මම කැමති මොඩ්ල් එකක් එයා ඒ නිසා අවුලක් නැහැ - රනුක් අද්දරආරචිචි



 මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරන්නේ රංගන ශිල්පිනි ටනාෂා සතරසිංහ ගේ නංගිගේ විවාහ මංගල්‍යය ගැන. ඒ වගේම මේ මනමාලයා කවුද කියලත් හොයන්න පටන් ගත්තා. රනුක් අද්දරආරචිචි ප්‍රවිණ රංගධර කමල් අද්දරආරචිචි ගේ ආදරණීය ලොකු පුතා. මෙච්චර ලොකු පුතෙක් කමල්ට ඉන්න බව දැනගෙන පුදුම වූ අයත් ඉන්නවා. ඒ නිසා ටනාෂාගේ නැඟණිය නිෂිනි සතරසිංහ හා රනුක් එක්ක මේ විදිහට කතාබහක යෙදුණා. මේ ඔවුන් ගැනයි.


 රනුක්ගේ මියුසික් වීඩියෝ එකට රඟපාන්න ගිහිං අන්තිමට ඔහුත් එක්ක ඇත්තටම විවාහ වුණා නේද ..?


ඒකනේ. 2020 අවුරුද්දේ එයාගේ මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වෙන්න පුළුවන් ද කියලා අහලා මට ඉන්ස්ටර්ග්‍රෑම් මැසෙජ් එකක් ආවා. මම කැමති වුණා එයා අපේ ගෙදර ආවා ඒ ගැන කතා කරන්න එයාගේ මියුසික් වීඩියෝ ඩිරෙක්ටර් එක්ක. ලස්සන වීඩියෝ එකක් මමත් කැමති වුණා. එදා ඒකේ ඩිරෙක්ටර් කිව්වා අපි ගොසිප් එකක් යවමු කමල්ගේ පුතා ටනාෂගේ නංගි එක්ක විවාහ වෙයි කියලා. ඒ කතාව අන්තිමට ඇත්තක් වුණා


 ඒ කියන්නේ ඔබ දැනගෙන හිටියද රනුක් කමල්ගේ පුතා කියලා ..?


නැහැ. ඩිරෙක්ටර් එහෙම කියද්දි අපි දන්නේ නැහැ මොන කමල්ද කියලා. රනුක් අද්දරආරචිචි කිව්වට කමල් අද්දරආරචිචි කියලා හිතුවේ නැහැ. ඩිරෙක්ටර් කියද්දි මෙයා එයාගේ ඇඟට වැලමිටෙන් අනිනවා දැක්කා. ඊට පස්සේ තමයි දැන ගත්තේ එතුමගේ පුතා කියලා. මම ගූගල් කරලා බැලුවා ඒක ඇත්තද කියලා. එතකොට පොඩි කාලේ ෆොටෝස් එහෙම තිබ්බා.


 නිෂිනිව දැකපු පළමු මොහොතේ ම රනුක්ට හිත ගිහිං තිබ්බා වගේ..?


ඒ වගේ. මොකද එයා මට මැසේජ් කරනවා. කෝල් කරනවා. ඒ ඇවිත් ගියාට පස්සේ. කැවද බිව්වද අහනවා. මම මොකක් හරි වැඩකට යද්දී ගිහිං දාන්නද අහනවා. වීඩියෝ එකේ ලොකේශන් බලන්න එනවද අහනවා. අම්මා මගෙන් ඇහුවා ඒ මොකටද අහන්නේ ඕන නැහැ කියලා. මොකද මම කොහේ ගියත් අම්මා එක්ක යන්නේ. අම්මා කැමති වුණේ නැහැ. පස්සේ වැඩේ කරගෙන යද්දී දැනගත්තම කමල් මමාගේ පුතා කියලා අම්මා පුදුම වුණා මෙච්චර ලොකු පුතෙක් ඉන්නවද කියලා. මොකද මගේ අම්මා කැමති නළුවෙක් තමයි ඔහු. ඊට පස්සේ දන්නෙම නැතුව ආදරේ කළා.


 දෙමාපියන් විරුද්ධ වුණේ නැද්ද ..?


