ඇත්ත සචිනි කවුද කියලා ලෝකයට පෙන්නන්න මම බය නෑ- සචිනි අයේන්ද්‍රා




විටින් විට ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා මේ දිනවල හැමෝගෙම කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා. ඇගේ නම නිතර කියවුණේ රූ රැජන තරග සම්බන්ධයෙන් බව කවුරුත් දන්නා කරුණකි. 2003 වසරේදී ලක් රූ රැජන වීමත් සමඟින් එම වසරේම ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ද ඇයට හිමිවූවාය. ආදරණීය වස්සානය චිත්‍රපටයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ ඇය සංඛාරා, හාර්ට් එෆ් එම් ආදි චිත්‍රපට රැසකට ද දායක වුවාය.


සචිනි රංගන ශිල්පිනියක් නොවුණා නම් ඔබ කවුරු වෙයිද?


එහෙනම් මම ව්‍යාපාරික කාන්තාවක් වෙයි. ඒත් මම මොනවගේ ක්ෂේත්‍රයක හිටියත් අනිවාර්යයයෙන්ම කලා ක්ෂේත්‍රයටම එයි. මම දැනටත් ව්‍යාපාර දෙකක් කරනවා. මම කැමති මං දන්න දෙයක් කරලා ඉස්සරහට යන්න.


රංගනයේදී තෝරා ගන්න චරිතවලට සීමාවක් ති‍යෙනවද?


ඔව්. මම මේ ක්ෂේත්‍රයට එන්නේ මුලින්ම 2002 වසරේ. ඒ නිරූපණ ශිල්පිනියක් විදියට. මම චිත්‍රපටියක් තෝරා ගනිද්දී ඒ චරිතය හොඳයි ද? ඒ චරිතයේ මට කරන්න තියෙන්නේ මොනවද?, මට පෙනී සිටින්න තියෙන දර්ශන මොනවා ද? ඒවාගේ දේවල් සොයා බලලා තමයි මං ඒ චරිතය තෝරගන්නේ. උදාහරණයක් ගත්තොත් ලිංගික දර්ශන තියනවා නම් ඒවගේ සීමාව බලලා තමයි මං චරිතය තෝරා ගන්නේ.


 


සචිනිට සහකරු මුණගැහෙන්නේ කොහොමද?


ඔහුව මට මුලින්ම හමුවෙන්නේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ අවුරුදු උත්සවයක් විනිශ්චය කරන්න ගිහිල්ලා. මම හෙව්ව විදියේ කෙනෙක් තමයි එයා. දැන් අපි විවහ වෙලා අවුරුදු 14ක් වෙනවා. අපිට දියණියන් දෙන්නෙක් ඉන්නවා. අපි අපේ දරුවෝ දෙන්නා බලාගෙන සමගියෙන් ඉන්නවා.


 

සහකරුගෙන් සචිනිට ලැබෙන සහයෝගය කොයිවගේද ?


එයා මගේ කිසිම දේකට බාධා කරන්නේ නැහැ. ඇත්තටම මම කාගෙන්වත් මගේ වැඩවලට ලොකු දායකත්වයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මට ඕන දෙයක් තනියම කරන්න පුළුවන්. ඒ නිසා මට එහෙම ලොකු උදව්වක් ඕන නැහැ. මම මගේ ව්‍යාපාර කටයුතු, රංගන කටයුතු ආදිය තනියම තමයි කරගන්නේ. ඒත් මට අවශ්‍ය වෙලාවෙදී එයාගෙන් සහයෝගය ලැබෙනවා. හැබැයි එහෙමයි කියලා එයා හැම ෂූටින් එකටම මාව අරලවන්නයි එක්කගෙන යන්නයි නම් එන්නේ නැහැ. ඇත්තටම මම එහෙම කරනවට කැමතිත් නෑ. එයා මට මගේ වැඩ කරගන්න නිදහස දීලා තියනවා.


 

මොකක්ද මේ පහුගිය දවස්වල පැතිරුණ කතාව...සචිනි කෑම ගන්නකොට ග්ලව්ස් පාවිච්චි කරනවා කියලා?


ඔව් ඇත්ත. මම පාසල් යන කාලේ ඉඳලම බත් කන්න මගේ අත පාවිච්චි කරවා අඩුයි. මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයෙන්. ඒ වෙනකොට මම හොස්ටල් තමයි හිටියේ. එහේදී හැන්දෙන් ගෑරුප්පුවෙන් තමයි කෑම ගන්නේ. ඉතිං මං ඉස්සර ඉඳන්ම අතින් කෑවා අඩුයි. ඒත් මං බත් කන්න ආසයි. හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑම ගන්නකොට ඒකේ නියම රස එන්නේ නැති නිසයි මම ග්ලවුස් දාලා කෑම ගන්නේ. බත් කියන්නේ අතිං අනලා කන්න ඕන දෙයක්. ඒත් මට බත් අනලා කන්න බෑ. මගේ නියපොතු ගොඩක් දිග නිසා. එක පාරක් බත් කෑවොත් නියපොතු ටික ඉවරයි. නියපොතු කහපාට වෙනවා. පැල්ලම් බැඳෙනවා. ග්ලවුස් දාලා කෑම ගන්න එක අපේ රටේ ගොඩක් අයට මැජික් එකක් වුණාට ගොඩක් වෙලාවට පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයොත් ග්ලවුස් දාලා තමයි බත් කන්නේ. හොඳ රෙස්ටුරන්ට්වලත් අතින් කන කෑමක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ග්ලවුස් දෙනවා.


