සංගීතය තමයි ජීවිතේ අංක එක -කාංචනා අනුරාධි



කාංචනා අනුරාධි කියන නම ප්‍රේක්ෂකයන්ගේ දෙසවනේ රැව් දෙන ආදරණීය චරිතයක් වී අවසන්. මේ ගමන නම් ඇයට ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. දවසින් දවස ගායක ගායිකාවෝ බිහිවෙන අපේ රටේ එක රැයෙන් ජනප්‍රිය නොවී හෙමින් ආපු ගමනක් තමයි ඇයට තිබුණේ. ඒත් එක්තැනකදි ඇගේ ජීවිතය කණපිට පෙරළෙන්න තරම් එක ගීතයක් ඇගේ ගායන දිවියට කියාගන්න බැරි ආශිර්වාදයක් වුණා.


‘කරකාර බඳින්නට කාලේ හොඳා


බහ දුන්නොතින් ආල හිතින්...’


ඒ පද පේළිය ඇහෙද්දි ඇය කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඇය ගායන ශිල්පිනී කාංචනා අනුරාධි. ඇය මේ දිනවල ලංකාවේ වැඩිම එළිමහන් සහ ගෘහස්ථ ප්‍රසංග ප්‍රමාණයකට ඇරයුම් ලැබෙන එකම ගායිකාව කිව්වත් වැරදි නෑ. ඒ නිසාම මෙවර ‘පිනිපලස’ අපි සුන්දර කතාබහක් වෙනුවෙන් කාංචනා අනුරාධිට කතා කළා.


කාංචනාගේ සංගීත ජීවිතේ වෙනස් කළේ‘කරකාර බඳින්නට’ කියන ගීතය...


මං‘කරකාර බඳින්නට’ ගීතය ප්‍රතිනිර්මාණයක් විදිහට ගායනා කළේ එහි මුල් ගායන ශිල්පියා වෙන ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාගේ පවුලේ අයගේ ආරාධනාවකට. ඒ ‘නාද’ සංගීත කණ්ඩායමේ අලුත් සංගීත සංයෝජනයකට. ඒත් ඒක එළිදක්වන්න කලින් මං එක වැඩසටහනක් අතරතුරේ ඒ ගීතය ගායනා කළා. එතැනදි ගීතයට නොහිතපු ප්‍රතිචාර ලැබුණා.


මුලදි ඒ ගීතයට එච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා කාංචනාට හිතුණද?




ඇත්තටම මුලින් හිතුවේ නෑ එච්චර දෙයක් වෙයි කියලා. ඒත් මොකක්දෝ වාසනාවකට ඒක එහෙම වුණා. අනිවාරෙන්ම ඒ ගීතයේ මුල් ගායන ශිල්පියාව මතක් කරන්න ඕන. මොකද එතුමා එහෙම ගීතයක් කරලා තිබුණු නිසයි මෙච්චර ප්‍රතිචාරයක් ලැබෙන්න තරම් මං වාසනාවන්ත වුණේ.



කරකාර බඳින්නට’ ගීතයෙන් පස්සේ ඔබ ගයපු හැම ගීතයක්ම වගේ ජනප්‍රිය වුණා නේද?



‘කරකාර බඳින්නට’ ගීතයට කලින් අකීකරු පෙම් කතාවක්, කාලි, සීමා, උඳුරාවී කියන ගීත කරලා තිබුණේ. ඒත් කරකාර බඳින්නට ගීතයෙන් පස්සේ කරපු දැනෙනා තුරු මා, නාදෙන්, නොලියමි වගේම ආලේ මල් කියන හැම ගීතයක්ම මිනිස්සු හරිම ආදරෙන් වැලඳගත්තා.



කාංචනාගේ පාසල් ජීවිතේ ගැන මතක් කළොත්?



මගේ මුල්ම පාසල් වෙන්නේ වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික පාසල සහ මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසල. ඊට පස්සේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.


2016 අවුරුද්ද කියන්නේ ඔබට අමතක නොවෙන අවුරුද්දක්. එහෙම නේද?




