කලා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ-කසුනි කාවින්දි




ඇය වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන ත්‍රිත්වයම ආක්‍රමණය කළ සොඳුරු රංගන ශිල්පිනියකි. විටෙක වෙඩි උණ්ඩ මෙන් සැර වචන පපුවට කිඳා බස්වන, තවත් විටක ළතෙත් හිතැති ප්‍රේමණීය පෙම්වතිය වන ඇය චරිතාංග රංගන ශිල්පිනියකගේ හැඩය සියුම්ව ඉස්මතු කරයි. ඇය කසුනි කාවින්දියි.


 කොහොමද මේ දවස්වල ජීවිතේ..


මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශනය වන බයෝ කතා මාලාව නිසා තරමක් කාර්යය බහුලව කාලය ගත වෙනවා. එහි දෙවැනි කතා මාලාවේ රූගත කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ ධනුෂ්ක රත්නායකයි. ඒ චරිතය තරමක් මට විශේෂයි. ඒ සඳහා මං මගේ කොණ්ඩය වගේම මූණේ පාටත් වෙනස් කරගෙන සිටිනවා. ඒ නිසා වෙනත් නිර්මාණ වල පෙනී සිටින්න මේ දිනවල අපහසුයි. මීට අමතරව මෝර්ශන් කැප්චර් තාක්ෂණයෙන් ප්‍රධාන චරිතය කළ ගජමෑන් තිරගත වෙනවා. ඒ වගේම මම සුළු චරිතයකින් දායක වුණු වෙඩි නොවදින ළමයි චිත්‍රපටයද මේ දිනවල තිරගත වෙනවා.


මෝශන් කැප්චර් තාක්ෂණය තුළින් ගජමෑන් චිත්‍රපටියේ ඔබගේ චරිතය ගොඩ ගොඩනැඟුණු ආකාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්..


මම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ මෝර්ශන් කැප්චර් හෙවත් චලනග්ග්‍රහණ තාක්ෂණය තුළිනුයි. එය දේශීය සිනමාවට අලුත් දෙයක් නෙමෙයි. එම තාක්ෂණය ප්‍රථමවරට ලංකාවේ භාවිතා කළේ ගජමෑන් චිත්‍රපටය තුළිනුයි. ඒ 2014 වර්ෂයේ දී යි. එය චිත්‍රපටයක, නාට්‍යයක රඟ දක්වනවාට වඩා වෙනස් අත්දැකීමක්. අප ඒ සඳහා වෙනත් ඇඳුමක් අඳිනවා. ඒ ඇඳුම සෙන්සර් පටියකින් සවිකර තිබෙනවා. එයින් අපගේ මුහුණේ හැඟීම් ප්‍රකාශන හා චලනවල විස්තර ග්‍රහණය කර ගන්නවා. ඒ විස්තර ඔවුන් ඇඳ තිබෙන කාටුන් චරිතයට පණ දෙන්න යොදා ගන්නවා. ගජමෑන් චිත්‍රපටයේ සියලුම චරිත වලට පණ ලැබිලා තියෙන්නේ මං ඇතුළු රංගන ශිල්පීන් හරහායි. සරලව කිව්වොත් පද්මාවති ට පණ දුන්නේ මමයි. එයට හඬ දුන්නේ පබෝධා සන්දීපනී අක්කායි.


 ඒ අලුත් අත්දැකීම ඔබ විඳගත්තේ කොහොමද?


මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්නේ 2014 වර්ෂයේදීයි. එවකට මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ සිසුවියක්. මට ඒ දවස්වල මෝර්ශන් කැප්චර් තාක්ෂණය ගැන අදහසක් තිබුණෙ නැහැ. අප එම තාක්ෂණය ගැන දැන ගත්තේ වගේම එම තාක්ෂණයෙන් කළ නිර්මාණ පිළිබඳ හැදෑරීමක් කළේ එය කරගෙන යන අතරතුරේදීයි. එහිදී අපගේ රංගන හැකියාවට වඩා චලනවලට වැඩි අවධානයක් ලබා දීමට සිදු වුණා. එය අපට වෙනස් අත්දැකීමක් වුණා. අප එම අභියෝගය පහසුවෙන් ජය ගත්තේ එයට සම්බන්ධ වූ රංගන ශිල්පීන් වේදිකාවෙන් පැමිණි නිසයි. ඒ නිසා ශරීරය හසුරුවා ගැනීමේ සීමාව සම්බන්ධයෙන් අපට යම් අදහසක් තිබුණා. මෙම තාක්ෂණයේ අත්දැකීම ලැබූ පළමු පිරිස ලෙස මට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.


