ජැක්සන් ඇන්තනි අනතුරකට ලක්වුණේ ගිය ජූලි මුල් සතියේ. දැන් මාස 4 ක් තිස්සේ ජැක්සන් ඉන්නේ Ventilator එකක ආධාරයෙන්. මුලින් වරින්වර සිහිය ආවත් , වචන කිහිපයක් කතාකළත් ජැක්සන් මේ වන විට ඉන්නේ තීරණාත්මක තත්ත්වයක.
ජැක්සන්ගේ දුව මාධවී සඳහන් කරලා තියෙන විදිහට මේ මාසය ඔහුට තීරණාත්මකයි. ඒ යහපත් ප්‍රතිචාරයක් නොලැබුනොත් ඔහුගේ පණ රැඳී තියෙන Ventilator යන්ත්‍රය ඉවත්කිරීම සම්බන්ධව වෛද්‍යවරුන් තීරණයක් ගැනීමට නියමිත නිසයි. මොකද දිගින් දිගටම එසේ පවත්වාගෙන යාම තුළ ජැක්සන්ගේ අනෙකුත් අවයව වලට අහිතකර බලපෑමක් එල්ල වෙන්න පුළුවන්කම තියෙනවා. එතුළ ඔහුගේ කෝමා තත්ත්වය තවත් සංකීර්ණ වෙන්න පුළුවන්. ඉතිං ජැක්සන්ගේ පවුලේ හැමෝම ඔහු වෙනුවෙන් ආගමික වතාවත් , පුදපූජා පවත්වනවා. නමුත් ඔහුගේ දෛවය , කර්මය ලියවිලා තියෙන්නේ කොහොමද කියන එක ගැන අපිට නිෂ්චය කරන්න බැහැ. ඒත් මං ආසයි කඩුල්ලේ දැකපු කුරුතේරිස් , කන්දෙ ගෙදර බාල පුතා , පලිඟු මැණිකේ විජේපාල , සූරිය අරණෙ වැද්දා , ඇඩ්රස් නෑ එකේ හිටපු හිට්ලර් , ගරිල්ලා මාකටින් එකේ හිටපු දේශපාලකයා වගේම අර සුසීමා එකේ ගිටාර් ගගහා ''දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව'' කියපු කොල්ලව ආයි දෙපයින් හිටන් ඉන්නවා දකින්න පුළුවන් නම්... ලංකාවේ නළුවො කප්පරක් ඉන්නවා. ඒත් ජැක්සන් වගේ ක්ෂේත්‍ර කිහිපයක එක වගේ දස්කම් දක්වන්න පුළුවන් පිරුණු රංගධරයො නම් පෙනෙන්නේ නැහැ.