සරලම සිනිඳුම දේවල් තියෙන්නෙ ගැඹුරුම තැන්වල-උමාලි තිලකරත්න



උමාලි තිලකරත්න කියන්නෙ වේදිකාවෙන්, පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් ඔබට හමුවන බොහොම සරල, නිහතමානි චරිතයක්. ඒ නිසාම බොහෝ දෙනකු ඇයට ආදරේ කරනවා. සමාජ මාධ්‍ය තුළ වුණත් ඇය බොහෝම නිහඬ චරිතයක්. ඇය ප්‍රේක්ෂකයන් සමග සමීප වන්නෙම ඇය රූපණය කරන චරිත තුළින්. එකිනෙකට වෙනස් ඇයගේ චරිත ඇය සතු රූපණ කුසලතාව නිබඳව ඔසවා තබන්නට සමත්ව තිබෙනවා. ඒ නිසාම ඒ චරිත තුළින් ඇය සම්මානිත වනවා. පසුගියදා නිමාව දුටු සුමති සම්මාන උළෙලේ 2021 වසරේ හොඳම නිළිය ඇයයි. ඒ වගේම 2022 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා ඇය නිර්දේශ වී තිබෙනවා. මේ සියල්ල නිසාම පිනිපලස සොඳුරු කතාබහකට උමාලිව සම්බන්ධ කර ගන්න අපිට හැකි වුණා.



2021 වසරේ හොඳම ටෙලි නාට්‍ය නිළිය ‘සකර්ම’ හි තිලකා සම්මානිත වුණා, කොහොමද දැනුණු හැඟීම...


මාව ‘සකර්ම’ හි තිලකා චරිතය වෙනුවෙන් තෝරා ගත්තට ස්තුතිවන්ත වෙනවා. මෙහි අධ්‍යක්ෂක නිෂ්පාදක, පිටපත් රචක, සංස්කාරක, කැමරාකරණ, කාර්මික, අංග රචන හා නිර්මාණයට දායක වූ රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට ස්තුතිවන්ත වෙනවා ඒ හැමෝගෙම සහයෝගය නිරතුරුවම තිලකාට ලබා දුන්නට. ඒ විතරක් නෙවෙයි මට රංගන, නර්තන, ගායන කුසලතා සඳහා ගුරුහරුකම් දුන් සියලුම දෙනාටත් පවුලේ සැමටත් ස්තුතියි. ඒ එක්කම මම තිලකා වෙනුවෙන් දැරූ නිර්මාණශීලි ශ්‍රමය හඳුනාගෙන මේ ඇගයීම ලබා දුන්නට ජූරියටත් ස්තුතියි.


2021 වසරේ හොඳම නළුවා සහ නිළිය වෙන්නේ සකර්මහි චුට්ටියි කිරි අයියයි, ඒ ගැන මොකද හිතෙන්නේ..




සකර්ම ටෙලි නාට්‍යයේ තිලකාට ටිකක් හෝ පිහිටට හිටියේ කිරි අයියා. ඔහු දෙවරක් හොඳම නළුවා වුණා. තුසිත අයියා ගැනත් සතුටුයි. ඒ වගේම චම්පා අක්කා, අනුරාධා නංගි, පූජන, පහන්දි, සුබුද්ධි අක්කත් සම්මාන ලැබුවා. හොඳම අධ්‍යක්ෂණය ඇතුළු අනෙකුත් සියලු අංශවලට ඇගයීම් ලැබුණු විශිෂ්ටතම නිර්මාණයකට ඉතිහාසගතව සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන සතුටුයි. ඒ වගේම මේ වෙලාවේ මහපොළව නිර්මාණයේ සියලු දෙනාත් ඉතා ආදරෙන් මතක් කරන්න ඕනේ. එයාලත් ගොඩක් මහන්සි වුණා. මහපොළව සිංගිට වගේම සංසාරාරණ්‍යය අසබඩහි බන්ඩිටත් මම ආදරෙයි.



මේ වෙද්දී හොඳම නිළිය ලෙසින් කී වතාවක් සම්මානිත් වෙලා තියෙනවද?



හොඳම නිළිය වෙනුවෙන් හතර වතාවක්. තවත් නිර්දේශ නාම සහිතයි.



රයිගම් ටෙලීස් 2022ටත් හොඳම නිළිය ලෙසින් නිර්දේශ වීම ගැන මොකද හිතෙන්නේ...



