනි තැන දීලා පුතාව බලාගන්න වුණා. ඒක සුළු පිරිසකට හැරෙන්න හැම අම්මා කෙනෙකුටම පොදු කාරණාවක් කියලා මම හිතනවා. දරුවෙක් ලැබුණට පස්සේ ඒ අම්මා දරුවා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. මමත් හරිම ආසාවෙන් ඒ වගකීම් ඉටු කරනවා. අම්ම කෙනෙක් වෙන්නත් හැමෝටම බැහැ. ඒකට වාසනාව තියෙන්න ඕන. අපි ළඟට එන්න කෙනෙක් ඉන්න ඕන. ඒ වාසනාව මට උදාකරලා මාව මවක් කළේ මගේ පුතා. මගේ හැම දෙයක්ම තීරණය වෙන්නේ පුතා එක්ක. මම නම් පුතාගේ හැමදෙයක්ම හිතලා තමයි අනිත් දේ ගැන දැන් හිතන්නේ. ගමනක් ගියත් දැන් ඉස්සර වගේ හිතපු ගමන් ඒ දේ කරන්න බැහැ. පුතා අංක එක නිසයි හැමදෙයක්ම පස්සට යන්නේ. වැඩට අය හිටියත් කවදාවත් මම පුතාගේ කිසිම වැඩක් තව කෙනෙකුට පවරන්නේ නැහැ.


 මවු පදවියෙන් පස්සේ වැඩ සීමා කරගත්තද? එහෙම නැත්තම් සැමියා සුනෙත් වාරණ පැනෙව්වද..?


ඇතැම් දේවල් වලදි මම එයා එක්ක කතාබහ කරනවා. නමුත් එයා මට සීමා දාන්නේ නැහැ . එහෙම සීමා දාලා කෙනෙක්ව බලෙන් තියා ගන්න බැහැ. එහෙම වුණොත් මම ඉන්නේ අසතුටෙන්නේ. මම තීරණය ගත්තොත් තමයි මට සතුටින් දෙයක් කරන්න පුළුවන. ඒක එයා තේරුම් ගත්ත කෙනෙක් නිසා මට කිසිම දෙයක් කියන්නේ නැහැ. බිරිඳක් මවක් නිසා මට මාව සීමා කරගන්න අවස්ථා තියෙනවා. එයා මගෙන් ඉල්ලීමක් කළා බබා ලැබුණට පස්සේ අපි දෙන්නා බබාව සම්පූර්ණයෙන් බලාගන්න ඕන පිට අයට බබාව බලාගන්න නොදී ඉමු කියලා. ඒක මම හරිම කැමැත්තෙන් කරනවා. මට වැඩක් තිබ්බොත් එයා හැම වැඩක්ම නතර කරලා බබා එක්ක ඉන්නවා. අනිත් එක මම රස්සාව කරලා ආර්ථිකය ශක්තිමත් කර ගන්න බැහැ. එතැන හයිය එයාගෙන් ගන්න ඕන. ඒ හයිය මම ගන්න නම් මම කැපකිරීමක් කරන්න ඕන. තේරුම් ගැනීම් මත තමයි පවුල් ජීවිතේ රැක ගන්න ඕන කියලා මම හිතනවා


 සුනෙත් දේශපාලනයට සම්බන්ධ කෙනෙක්. දේශපාලකයින්ට සමාජයෙන් එල්ලවෙන චෝදනා ඔහුටත් එල්ලවෙනවා ඇති. ඒ වගේ වෙලාවට හිතෙන්නේ නැද්ද අපරාදේ ඔහුව කසාද බැන්දේ කියලා ..?


රූපය, ධනය, බලය වෙනස් වෙන දෙයක්. මම පසුතැවිලි වෙන දෙයක් සිදු වුණත් කවදාවත් පසුතැවිලි වුණු කෙනෙක් නෙමෙයි. වරදක් වෙන්නේ නපුරක් වෙන්නේ පෙර කර්ම අනුව. නමුත් සුනෙත්ගේ ඔය පසුබිම මට අදාළ වුණේම නැහැ. එයා වැඩ කරන්නේ ගමට. ගමෙන් එයාට චෝදනා ඇවිත් නැහැ. පක්ෂයක් ඇතුළේ වරදක් වුණොත් දෙතුන් දෙනෙකුගෙන් ලේබලය ඔක්කොටම වදිනවා. මට අදාළ වුණේ සුනෙත්ව විතරයි. එයාගේ තාත්තා නැහැ. අම්මත් මේ අවුරුද්දේ නැති වුණා. සුනෙත්ගේ අක්කා අම්මා මගේම අය වගේ. ඒ ආදරණීය පවුල ලබන්න මම පින් කරලා තියෙනවා කියලා විතරයි හිතන්නේ.


