සිඟිති අවුරුදු කුමාරියක් මම - තත්සරණි පියුමිකා




තත්සරණි.. මේ දවස්වල මොනවද කරන්නෙ?


මේ දවස්වල නිර්මාණ කිහිපයකටම සම්බන්ධවෙලා ඉන්නවා. මහේෂ් රත්සර මද්දුමආරච්චි තිර රචනය කරන වසන්ත අමරසිංහ අධ්‍යක්ෂණය කරන 'කියා දෙන්න ආදරේ තරම්' ටෙලිනාට්‍යයේ මම 'රුචීගේ' චරිතය රඟපානවා. ඒ වගේම ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන 'පාර දිගේ' ටෙලිනාට්‍යයේ 'නානාගේ පොඩි එකීගේ' චරිතයටත් 'දිව්‍යාංජනී' ටෙලිනාට්‍යයේ 'නිම්මිගේ' චරිතයටත් රංගනයෙන් දායක වෙනවා. 'දිව්‍යාංජනී' අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රදීප් ධර්මදාස. ඒ වගේම අලුතින් 'ජානු' ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වුණා. ඒක හසුන් සමීරගේ අධ්‍යක්ෂණයක්. මම ඒ ටෙලිනාට්‍යයේ 'ශාක්‍යාගේ' චරිතයට රංගනයෙන් දායක වෙනවා.


නානාගේ පොඩි එකීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඒ චරිතය රඟපාද්දි නම් මුලින්ම එච්චර හොඳ ප්‍රතිචාර ලැබුණෙ නැහැ. අක්කා එක්ක රණ්ඩු කරන, ගෙදර හැමෝම එක්ක රණ්ඩු කරන, කෑගහන කටකාර චරිතයක් නිසා, තාත්තාවත් හදන්න යන කෙල්ලෙක් නිසා කට්ටිය ඒ චරිතයට බැන්නා. හැබැයි දැන් වෙද්දි ඒක චරිතයේ ස්වභාවය කියලා ප්‍රේක්ෂකයන් තේරුම් අරගෙනයි ඉන්නෙ. ඒ නිසා දැන් මගේ රංගනය ගැන තමයි ඒ අය කතා කරන්නෙ. ඒ නිසා දැන් ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි.


රංගනයට දායක වෙන්න ඔබට පුංචි කාලේ ඉඳන්ම හීනයක් තිබුණද?


ඔව්.. ඒක මගේ පොඩි කාලේ ඉඳන් තිබුණු හීනයක්. ඒත් මගේ තාත්තා මට ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න ඉඩ දුන්නෙ නැහැ. මුලින්ම ඉගෙන ගන්න කියලයි කිව්වෙ. ඒ නිසා උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව තමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. මගේ අම්මගේ මාමා තමයි ආරියසේන ගමගේ. ඉතින් සීයා රඟපානවා දැකලා පුංචි කාලෙම මටත් රඟපාන්න ආසා හිතුණා. මිනිස්සු සීයාව දැකලා කතා කරද්දි, සීයා එක්ක හිනා වෙද්දි පුංචි කාලේ ඉඳන් මටත් රඟපාන්න ආසා හිතුණා. ඒ නිසාම පුංචි කාලේ ඉඳන් මමත් කලාවට හරිම කැමතියි. කොහොම හරි 2021 අවුරුද්දෙ ස්වාධීන රෑපවාහිනී සේවයේ 'අවුරුදු කුමරිය' තරගයට ඉල්ලුම් කරලා මම ඒ තරගයෙන් අවසන් දොළොස් දෙනාට තේරුණා. ඇත්තටම මට ඕන වුණෙත් 'අවුරුදු කුමරිය' තරගයෙන් දිනනවාට වඩා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා ගන්නයි. කොහොම හරි දැන් තාත්තත් මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට කැමතියි. රෑගත කිරීම්වලට යද්දි මගේ අම්මත් මාත් එක්ක එනවා.


තත්සරණි ඉගෙන ගත්ත පාසල මොකක්ද?


මම ඉගෙන ගත්තෙ කොළොන්නාව බාලිකා විදුහලෙන්. ඇත්තටම පාසලේදි මම සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. වැඩිය කතා කරන්නෙ නැති, ගොඩක් යාළුවො නැති, සබකෝලය තියෙන පැත්තකට වෙලා තමන්ගෙ පාඩුවෙ හිටපු චරිතයක්. දැන් තමයි මම මෙහෙම කියවන්නෙ. මගේ පාසලේ ගුරුවරියන්, යාළුවො මුණගැහුණාමත් ''ඔයා කොහොමද මේ චරිතය කරන්නෙ'' කියලා ඒ අය මගෙන් අහනවා. ඇත්තටම ඒක මට වගේම හැමෝටම පුදුමයක්. පාසලේ හිටපු තත්සරණිට වඩා අද ඉන්න තත්සරණි හාත්පසින්ම වෙනස්.


ඔබට යම් නිර්මාණයකට ආරාධනාවක් ලැබුණාම පිටපත මුලින්ම කියවලා බලනවද? ලැබෙන හැම චරිතයම බාරන්නවද?


මුලින්ම මට ලැබුණෙ 'පාර දිගේ' ටෙලිනාට්‍යයයි. ඒ අවස්ථාවෙදි මම පිටපත කියවලා, චරිතය බලලා ඒක බාරගත්තෙ නැහැ. ඒ වෙද්දි 'නාඩගම්කාරයෝ' ටෙලිනාට්‍ය හරි ජනප්‍රියයි. ඒ අතරේ ඔවුන්ගේම 'පාර දිගේ' ටෙලිනාට්‍යයට මට කතා කරද්දිත් මට ඒකට පුදුම ආසාවක් ඇතිවුණා. රොෂාන් පිලපිටිය සහ ගයත්‍රි ඩයස්ගේ පොඩි දුවට කෙනෙක් හොයනවා කියලා කියද්දි මට මාර සතුටුයි. ඒ අය මම ඉතා ආදරය කරන, ගරු කරන අයයි. ඉතින් දෙපාරක්ම නොහිතාම මම ඒ චරිතය කරන්න කැමති වුණා. අදටත් රොෂාන් අයියාගෙනුත් ගයත්‍රි අක්කාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ දවස්වල රොෂාන් අයියා එක්ක විතරක් චරිතය කරන නිසා රෑගත කිරීම් කරන්න කලින්ම ''නංගි අපි රියර්සල් එකක් බලමුද?'' කියලා රොෂාන් අයියා අපිව උනන්දු කරනවා. අපි අලුත් නිසා අපිට බොහෝ දේවල් කියලා දෙනවා. දෙබස් වරදිද්දි වුණත් ''කමක් නැහැ අපි ආයෙත් ගමු'' කියලා අපිව ධෛර්යමත් කරනවා.


පුංචි කාලේ සිංහල අලුත් අවුරුදු මතකයන් කොහොමද?


හරි අපූරු මතකයන් තියෙනවා. ගමේ අවුරුදු උත්සවවලට සහභාගි වුණා. තරගවලට සහභාගිවෙලා ජයග්‍රහණය කරලා තියෙනවා. සිඟිති අවුරුදු කුමරිය තරගවලින් ජයග්‍රහණය කළා. ඇත්තටම සිංහල අලුත් අවුරුද්ද එනතුරු අපි හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ඒක හරි සුන්දර කාලයක්.


 දිශානි





Previous Post Next Post