ගෙදරට නොකියා ඉන්න හිටියේ. මුලින්ම මම කිව්වා යාළුවෝ වගේ ඉමු කියලා. ඊට පස්සේ නොදැනුවත්වම ආදරේ කළානේ. දවසක් එයාගේ වීඩියෝ එකේ වැඩක් කරලා අපිව ගෙදරට බැස්සුවා. මම කාමරේට ගියා අම්මා එයාට තේ එකක් හදාගෙන ආවා. මම නැති වෙනකල් බලාගෙන ඉදලා රනුක් අම්මට කියලා අම්මේ මමයි නිෂිනියි ආදරේ කරනවා කියලා. අම්මත් විරුද්ධ වුණේ නැහැ එයා හොඳ ළමයෙක් කියලා. එයාගේ ගෙදරින් විරුද්ධ වුණෙත් නැහැ.


 කොහොමද රනුක්ගේ දෙමාපියන්ගේ පිළිගැනීම ..?


වීඩියෝ එක රූපගත කරන දවසේ තමයි අපේ ගෙදර හැමෝමයි, එයාගේ ගෙදර හැමෝමයි එකට මුණගැහෙන්නේ . එදා රනුක්ගේ තාත්තා අපි ගැන දැනගෙන හිටියේ නැහැ. අම්මා දන්නවා. අම්මා හරි ආදරේන් කතා කළා. පස්සේ තාත්තා දැනගත්තට පස්සේ හොඳට කතා කළා. දෙන්නා මට හරි ආදරේයි.


 තාත්තා ළඟ නැතුව තනියම කෙල්ලෝ හතර දෙනෙක් හදනවා කියන එක ලේසි නැහැ. හරි පරිස්සමින් හදපු ඔබව ඔබේ අම්මා කොහොමද සමු දුන්නේ..?


ඒක ඇත්ත අපි කෙල්ලොම හතර දෙනෙක්. ලොකු අක්කී ටනාෂා. දෙවැනි අක්කත් බැන්දා. තුන්වෙනි අක්කා සමාධි. එයා විවාහ වුණේ නැහැ. මම බාලයා. අපි තුන් දෙනාම එකම අවුරුද්දේ බැන්දේ. අම්මා තනියම අපිව හැදුවේ. කිසිම කෙනෙක් කරන්නේ නැති ලොකු කැපකිරීමක් අම්මා කරාට. අපිව කොහෙවත් තනියම යවන්නේ නැහැ. අපි තුන් දෙනා විවාහ වෙන්න කලින් අපේ බොයිෆ්‍රෙන්ඩ්ස් ගෙදරට ආවේ. හැමෝම එකම පවුලේ වගේ ජීවත් වුණේ. අම්මට පාළුවක් තිබ්බේ නැහැ. දැන් සමාධි අක්කා එක්ක අම්මා තනියම ඉන්නවා. මමයි රනුකයි මේ මාසේ අන්තිම වෙනකල් ඉන්නේ මැලේෂියාවේ . එයාට දුකයි. පොඩ්ඩ ඇත්නම් අඬනවා. එයාට හිතෙනවා ඇති එයා තනි වුණා කියලා. නැහැ එයාව අපි කවුරුත් තනි කරන්නේ නැහැ. අපි අම්මා දාලා කොහෙවත් යන්නේ නැහැ. පුළුවන් විදිහට අපි අම්මා ළඟින් ඉන්නවා. මේ ළඟදි දවසක ටනාෂා අක්කා එයාගේ ඇඳුමක් ගන්න ගෙදර ඇවිත්. එයාගේ ඇදුම් බදාගෙන අම්මා අඬලා. එයත් ගෙදර දාලා ගිහිං නැහැ . ඒත් අම්මට එහෙම හිතෙනවා ඇති. ගෑනියක් විදිහට අම්මා කරපු කැප කිරිම් බොහෝ දෙනෙකුට කරන්න බැහැ. අපි වරදක් කරනවා කියලා තේරුණොත් පෙන්නලා දීලා හරි මඟට ගත්තා මිසක් නීතිරීතී දාලා අපව හැදුවේ නැහැ.