 ගජමෑන් චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද


බොහෝදෙනෙක් මාව හඳුනන්නේ හඬකැවීම් ශිල්පිනියක් ලෙසයි. ඒ නිසා ගජමෑන් චිත්‍රපටිය තුළත් මම හඬ කැවීම් වලින් පමණක් දායක වූවා යැයි මතයක් බොහෝදෙනකුට පැවැතුණා . නමුත් මම සමාජ මාධ්‍ය ඔස්සේ motion capture තාක්ෂණය පිළිබඳව දැනුවත් කළා. ඒවගේම එහිදී මගේ කාර්යභාරය පැහැදිලි කළා. ඒ නිසා බොහෝදෙනෙක් මේ වන විට motion capture තාක්ෂණය ගැන දැනුවත්. ඒවගේම මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කොහේ ගියත් ගජමෑන් බලපු එක්කෙනෙක් හෝ මුණ ගැහෙනවා. ඔවුන් මට පද්මාවතී කියලයි කතා කරන්නෙ.


 වේදිකාවෙන් කලාවට පිවිසීම තුළ අක්මුල් ශක්තිමත්, දිගු ගමනක් යා හැකි යැයි කතාවක් තිබෙනවා. ඔබත් එයට එකඟ ද


ඔව් අනිවාර්යෙන්ම. මම ඒ කතාව සීයයට සීයක්ම විශ්වාස කරනවා. වේදිකාව කියන්නෙ හරිම අභියෝගාත්මක තැනක්. ඒ නිසා වේදිකාව තුළ දී අපිට අයිස් ගහන්න බැහැ. හැම රංගන ශිල්පියෙකුටම වේදිකා නාට්‍ය නිළියක් හෝ නළුවෙක් වෙන්න බැහැ. එතැනදී සිදුවන්නේ සජීවී ඉදිරිපත් කිරීමක්. ඒ නිසා කටහඬ අංගචලන, සියුම් චලන පවා පුහුණු කරන්න අවශ්‍යයි. මොකද වේදිකාව තුළ වැරදුණොත් වැරදුනාමයි. අපට කැමරාව ඉදිරියේ බය නොවී වැඩ කරන්න ලොකු ආත්මවිශ්වාසයක් එහිදී ගොඩනඟනවා. රංගනය තුළ වැඩිපුරම කැපී පෙනෙන රංගන ශිල්පීන් වේදිකාව තුළින් උපත ලැබූ අයයි.


 

නාඩගම්කාරයෝ ඔබගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා නේද


මගේ පළවෙනි ටෙලි නාට්‍ය රූගත කිරීම ඇරඹෙන්නේ 2013 වර්ෂයේදීයි. ඒ කාලයේ පටන් වසර දහයකට ආසන්න කාලයක් මම නාට්‍ය කිහිපයක වැඩ කටයුතු කරමින් ප්‍රේක්ෂක පිරිසක් එක්කර ගත්තා. එය තණමල්විල කොල්ලෙක්, රාවණ වැනි ටෙලි නාට්‍යවලින් වැඩිදියුණු වුණා. නාඩගම් කාරයෝ වැනි දීර්ඝ ටෙලිනාට්‍යයකින් වැඩි ප්‍රේක්ෂක පිරිසක් මා වටා එක්රොක් වුණා. පාරේ ගියත් මාව නොහඳුනන කෙනෙක් නැති තරම්. ඒ වගේම ලංකාවෙන් පිටදීත් විශාල ප්‍රේක්ෂක පිරිසක් මා වටා සිටිනවා. ඒ නිසා රංගන කාර්යයේදී නාඩගම්කාරයෝ කේන්ද්‍ර ස්ථානයක් වුණා යැයි මම විශ්වාස කරනවා.


 හසිනි පෙම්වතියක් කියලා ආරංචියි


ඔව්. ඔහු අකලංක ප්‍රභාශ්වරයි. ඔහු වේදිකා නාට්‍යයවලට සම්බන්ධ මගේ පරම්පරාවේ රංගන ශිල්පියෙක්. ඔහු ඉතාම දක්ෂ වගේම විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහු ටෙලිනාට්‍ය භාර ගන්නවා ගොඩක් අඩුයි. නමුත් ඉදිරියේදී ඔහුව ටෙලිනාට්‍ය කිහිපයකින්ම දැකගන්න පුළුවන් වේවි.


 

කලා ක්ෂේත්‍රය තුළ ඔබගේ අනාගත සැලසුම් මොනවාද


ඕනෑම මාධ්‍යයක් තුළ මට යම් කාර්යයකට ආරාධනාවක් ලැබුණොත් මම ඒ කාර්යය අකුරටම වගේම කැපවීමෙන් ඉටු කරනවා. මං අභියෝග භාර ගන්න වගේම කැප කිරීම් කරන්න ගොඩක් කැමතියි. එකී සියලුම කාර්යයන් කරන්නේ මගේ ආත්ම තෘප්තිය සඳහායි. ඒ නිසා කලා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ.





Previous Post Next Post