ඒක ඇත්ත. මං උසස් පෙළ ශිෂ්‍යාවක් වෙලා ඉන්නකොට විවෘත අංශයෙන් 2016 වසරේ රාජ්‍ය සම්මාන උළෙලේ වසරේ ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායිකාවට හිමි සම්මානය මට දිනාගන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒක කවදාවත් මට අමතක වෙන්නේ නෑ.



හැබැයි ඒ සම්මානය ඔබට ලැබෙයි කියලා නම් කාංචනා අන්තිම මොහොත වෙනකල්ම හිතුවේ නැතිලු නේද?



ඇත්තම කිව්වොත් මං ඒ සම්මානයට නිර්දේශ වෙලා කියලා ගෙදරට ලියුම එද්දි පවා මට ඒක ලැබෙයි කියලා හිතුවේ නෑ. මොකද ඒ වෙනකොට මං පොඩියි. අනික තමයි විවෘත අංශය කිව්වම වයස් භේදයකුත් නෑනේ. ඒත් අම්මා නම් එයත් අලුත් සාරියක් එහෙම අරන් මටත් අලුත් ඇඳුමක් අරන් දීලා සම්මාන උළෙලට යන්න තමයි කතාව. ඒත් මං එච්චර හිතන්නේ නැතුව සල්වාර් එකක් ඇඳගෙන ඒකට ගියා. සම්මාන උළෙල මැදදි එකපාරට කිව්වේ නැද්ද ‘2016 රාජ්‍ය සම්මාන උළෙලේ විවෘත අංශයෙන් වසරේ ප්‍රශස්ථම සාම්ප්‍රදායික ජන ගායිකාවට හිමි සම්මානය දිනාගන්නේ කාංචනා අනුරාධි’ කියලා. එතැනින් පස්සේ තමයි මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වුණේ.



පුංචි කාලේ ඉඳන්ම කාංචනා ඇතුළේ සුන්දර ගායිකාවක් ඉඳලා. එහෙම නේද?



පුංචි කාලේ ඉඳන්ම මට ගායනය කියන එක ඇඟ ඇතුළේ තිබුණා. මං ඒක තනියෙන් වර්ධනය කරගත්තා. කටහඬ පුහුණුවීම් කළා. ඊට පස්සේ හැම ශෛලියකම ගීත ගායනා කරන්න ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළට, උසස් පෙළට සංගීතය කළේ. ඊට පස්සේ සංගීතය වැඩිදුර අධ්‍යයනය කළා. මේ වෙනකොට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යා අංශයේ උපාධිය හදාරනවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි කිරිඅම්මයි. ඒ අයත් මගේ ගමනට උපරිම සහයෝගය දක්වනවා.


කාංචනා පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ ගායිකාවක් වෙන්නද?




එහෙම හීනයක් තිබුණේ නෑ. ඇත්තටම මං පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ පශු වෛද්‍යවරියක් වෙන්න. උසස් පෙළට ජීව විද්‍යාව තමයි කරන්න පවා හිතාගෙන හිටියේ. ඒත් ඔය කාලෙම වගේ මට මතකයි ඉස්කෝලේ කාලේ පාසල් ඒකල ගායන තරගයකින් මං ජයග්‍රහණය කළා. එදා මං කිව්වේ ‘දීකිරි දීකිරි’ ගීතය. ඊට පස්සේ හැමෝම මාව දකිද්දි ‘දීකිරි’ කියන්න පටන් ගත්තා. ඒ විදිහට පාසල තුළත් ජනප්‍රිය වුණා. ඉතින් මට හිතුණා මගේ ගමන තියෙන්නේ සංගීතය එක්ක කියලා. අන්තිමේ පශු වෛද්‍යවරියක් වෙන හීනය වෙනස් වෙලා ගායිකාවක් කියන තැනට දෛවය මාව අරන් ආවා.



මේ දිනවල සංගීත ප්‍රසංගවලින් නම් අඩුවක් නෑ නේද?



ඇත්තටම කිව්වොත් ප්‍රසංගවලින් නම් කිසිම අඩුවක් නෑ. ගෘහස්ථ වගේම එළිමහන් ප්‍රසංගවලට ආරාධනා ගලාගෙන එනවා. ඒත් කාර්යබහුල බව එක්ක සමහර ප්‍රසංග නම් භාරගන්න වෙන්නේ නෑ. ප්‍රසංග නිසාම කැම්පස් එකේ වැඩ පවා අතපසු වෙන වෙලාවල් තියෙනවා.