නිෂිනි එහෙම කියද්දි රනුක්ට ඔහුගේ දෙමාපියන් නීතිරීතී දැම්මේ නැද්ද කියලා අපි රනුක්ගෙන් අහලම ඔහුත් එක්ක කතාවට මුලාරම්භය ගත්තා ඔහු කිව්වේ,


අම්මයි තාත්තයි කවදාවත් නිතිරීතී දැම්මේ නැහැ තාත්තා රඟපානවා කියලා මට රඟපාන්න කියලා නැහැ. මම කැමති සංගිතයට. තාත්තා ස්ටූඩියෝ එක දාලා දුන්නා. අම්මා ඔක්කොම බඩු අරන් දුන්නා. ආදරේ කරද්දී දන්නේ නැහැ වගේ හිටියා. අපේ සම්බන්ධය ගැන මුලින්ම මම කිව්වේ අම්මට. අම්මා තාත්තාට කියලා තිබ්බා. එතකොට තාත්තා දවසක් අහලා තිබ්බා මුන් දෙන්නා රණ්ඩු කර ගන්නවා නේද කියලා. එච්චරයි . මගෙන් මොකුත් ඇහුවේ නැහැ. අම්මා වගේම තාත්තා නිෂිනිව ආදරේන් පිළිගත්තා. අපි කෑමට එළියට ගිය වෙලාවක කෙනෙක් තාත්තගේන් මේ කමල්ගේ දරුවෝ තුන්දෙනාද කියලා ඇහුවා. තාත්තා කිව්වේ ඔව් මගේ දරුවෝ තුන් දෙනා කියලා .


 ඔබ දෙදෙනාම සමවයස් අය. තවම අවුරුදු 22 යි. විවාහයෙ වගකීම ගන්න පුළුවන් ද ..?


විවාහ වෙන්න ඕන කියලා හිතුවේ මෑතකදී , ඒ යෝජනාව ගෙදරට කිව්වා මගේ තනි කැමැත්ත ට නෙමෙයි බැන්දේ. අම්මයි තාත්තායි දෙන්නම කිව්වා විවාහ වෙන්න කියලා වයස ප්‍රශ්නයක් නැහැ කිව්වා. මම අම්මට තාත්තාට බරක් වෙන්න කැමති නැහැ , එයාලා මගෙ පාර හදලා දුන්නා මම මගේ ආදායම් මාර්ගය මගේ කැපවීමෙන් හොයා ගන්න ඕන . ඒක මට කරන්න පුළුවන් ඒ නිසා විවාහ ජීවිතයට ඇතුළත් වුණා.


 හැමෝම කතා වුණේ කමල් අද්දරආරචිචි ට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවද කියලා ..?


ඒකනේ. ඉස්කෝලේ කාලේ වුණත් මම කමල් අද්දරආරචිචි ගේ පුතා කියලා දැන ගත්තේ සාමාන්‍ය පෙළ කරන කාලේ. ඒ කාලෙත් කාටවත් කියන්න ගියේ නැහැ මම කවුද කියලා. අදටත් එහෙමයි. එකපාරටම විවාහය එක්ක තමයි ගොඩක් දෙනෙක් මම කමල් අද්දරආරච්චිගේ පුතා කියලා දැන ගත්තේ.


 නිෂිනි නම් කියන්නේ ඔබත් එක්ක ආදරයක පැටලෙන්නේ ඔබේ මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වුණු නිසා කියලා. නමුත් ඔබට හිත යන්නේ මඟ තොටේදි දැක්ක රුවකට නේද ..?


ඔව්. මම දන්නේ නැහැ මෙයා කවුද? ටනාශාගේ නංගි කියලා , දවසක් බම්බලපිටියට ගියා යාළුවෙක් එක්ක. ලස්සන කෙල්ලෙක් දැක්කා කොන්ඩේ දිග අහිංසක. මගේ හිත ඒ රූපෙට ගියා. මම යාළුවාට කිව්වා මාර ලස්සන කෙල්ලෙක් බං කියලා. යාළුවා කිව්වා පිස්සු ද එයාට කොල්ලෙක් ඉන්නවා. උඹ ඕකට පැටලෙන්න එපා කියලා. ඒ කතාව එතැනින් ඉවරයි. ඊට පස්සේ මම ඔස්ට්‍රේලියා යනවා. ටික දවසක් ගියාට පස්සේ ඉන්ස්ටර්ග්‍රෑම් එකේ උඩ පහළ යනකොට නිෂිනි ගේ ෆොටො එකක් දැක්කා. ඊට පස්සේ මම එයාට මැසෙජ් කළා මම ඔයාව දැක්කා කියලා. එයා රිප්ලයි කළා කොහෙද කියලා. පස්සේ ඒකට උත්තර දෙන්න ගියේ නැහැ කොල්ලෙක් ඉන්නවා කිව්ව කතාව මතක් වෙලා. ඒ කතාව ඉවරයි. ඊට පස්සේ තමයි වීඩියෝ එක කරන්න කතා කළේ. එතනදි තමයි ආදරේ කරන්නේ


 නිෂිනිගේ තිබුණු ප්‍රේමයට ඔබ හරස් වුණා ..?