 

කොහොමද හැමදාම එක වගේ ලස්සනට ශරීරයේ හැඩය පවත්වගන්නේ ?


මේ දවස්වල නම් මම සතියට එක පාරක් වගේ තමයි බත් කන්නේ. ඒකත් එක වේලක් විතරයි. ඇත්තම කිව්වොත් සියයට අනූනවයක්ම මම බත් කන්නේ නෑ. ඉඳලා හිටලා දානෙකට, මළ ගෙදරකට වගේ සහභාගි වුණොත් එතැනදී ආස හිතුණොත් විතරක් බත් කනවා. මගේ ස්ටාෆ් එකේ කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ අය දැකලා තියනවද මම බත් කනවා කියලා. මගේ ළඟ අවුරුද්දක් වැඩ කරන කෙනෙක් වුණත් කියයි මම කවදාවත් බත් කනවා දැකලා නෑ කියලා. අනිත් දේ තමයි මම දැන් ඒකට පුරුදු වෙලා. ඇත්තටම මට ආශාව තිබුණත් ෂෝටිස්වත් කන්න බෑ. කාලයක් තිස්සේ පලතුරු, එළවළු වගේ ගුණ දේවල් ආහාරයට ගත්තම අපේ මොළය ඒකට පුරුදු වෙනවා. හරියට කාලයක් තිස්සේ මස්, මාළු ආහාරයට නොගෙන ඉඳලා ඒකට හුරුවුණු අයට නැවත අවශ්‍ය වුණත් ඒවා කන්න බෑ වගේ. අවුරුදු ගානක් තිස්සේ එළවළු, පලතුරුම කාලා මට දැන් ඒවා විතරයි කන්න පුළුවන්.


 

පසුගිය කාලයේ සමාජ මාධ්‍යවල ඔබ ගැන බොහෝ දෙනෙක් කතාබහට ලක් කළා එහෙම නේද?


ඔව්. මිනිස්සු මම ගැන එක එක දේ කතා වෙනවා. මෙයා මෙහෙමයි, මෙයා අරහෙමයි වගේ විවිධ දේවල්. මම දැක්කා ඊයේ පෙරේදත් මම ගැන එක්තරා නිළියක් රූපවාහිනියට ඇවිත් කියලා තිබුණා මට බොඩිගාඩ් කෙනෙක් ඉන්නවා වගේ දේවල්. ඉස්සරනම් මට ඒවගේ දේවල් අහද්දි දුක හිතුණා. දැන් මම ඉන්නේ ඒවා වැඩිය හිතන්නේ නැති තැනක. මිනිස්සු මං ගැන මොනවද හිතන්නේ කියන එක ගැන මම දැන් වැඩිය හිතන්නේ නෑ. ඇත්ත සචිනි කවුද කියලා ලෝකයට පෙන්නන්න මම බය නෑ. මම මොකුත් හංගන්නේ නැතුව ඔක්කොම පෙන්නන නිසා ඕන කෙනෙක්ට ඕන දෙයක් හිතන්න පුළුවන්. කෙනෙක්ට කියන්න පුළුවන් මෙයාට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒත් බලන්න මෙයා ඉන්න විදිහ කියලා. හැමදාම කොටටමයි අඳින්නේ කියලා. මට වයස අවුරුදු හැට වුණත් මම කොටට අඳිනවා. ඕනනම් බලන්න නැත්නම් අහක බලාගෙන යන්න. ඒ ආකල්පයේ ඉන්න නිසා වෙන්න ඇති මං ගැන එහෙම කතා වෙනවා ඇත්තේ.


 

මවක් විදියට අනාගත බලාපොරොත්තු මොනවද?


දරුවෝ දෙන්නෙක් හදන එක අද කාලේ ඇත්තටම අභියෝගයක්. දැන් කාලේ ටික් ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම් වගේ සෝෂල් මීඩියා තියනවා. ඉතිං ඒ ගොල්ලන්ව හදන්න අපිත් ඉගෙන ගන්න ඕන. මම හැමවෙලාවෙම හිතන්නේ මගේ දරුවන්ට හොඳ අම්ම කෙනෙක් වෙන්න. ඒ අයට හොඳක් වෙන දේ තමයි මම හැමදාම කරන්න ඕන. මම සමහර වෙලාවට ගොඩක් කැප කිරීම් කරනවා ඒ දෙන්නා වෙනුවෙන්. විශේෂයෙන්ම මම ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසාම මගේ ළමයින්වත් එක්තරා ප්‍රසිද්ධියකට ලක් වෙනවා. ඉතිං මම එයලාට ආදර්ශවත් අම්මා කෙනෙක් වෙන්නයි හැමවෙලාවෙම වැඩ කරන්නේ.


 

ළඟදිම අලුත් නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින්ට සචිනිව දකින්න පුළුවන් වෙයිද?


ඉදිරියේදී මම රංගනයෙන් දායක වන රූගත වීමට නියමිත චිත්‍රපට හතරක් වගේ තියනවා. ඒ වගේම මේ අවුරුද්දේ චිත්‍රපට එකක් හෝ දෙකක් තිරගත වීමටත් නියමිතයි. ඉතිං ඉස්සරහට ඒ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් සමීපයට එන්න මම බලාපොරොත්තු වෙනවා.





Previous Post Next Post