 ඔබ ඔහුට කියලා නැද්ද දේශපාලනයට සමු දෙන්න කියලා ..?


මම එහෙම කිව්වත් එයා නතර කරන්නේ නැහැ . එයා ඒ තරම් ඒ විෂයට කැමතියි. මට මගේ දේවල්වලට එයා සීමා දාන්නේ නැහැ වගේම මට එයාට එහෙම කරන්න අවශ්‍යත් නැහැ. නමුත් එයා දේශපාලනයට සම්බන්ධ නොවී වෙන රැකියාවක් කළා නම් මම වඩාත් සතුටු වෙයි කියලා කියන්න පුළුවන්. නමුත් මට එයාව නතර කරන්න වුවමනාවක් නැහැ.


ඔහු කලින් විවාහ වූ කෙනෙක්, ඔබට එය ප්‍රශ්නයක් වුණේ නැද්ද ..?


කොහෙත්ම නැහැ. අපි හැමෝටම අතීතයක් තියෙනවා. ඒක අදාළ නැහැ අනාගතයට හෝ වර්තමානයට. පවුලක් හෝ සම්බන්ධයක් ඇතුළේ එක ගමනක් යන්න බැරි නම් අසතුටෙන් නම් ජීවත් වෙන්නේ එකට ඉන්නවට වඩා හොඳයි වෙන් වෙන එක. ඒක කාටත් පොදුයි. නමුත් ඒ දෙයින් කාටත් හානි නොකර, අවලාද නින්දා නොකර. මගේ පුංචි පවුල හරි සතුටින් තියා ගන්න මමත් එයත් මහන්සි වෙනවා.


 ජීවිතේ සමබර කරගෙන යන්න සැමියගෙන් උදව් ලැබෙනවද, එහෙම නැත්තම් ඇතැම් සැමියන් වගේ ඔහුත් ගෙදර වගකීමෙන් ලිස්සලා යනවද..?


සමහර පුද්ගලයින්ගේ බාහිර ස්වරූපය දැකලා මනිනවා එයා මෙහෙම කෙනෙක් කියලා. සුනෙත්ගේ පිට පෙනුමෙන් එයා රළු කෙනෙක් වගේ පේන්නේ. නමුත් එයා එහෙම කෙනෙක් නෙමෙයි. ආශ්‍රය කරන්න ඕන තව කෙනෙක් තේරුම් ගන්න. මම එයාව ආශ්‍රය කළාට පස්සේ එයාව හඳුනා ගත්තා. එයා හැමදේකින්ම මට උදව් කරන කෙනෙක්. දරුවෙක් එක්ක මුළු දවසම ඔට්ටු අල්ලන අම්මා කෙනෙක් දන්නවා ඒකේ පීඩනය. සුනෙත් මාව තේරුම් අරන් මට හයියක් වුණු කෙනෙක් කියන්න පුළුවන්. කිසිම මොහොතක වගකීමෙන් ලිස්සලා යන්නේ නැහැ


 

ප්‍රේම කතාව ආරම්භ වෙන්නේ වැඩසටහනකට සම්බන්ධ වෙලා ඇති වුණු කතාබහකින් නේද ..?


ඔව්. එතකොට මම වැඩ කළේ සියත නාළිකාවේ. එයා කාලයක ඉදලා මගේ ෆේස්බුක් එකේ යාළුවෙක් හැටියට හිටියා. මම මෝනිං ප්‍රෝග්‍රෑම් එකක් කළා. ඒකට අවස්ථාවක් ගන්න හෝ තව කෙනෙකුට අවස්ථාවක් අරන් දෙන්න බොහෝ දෙනෙක් මට ෙෆ්ස්බුක් ඔස්සේ කතා කරලා සම්බන්ධ වෙනවා. ඒ විදිහට ඇමරිකාවේ ඉන්න සුනෙත්ගේ යෙහෙළියකට උදව්වක් ගන්න තමයි එයා ෆේස්බුක් එකෙන් මට මුලින්ම කතා කරන්නේ. මම වැඩසටහන් නිෂ්පාදකතුමියට කතා කරලා ඒ අවස්ථාව අරන් දුන්නා. ඒක අවසන් වුණා. එයා ඒකට ස්තූතියි කියන්න කතා කළා ඒ කතාබහ දුරදිග ගියා. ඒ වෙද්දී අපි දෙන්නම තනිකඩ. ඉතිං ආදරේ කළා. විවාහ වුණා. අහම්බයක් වුණත් ඒ තමයි ලැබීම.