නැහැ. එයාට බෝයි කෙනෙක් ඉදලා තියෙනවා, නමුත් මම මුලින් දකින කාලේම ඒක නතර වෙලා. යාළුවා කියලා තියෙන්නේ බොරුවක්. මෙයාව එයා දන්නෙත් නැහැ. ඒ කතාව ඇහුවා නිෂිනිගෙන් කොල්ලෙක් නැහැ නතර කරලා ගොඩක් දවස් කිව්වා. ඉතිං මම මගේ කැමැත්ත කිව්වා.


 කොහොමද විවාහ ජීවිතේ ලොකු වගකීමක් කියලා හිතෙනවද..


තවම නැහැ මගේ මල්ලී සචින් අධ්‍යාපන කටයුතු වලට මැලේෂියා ගියා. එයාගේ තනියට ටික දවසක් අම්මත් ඉන්නවා. විවාහයෙන් පස්සේ මමයි නිෂිනියි මැලේෂියා ආවා. මේ ටිකේ එහේ මෙහේ ඇවිදලා කාලේ ගත වෙන නිසා දැනෙන්නේ නැහැ. ඉදිරියට දැනෙන එකකුත් නැහැ. නිෂිනි කියන්නේ ජීවත් වෙන්න පහසු කෙනෙක්. මුලින් දැක්ක අහිංසක කෙල්ල නෙමෙයි දැන් ඉන්නේ. හරි දඟකාරයි. කියන දේ අහන්නෙත් නැහැ. ඒ වගේම මිනිස්සු විශ්වාස කරන්න ගිහිං හොඳට මට්ටු වෙලා ඉද්දි ඒ මෝඩ වැඩම ආයේ කරනවා. ඒක තමයි වැරැද්දකට තියෙන්නේ. නමුත් මම කැමති මොඩ්ල් එකක් එයා. ඒ නිසා අවුලක් නැහැ


 කොහොමද ටනාෂා ගේ පිළිගැනිම, පොඩි මස්සිනාට..?


හරිම ආදරේයි. අපි එයාට කියන්නේ පිංකි අක්කි කියලා. නිෂිනි කිව්වා වගේ හැමෝටම වෙලාව තියෙන වෙලාවට අපි නිෂිනි ගේ ගෙදර යනවා. එතකොට අනිත් අක්කලාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එනවා. දැන් විවාහ වෙලා නිසා හස්බන්ඩ්ලා. අපිට අම්මා කෑම හදලා දෙනවා. කට්ටියම විනෝද වෙනවා


 කමල් අද්දරආරචිචි කියන්නේ අතිශය දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පියෙක්. නමුත් ඔබ රංගනයට කැමති නැහැ. අඩු තරමින් ගායකයෙක් හැටියට හෝ ජනප්‍රිය වෙන්න හිතන්නේ නැද්ද ..?


රඟපෑමක් ගැනවත් ජනප්‍රිය වෙන්නවත් හිතන්නේ නැහැ. මගේ ආසාව නිසා සිංදු කියනවා. එහෙම නැතුව හැමෝම දන්න කෙනෙක් වෙන්න ඕන කියන පිස්සුව නැහැ. මම තාත්තාට කියලා බොහෝම අමාරුවෙන් සිංදුවක් ලියා ගත්තා. අපේ ආදරේ කියලා නිෂී වෙනුවෙන්. ඒක එළිදැක්වුවා. හිමින් ගමනක් යනවා සංගීතය පැත්තෙන්. බොහෝ දුරට අපි දෙන්නා ඔස්ට්‍රේලියා යයි මේ අවුරුද්දේ අන්තිමට වගේ එහෙම අදහසකුත් තියෙනවා..






Previous Post Next Post