කාංචනාට ගීත ගායනා කරන්න පුළුවන් වගේම හැඩට නටන්නත් පුළුවන් කියන්නේ ඇත්තද?



මං පුංචි කාලේ ඉඳන්ම පහතරට නර්තනය හදාරලා තියෙනවා. පාසල තුළදිත් විෂයක් විදිහට නාට්‍ය හා රංග කලාව කළා. ඒත් කාලයත් එක්ක මං සංගීතය පැත්තට තමයි බරවුණේ. ඒත් අදටත් මට හොඳට නටන්න පුළුවන්.


ඔබේ පෙනුමත් එක්ක රංගනයට එහෙම ආරාධනා ඇවිත් නැද්ද?




රංගනයට නම් සෑහෙන්න ආරාධනා ලැබෙනවා. ඒත් සංගීතය තමයි ජීවිතේ අංක එක. ඒත් මං ආසයි හොඳ නිර්මාණයක් ලැබුණොත් සංගීත ගමනට හානියක් නොවෙන්න රඟපාන අත්දැකීමත් එකපාරක් හරි අරන් බලන්න. තවම ඒ ගැන හිතලා නෑ.


ගීතවලට වගේම ඔබේ දිගු කොණ්ඩෙටත් කැමැති පිරිසක් ඉන්නවා නේද?



එහෙම පිරිසකුත් ඉන්නවා. මං ඉස්කෝලේ දහය වසරේ ඉඳන් තමයි කොණ්ඩේ වවන්න පටන් ගත්තේ. ඒ වෙනකල් කොල්ලෙක් වගේ කොණ්ඩේ කොටටම කපලයි හිටියේ. මේ වෙනකොට කොණ්ඩෙ දණිස්සෙන් චුට්ටක් පහළට දිගයි. ඇස් දෙක වගේ තමයි ඒකත් පරිස්සම් කරගන්නේ. සත්කාරයකට කියලා කරන්නේ අම්මා ගෙදර හදන පොල්තෙල් ගාන එක විතරයි.



එතකොට ආදරේ ගැන එහෙම කාංචනාට මොකද හිතෙන්නේ?



ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක්. මේ ලෝකයේ පැවැත්මට කොහොමත් ආදරය, කරුණාව, දයාව කියන දේවල් ඕන. අපි කවුරුත් ආදරේ කරන්න ආදරේ ලබන්න ආසයි. මේ වෙලාවේ මට ලොකුම දේ රසික රසිකාවියන්ගේ ආදරේ තමයි.



අද ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?



මේ මං දීර්ඝ කාලයක් තිස්සේ හෙමින් අමාරුවෙන් ආපු ගමනක්. ගමන දුෂ්කරයි තමයි, ඒත් සුන්දරයි. තරුවක් අහසේ බැබළෙද්දි තමයි කවුරුත් ඒක දකින්නේ. ඒත් කවුරුත් ඒ තරුව නිර්මාණය වෙන හැටි දකින්නේ නෑ. අන්න ඒ වගේ අවුරුදු ගාණක් වෙහෙසිලා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. මමත් වැටුණු තැන්, ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණා. ඒත් අම්මා තාත්තා ඒ වගේ තැන්වලදි ශක්තිමත් වෙන හැටි මට කියලා දීලා තිබුණා. ඒ නිසා දැන් මං වැටෙන්න බය නෑ. මොකද නැගිටින්න දන්නවා .ඒ වගේම ප්‍රතික්ෂේප කරපු අයටත් ස්තුතියි කියනවා. ඔවුන් එහෙම කරපු නිසයි මං ශක්තිමත් වුණේ. මං ගායිකාවක් විදිහට ලොකු ලොකු හීන දකින්නේ නෑ. මට ඕන මට පුළුවන් කාලයක් මගේ කටහඬින් මිනිස්සු සුවපත් කරන්න. ඒ තුළින් මං යා යුතු ගමන නිරායාසයෙන්ම තීරණය වෙයි කියලා මං හිතනවා.






Previous Post Next Post