 ඔබේ සහෝදරයාගේ ජනප්‍රියත්වය එක්ක ඔබට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වලින් නිවේදනයට ආරාධනා ලැබිලා නැද්ද ..?


අයියා නිසා තමයි මම නිවේදිකාවක් වෙන්නේ. මම මුලින්ම සම්බන්ධ වෙන්නේ 2004 අවුරුද්දේ මුල් පිටුව වැඩසටහනට. කැලුම් පාලිත මහත්තයා තමයි අවස්ථාව දෙන්නේ. ඔහුට මාව සම්බන්ධ කරන්නේ අයියා. අම්මා තාත්තා බලාපොරොත්තු වුණේ මම බැංකු ක්ෂේත්‍රයේ වැඩ කරයි කියලා. මම ඒවා මඟ හැරියා නිවේදනයට තිබ්බ ඇල්ම නිසා. ඒක මගේ අයියා දන්න නිසා අයියා මට ඒ අවස්ථාව අරන් දුන්නා. පාසලෙත් කලා කටයුතු වලට සම්බන්ධ වුණා. මම පුංචි කාලේ ඉඳලා ලස්සන කෙනෙක් නෙමෙයි. ඒත් ඒ බලාපොරොත්තු මඟ ඇර ගත්තේ නැහැ. ඒ වගේම අයියා කලාවට සම්බන්ධ වෙද්දී මට යන්න පුළුවන් ද වගේ බයකුත් තිබ්බා. මුල් පිටුව තිර පරික්ෂණට ගියේ තාත්තා එක්ක. එදා දහස් ගණනක් ආවා. ඒ පෝලිම දැක්කම මම හිතුවා මට ජීවිතේට හරියන්නේ නැහැ කියලා. අවසන් තුන් දෙනාට තේරුණා අපිව පුහුණු කළා. ඒ අතරින් මාව තේරුණා. ඒක වාසනාවක්. ඊට පස්සේ සියත එෆ් එම් නාළිකාවට සම්බන්ධ වුණා මුල් කණ්ඩායමට. සියත ටීවී එකටත් ආරාධනා ලැබුණා . පළමු නිවේදිකාව හැටියට. ඊට පස්සේ ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණා නුගසෙවණට. ආයෙමත් සියත නිත්‍ය නිවේදිකාවක් විදිහට සම්බන්ධ වුණා 2019. ඊට පස්සේ සුප්‍රිම් ටීවී සම්බන්ධ වෙනවා අයියගේ ආරාධනාවකට. එහි කළමනාකරණ තනතුරක් දැරුවේ. පුතා නිසා තාවකාලිකව ඉවත් වුණා. ළඟදි නැවතත් සම්බන්ධ වෙනවා.


වසර ගණනාවකට පෙර ඔබේ සහෝදරයා කංචන කොඩිතුවක්කු ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු රංගනයේ යෙදුණේ නැතත් ඔහු තවමත් ජනතාව හඳුනනවා. ඔබ නිවේදිකාවක් විදිහට ඒ තරම් සාර්ථක නැහැ කියලා හිතනවද..?


මම නිවේදිකාවක් විදිහට සාර්ථකයි කියලා හිතනවා‍. අයියා තරම් මම ජනප්‍රිය නැතුව ඇති. නමුත් නිවේදිකාවක් විදිහට ඕනෑම වැඩසටහනකට අනුගත වෙන්න මට පුළුවන් හැකියාවක් තිබුණා. මම වැඩ ගොඩක් මඟ හරින කෙනෙක් . ජනප්‍රියත්වය අඩු වෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. මතක හිටින්නේ. ජනප්‍රිය වෙන්නේ දකින වාර ගාන අනුව වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අයියා තරම් මම ජනතාව අතර නැතුව ඇති.


 ඔහු රංගනය තෝරා ගත් විට ඔබ පෙම් කරන්නේ මයික්‍රෆෝනයට. ඒ ඇයි..?