මේ මගේ හතරවැනි රයිගම් නිර්දේශය. සී රජ - ලෝකිතා දේවිය (සහාය නිළිය 2018), බොහිමියානුවා - නූරි (හොඳම නිළිය 2019), සකර්ම - තිලකා (හොඳම නිළිය 2021), පිතෘ - ගෞරි (හොඳම නිළිය 2022)


 ආනන්ද අබේනායක වැනි ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙක් වගේම හුස්ම වැටෙන පිටපත් ලියන නාමල් ජයසිංහගේ පිටපතකටත් ජීවිතය එකතු කරන්නට ලැබීම ම මා ලද භාග්‍යයක්. ප්‍රියන්ත සිරිකුමාර, චාන්දනී සෙනවිරත්න, ගෙවින් අභිෂේක්, චමිලා පීරිස් හා වැඩ කිරීම හා ඒ ලැබුණු සහයෝගය වචනයෙන් නිම කරන්න බැහැ. මට වඩා අවුරුදු 15ක් පමණ බාල වයස් ඇති සංවේදී අසරණ වූ නමුත් හයිය හදවතක් තියෙන ගෞරිව හොයන්න මම මගේ හද පතුලටම කිමිදී කිමිදී මැරි මැරී ඉපදුණා. ඒ වෙනුවෙන් මම නිර්මාණයකට හතරවැනි වරටත් කොණ්ඩය කැපුවා


මේ කාලයේ උමාලි මොන වගේ නිර්මාණ එක්කද ඉන්නේ...



මේ කාලයේ රාජිත දිසානායකගේ ‘නැතුව බැරි මිනිහෙක්’ සහ ‘ජූලි මාසයේ දවසක්’ කියන වේදිකා නාට්‍යය දෙකේ ඉන්නවා. ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිනමා නිර්මාණයකට සහ ඉසුරු ගුණතිලකගේ ‘ශේෂ’ නම් සිනමා නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව කාලය ගත වෙන්නේ මගේ කෙටි නිර්මාණ දෙකක් එක්ක.



ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


රාජිත දිසානායකගේ‘නැතුව බැරි මිනිහෙක්’ සහ ‘ජූලි මාසයේ දවසක්’ කියන වේදිකා නාට්‍යය තුළින් සහ ආරියරත්න ඇතුගලයන්ගේ ‘සිසිවන උවන’ ටෙලි නිර්මාණයෙන් වගේම සමීර කපුකොටුවගේ ‘අපි’ කියන නිර්මාණය සහ රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘සීගිරි’ චිත්‍රපටය තුළින් ඉදිරියේදී දැක ගන්න පුළුවන්.



උමාලි චරිතයක් භාර ගනිද්දී වඩාත් සැලකිලිමත් වෙන්නේ මොන අංශ කෙරෙහිද?



පිටපත, චරිතයෙහි භාවාත්මක ස්වභාවයන්, දෙබස්, හදට හිතවතට තර්කයට අනුකූලව කළ හැකි මට සාධාරණයක් කරන්න හැකි අභියෝගාත්මක චරිතයක්ද කියන එක තමයි මම බලන්නේ.



මෙතෙක් කළ චරිත අතරින් උමාලි වඩාත් කැමැති චරිතය මොකක්ද?



ආදරේ පිරිච්ච ‘නූරි’ ට.


ඉදිරියේදී කරන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?



එහෙම විශේෂ චරිතයක් කියලා නැහැ.


ක්ෂේත්‍රයට විවිධ සමාජ මාධ්‍යය ඔස්සේ (ටික් ටොක් වැනි) දවසින් දවස අලුත් අය එනවා, ඒ ගැන මොකක්ද අදහස...


ලංකාවේ නිසි ක්‍රමවේදයක් නැතිකමට ඇතැම් අය ඇවිත් මෙහි ඇති අනිසි තත්ත්වයන් තුළ අතරමං වෙනවා. ඇතැමුන් හරි දේ ඉගෙන ගෙන සාර්ථක වෙනවා. චරිතයක් රඟදක්වන්න ප්‍රසිද්ධියවත් ජනප්‍රියත්වයවත් වැදගත් වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නිසි හැකියාව, කැපවීම, තමා කරන දෙයට අවංක වීම, ගෞරව කිරීම හා විනය. ඒ අංග තියෙනවා නම් මොන මාධ්‍යය ඔස්සේ ආවත් දිගුකාලීන පැවැත්මක් ඇතුව නිර්මාණවලට දායක වෙන්න පුළුවන් කියලා මම හිතනවා.


අපිට හැඟෙන විදියට උමාලි කියන්නේ දැඩි නිහඬ චරිතයක්, උමාලිම කිව්වොත් උමාලි කියන්නේ මොන වගේ චරිතයකටද?


