හරිම වෙලාව ආවා කියලා හිතුනම විවාහ වෙනවා - ගීත්මා බණ්ඩාර




ගීත්මා බණ්ඩාර නව පරපුරේ සුරූපි රංගන ශිල්පිනියක්. අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලැබීමෙන් අනතුරුව රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට බොහෝ දෙනකුගේ ආදරය හිමි කරගෙන අවසන්. තෝරා ගැනීම් සමඟ රංගන ක්ෂේත්‍රයේ සීරුවට පය තියන ඇය දුර ගමනකට සිහින දකින්නියක්. අලුත් බලාපොරොත්තු සමඟ ජීවත් වෙන ඇය සමඟ මෙවර කතා බහකට මුල පුරන්න අපි හිතුවා.


 

ගීත්මා මේ දවස්වල කාර්යබහුල වෙලාද?


තරමක් කාර්යබහුලයි. මේ දිනවල විකාශය වන සංගීතේ සහ ඇස් ටෙලි නාට්‍යවල රූගත කිරීම් සිදු කරනවා. ඒ වගේම අලුත් නිර්මාණයක රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා.


මොන නිර්මාණය වෙනුවෙන්ද වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ?


කරපු නිර්මාණවලින් ප්‍රේක්ෂක ආදරය ලැබිලත් නිර්මාණ ගොඩක ඔබ දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?


නිර්මාණයක් බාර ගත්තට පස්සෙ ඒ චරිතයට අනුව ඒ කාල සීමාවේ රූගත කිරීම්වල රැඳෙන්න වෙනවා. ඒත් එක්කම අපි අපි නොවන වෙන කෙනෙක්ට පණ දෙන්නෙ. එතකොට කැප කිරීම් කරන්න වෙනවා. උදාහරණයක් ලෙස පාසල් යන කෙනෙකුගේ චරිතයක් කරනකොට ඇහිබැම හදන්න බෑ. කොණ්ඩෙ වෙනස් කරන්න බෑ. මට ඕනි වුණත් ඒ දේවල් කරන්න බෑ. කරන චරිතයට සාධාරණයක් කරන්නයි මට අවශ්‍ය. ඒ වගේම එක නිර්මාණයක් බාර ගත්තම දර්ශන තලය තුළ අදාළ චරිතය එක්ක මම ජීවත් වෙනවා.එක දවසක් එක නාට්‍යක, පහුවදා වෙන නාට්‍යක, තව දවසක තව නාට්‍යක රඟපාන්න මම කැමති නෑ. ඒක ඒ කාලය තුළ මං චරිතවලට කරන අසාධාරණයක්. ඒ නිසා මට ගැළපෙන නිර්මාණ තෝරා බේරාගෙන, කාලය කළමනාකරණය කරගෙන තමයි රඟපාන්නෙ.


රංගන ක්ෂේත්‍රයට එන්න ගත්ත තීරණය ගැන ඔබ අද තෘප්තිමත්ද?


ඇත්තටම ඔව්. ජීවිතේ ගත්තු වැදගත් ම තීරණයක් කියලා හිතෙනවා. අවුරුදු කුමරිය වීමෙන් අනතුරුව තමයි රංගනයට පිවිසෙන්නෙ. ඊට පස්සෙ තමයි ජීවිතේ හොඳ ම දේවල් ලැබෙන්නෙ. අද ඉන්න තැන ගැන මට ගොඩාක් සතුටුයි.


ඔබ දැන් ජනප්‍රිය ගොන්නේ රංගන ශිල්පිනියක්ද?


ජනප්‍රියත්වයේ ඉහළම ඉන්න ටෙලි නාට්‍යක් හා සම්බන්ධ වීම සහ පළමු පෙළේ ටෙලි සම්මාන උලෙළවල ජනප්‍රියම, දක්ෂ රංගන ශිල්පිනියන් අතර ඉහළම රැඳීම නිසා හිතනවා මම ජනප්‍රිය කාණ්ඩයට අයිතියි කියලා. ඒ වගේම දිනපතා මඟතොට දී , සමාජ මාධ්‍ය තුළ විඳින අසීමාන්තික ආදරණීය ප්‍රතිචාර නිසා මට ඒ බව දැනෙනවා. කොහොම වුණත් දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වීම තමයි මගේ බලාපොරොත්තුව. ඒකට ප්‍රේක්ෂක ආදරය මට ශක්තියක්


ජනප්‍රියත්වය පවත්වා ගෙන යන්න ඔබ මහන්සි වෙන්නේ නැද්ද?


ජනප්‍රියත්වය පවත්වා ගෙන යන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නෑ. අපි පතුරවන ආදරේ තමයි අපිට ලැබෙන්නෙ. මං හිතන්නෙ ප්‍රේක්ෂක හිත්වල රැ‍ෙඳන්න පුළුවන් චරිත තෝරා බේරා ගෙන තමන්ගෙ පාඩුවෙ හිටියොත් ජනප්‍රියත්වය දිගටම රැදේවි.


ජනප්‍රියත්වය එක්ක ඔබේ සාමාන්‍ය ජීවිතය අහිමි වෙලා නැද්ද?


තරමක් දුරට අහිමි වෙලා කියලා හිතෙනවා. මට ගොඩාක් ෆැෂන් කරන්න බෑ මම කරන සමහර චරිත එක්ක. කැමති වෙලාවට කැමති කැමති තැන යන්න බෑ. බොහෝ වෙලාවට යාළුවො එක්ක එළියට ගියාම ප්‍රේක්ෂකයෝ මාව වට කර ගන්නවා. එතකොට යාළුවන්ට මං එනකම් බලන් ඉන්න වෙනවා. සමහර වෙලාවට හැම වෙලාවෙම අපිට හිනා වෙලා ඉන්න බැරි අවස්ථා එනවා. ජීවිතේ කෑ ගහලා අඬන්න ඕන තැන්වලත් හිනා වෙලා කතා කරලා ප්‍රේක්ෂකයා එක්ක ඉන්න වෙන අවස්ථා එනවා.