ඒක සංසාර පුරුද්දක් වගේ කියලා මට හිතෙන්නේ. මම හරිම ආසයි නිවේදනයට. ඉස්සර ටීවි එක ළඟ වාඩි වෙන්නේ වැඩසටහන බලන්න තියෙන ආසාවට නෙමෙයි. ඒ නිවේදිකාව නිවේදනය කරන විදිහ අඳින පලඳින විදිහ බලන්න. අයියා නළුවෙක් විදිහට ජනප්‍රිය වුණා. ඒත් මට ආශාවක් තිබ්බේ නැහැ රඟපාන්න. ආරාධනා ලැබුණා. නමුත් එක නාට්‍යයකට සම්බන්ධ වෙලා එතැනින් එහාට ගියේ නැහැ.


 

ඔහු කවදාවත් ඔබට රංගනයට ඇරයුම් කරලා නැද්ද ..?


නැහැ. එයා දන්නවා මට පුළුවන් දේ නිවේදනය කියලා. මට රඟපාන්න බැහැ කියලා අයියා දන්නවා ඇති. නමුත් අයියා කරපු වෙළෙද දැන්වීමකට නම් මට එයා අවස්ථාවක් දුන්නා. අයියා නිසා තමයි නිවේදිකාවක් වුණෙත්. එයා හැමදාම මගේ ළඟින් හිටියා.


ඒ ඔබේ සහෝදරයා බව දන්නේ බොහෝ දෙනෙක් වාසගම නිසාද, නොදන්න අයත් ඇති..?


නොදන්න අයත් ඉන්නවා. නමුත් මගේ නමින් දන්නවට වඩා “ආ මේ කංචන කොඩිතුවක්කුගේ නංගි නේද?“ කියලා අහපු, අහන අවස්ථා තියෙනවා. ඒ නිසා එහෙමම කියන්න අමාරුයි. ඒ වගේම මමයි අයියයි එකට වැඩසටහනක් කළා. ඒ නිසත් දැනගත් අය හිටියා.


 

දැන් ඔබ දෙදෙනාම එකම ආයතනයේ රාජකාරි කටයුතු කරනවා, පුංචි කාලේ වගේ තහනම් තහංචි දැන් අයියා දාන්නේ නැද්ද ..?


මම හරිම මුරණ්ඩු කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති අයියා මට ඒ කාලේ ඉදලා තහනම් තහංචි නොදැම්මේ. කියන දේ අහන්නේ නැහැනෙ. ඒ නිසා ඇතැම් අවස්ථාවල වැරදි තීරණ අරගෙනත් තියෙනවා. නමුත් පරිණත වෙද්දී මම වෙනස් වුණා. සමහර අයියලා තමන් වැඩ කරන ස්ථානයට ගන්න අකමැතියි. නමුත් අයියා මට ආරාධනා කළා එයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න එන්න කියලා. අයියා කොහොමත් නිහඬ කෙනෙක්. හොඳ ආදරණීය සහෝදරයෙක්.


 


කොහොමද අයියා එක්ක තිබ්බ පුංචි කාලේ බැඳීම් කියලා මතක් කරලම මේ කතාබහ ට සමු දෙමු..?


මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි අයියයි. එනිසා අපි හරි ආදරණීය විදිහට ජීවත් වෙච්ච පවුලක්. අම්මයි තාත්තයි ලොකු කැපකිරීම් කළා මමයි අයියයි වෙනුවෙන්. අයියා උසස් පෙළ කළාට පස්සේ වැඩිදුර ඉගෙන ගත්තෙ නැහැ. තාත්තා විශ්‍රාම ගිහින් හිටියේ. එයා පවුලේ බර කරට ගත්තා. අයියා කිව්වා මම ජොබ් එකක් කරන්නම් නංගි ඉගෙන ගන්න දක්ෂ නිසා එයා වැඩිදුර ඉගෙන ගත්ත දෙන් මම වියදම් කරන්නම් කියලා. පුංචී කාලේ මතක හරි සුන්දරයි . කවදාවත් අපි දෙන්නා රණ්ඩු කරලා තරහා වෙලා නැහැ. සතුටින් ජීවිතේ බෙදා ගත්තා. එයා විවාහ වෙලා දුව ලැබුණම මට එයා මගේ දුව වගේ. අපේ පවුලේ සතුට තව වැඩි වුණා. එයාගේ බිරිඳත් එහෙමයි. එදත් අදත් මගේ අයියා අම්මා තාත්තා වගේම මට හයියක් වුණා ,


 





Previous Post Next Post