මම මිනිසුන් එක්ක ගැවසෙද්දී මිත්‍රශීලියි. නමුත් මම එතරම් සමාජශීලි කෙනෙක් නෙවෙයි. මම Introvert (අන්තර්වර්තිත) කෙනෙක්. ඒ නිසා මම හුදකලාවට ප්‍රිය කරනවා. මම ගෙදර හිටියත් තනිවම කාලය ගත කරන්න කැමැති කෙනෙක්. හැබැයි මම ආදරේ කරන මට අවංකවම ආදරේ කරන අය වෙනුවෙන් කාලය අනිවාර්යයෙන්ම වෙන් කරනවා. එහෙම අය ඉන්නේ අතළොස්සයි. ඒ අය මම ආශ්‍රය කරන්නේ ගොඩක් තෝරා බේරාගෙන. එහෙම නැතුව මූනිච්චාවට හිනා වෙවී කතා කරන්න අපහසුයි. මගේ හිතට එකඟව කියන්න තියෙන දෙයක් මම ඒ අදාළ පුද්ගලයාට කෙළින් කියන කෙනෙක්. මම ලැජ්ජාශීලි, සංවේදී කලාකාමී කෙනෙක්. පුළුවන් හැම වෙලාවේම හිතත් එක්ක සංවාද ගොඩ නගන බෞද්ධ දර්ශනය තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක්. මම කරන වැඩවලට අවංකයි. නීතිගරුකයි. හැබැයි මගේ ස්වභාවයන් හරි හැටි හඳුනන්නේ නැති අයට මාව පෙන්නේ පණ්ඩිත කෙනෙක් විදියට වෙන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා සරලම සිනිඳුම දේවල් තියෙන්නේ ගැඹුරුම තැන්වල කියලා.


ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී මෙතෙක් ආව ගමන් මග ගැන මොකද හිතෙන්නේ...


ජීවිතේ ගැන අප්‍රමාණ නිහතමානී සතුටක් තියෙන්නේ. ස්තුතිවන්ත වෙනවා ජීවිතේ ලද නොලද හැම දෙයකටම.


ජීවිතේ යම් දෙයක් වෙනස් කර ගන්න අවස්ථාවක් ලැබුණොත්, වෙනස් කර ගන්න දෙයක් තියෙනවද?



මුකුත් නැහැ. හැම මොහොතක්ම අවසාන මොහොතක් විතරයි.



රූපණවේදිනියක් වීම තුළ තෘප්තිමත්ද?


අතිශය තෘප්තිමත්.



උමාලි වටා උමාලි උපයාගත් වත්කම් අතර ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරේට පෙරලා කියන්න තියෙන්නේ මොනවද?


ප්‍රේක්ෂකයන් විවිධාකාරයි. නමුත් ඒ අය නිසා මා ජීවිතේ මිනිස් සිත් ස්වභාවය ගැන ඉගෙන ගත් දේ බොහොමයි. නිරතුරුවම ලැබෙන සුභාශිංසන හා ප්‍රතිචාරවලට ස්තුතියි. ප්‍රේක්ෂකයන් හැටියට වගකීමක් තියෙනවා නිර්මාණකරුවන්ගේ නිර්මාණ දිහා බලන්න. එහි රස ගුණ අත්විඳින්න. එයින් තමන්ගේ ජීවිතේට යහපත් යමක් එකතු කර ගන්න. වෙන වතගොත හොය හොයා කාලේ නාස්ති කරන සම්ඵප්‍රලාපයෙහි යෙදුණු හිස් මිනිසුන්ගේ පුවත් ඇසුරු කරන්න එපා. මම පෙනී නොසිටින හෝ මගේ සමාජ මාධ්‍යය ජාලයක හෝ පළ නොවූ කිසිම තොරතුරක් විශ්වාස කරන්නත් එපා. එයින් හිත් පීඩාවට පත්වන්නේ ඔබමයි. මම නිර්මාණකරණයේ යෙදෙන්න මහන්සි වෙන්නේ ඔබට ජීවිතය විනිවිද දකින්න කලාව හරහා යමක් තිළිණ කරන්න පමණයි. ඒ සඳහා අපිට සහයෝගය ලබා දෙන්න. විෂම චක්‍රවලට නොරැවටී ඉන්න. පුළුවන් නම් ඒවා වාර්තා කරන්න.


අනාගත සැලසුම් මොනවද?


හැමදාම සැලසුම පුළුවන් උපරිමයෙන් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න උත්සාහ කරන එක. ඒක හැමදාම එහෙමයි. නිලලත් උපදේශනය හා මනෝ ප්‍රතිකාර නිලධාරිනියක් වෙන්න මේ දවස්වල අවසාන කාලය සම්පූර්ණ කරමින් ඉන්නේ. ඉගෙනගත් දේ උගන්වන්නත් ආරාධනා ලැබී තියෙනවා. ඒ කියන්නේ සිනමාව හා රංගනය, පූර්ණ ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය මම හැදෑරුවා. ඒ හරහා වැඩ කොටසක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ නිර්මාණ කරන U Factor ආයතනය හරහාත් නිර්මාණ කරන්න සැලසුම් තියෙනවා. ඒ හැර පුළුවන් හැම වෙලේම තෘප්තිමත්ව නිවුණු මනසකින් ජීවත් වීම තමයි ලොකුම සැලසුම.






Previous Post Next Post