ගීත්මා කියන්නේ සීමා මායිම් තියාගෙන වැඩ කරන නිළියක්ද?


ඒක එහෙම කිව්වොත් හරි. මේ ක්ෂේත්‍රයට එන්න සහ රැදෙන්න අමාරුයි. තරුණ ගැහැනු ළමයි බොහෝ දෙනෙක්ගේ හීනයක් තමයි රංගන ශිල්පිනියක් වීම. මේ ක්ෂේත්‍රයේ අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින් ඕනෙම දෙයක් කරන්න ඉදිරිපත් වන පිරිසක් ඉන්නවා. නීති පනවන්න හෝ විනය පවත්වා ගන්න කිසිම බාධකයක් නෑ. හරිම ස්වාධීනව තමයි තීරණ ගන්නෙ. කෙනෙක්ට වැදගත් විදියට ක්ෂේත්‍රයේ ‍රැඳෙන්න, ඉදිරියට යන්න තමන් ගන්න තීරණ සෑහෙන බලපානවා. ඒ නිසා තරමක් සීමා මායිම් වාරණ ඇතුව තමයි මම වැඩ කරන්නෙ.


රංගන ක්ෂේත්‍රයේ පැවැත්ම ආරක්ෂා කරගන්න අමාරුයි කියලා බොහෝ අය කියනවා. ඔබටත් එය දැනිලා තියෙනවද?


ඔව්. ලස්සන ,ඒ වගේම රංගනයට දක්ෂ ගැහැනු ළමයි ලංකාවේ ගොඩාක් ඉන්නවා. ඒ වගේම ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න ගොඩාක් අවස්ථා තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට වාණිජ ටෙලි නාට්‍ය රූගත කිරීම් වෙද්දි ජ්‍යොෂ්ඨ හෝ ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිර්මාණයකට යොදා ගන්නවාට වඩා බජට් එකට පහසුයි අලුත් මූණු ගේන එක. ඒ නිසා තෙත පසේ බිම්මල් පූදිනවා වගේ අලුත් අලුත් අය එනවා. හැබැයි බොහෝ දෙනෙක්ට අදහසක් නෑ ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා. තමන්ට නිසි වටිනාකමක් ගන්න හොඳ නිර්මාණ තෝරාබේරා ගන්න අදහසක් නෑ. ඉතින් ඒ අය මඟදි හැලෙනවා.


ක්ෂේත්‍රයේ වැඩ කරද්දි හිත් රිදීම් සිදු වෙලා නැද්ද?


එහෙම අවස්ථා නැතුව නෙමෙයි. ඕන තැනක හිත් රිදීම් වෙන්න පුළුවන්නෙ. ඉතින් මං ඒවා වැඩිය හිතට ගන්නෙ නෑ. හිනා වෙලා පාඩුවෙ ඉන්නවා.


ගීත්මාට ක්ෂේත්‍රයේ ළඟින් ඇසුරු කරන අය ඉන්නවද?


ක්ෂේත්‍රයේ හැමෝම මට මිතුරන්. මම හැමෝටම ආදරෙන් සලකනවා. හැබැයි මං විශේෂයෙන් කවුරුවත් ළඟින් ආශ්‍රය කරන්න යන්නෙ නෑ. ක්ෂේත්‍රයෙන් පිටත මාව අගය කරන, මාව දිරි ගන්වන ළඟම මිතුරන් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් එයාලත් එක්ක සතුටින් ඉන්නවා.


දැන් ඔබ පෙම්වතියක් නේද?


ඔව්


ඔබේ හිත ගත්ත කෙනා ගැන කියන්න කැමැතිද?


ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. සමාගම් කිහිපයක හිමිකරු ඔහු. මං වගේම ඔහුත් තරුණ කාලෙම ජීවිතේ දිනපු කෙනෙක්. මගේ රංගන ජීවිතේට පුදුම ශක්තියක් ඔහුගෙන් ලැබෙන්නේ.


ඔහු ඔබේ ගමනට කවදාවත් සීමා පනවලා නැද්ද?


අපි මුලින් මුණගැහෙන කොට මම රංගන ශිල්පිනියක් කියලා ඔහු දැනගෙන හිටියෙ නෑ. දැනගත්තට පස්සෙ වුණත් මුලදි ඔහුට අවබෝධයක් තිබුණෙ නෑ. අපේ ආදරේ පටන් ගත්තට පස්සෙ නම් පුංචි පුංචි ගැටලු ඇති වුණා. ළඟම අය පවා ගැටලු නිර්මාණය කළා. නමුත් ඔහු පසුව ඉතාමත් හොඳින් තේරුම් අරන් මගේ ගමනට ශක්තියක් වෙනවා.


විවාහය ගැන තීරණයක් අරගෙනද තියෙන්නේ?


තවම තීරණයක් අරගෙන නෑ. දෙන්නටම තවම වයස තියෙනවා. ඔහුට වයස අවුරුදු 27යි. මට 24 යි. ඔහුට ව්‍යාපාර කටයුතු වල වගේම මට රංගන කටයුතු වල තවත් ඉදිරියට යන්න තියනවා. ඒ නිසා හරිම වෙලාව ආවා කියලා හිතුනම විවාහ වෙනවා.





 

Previous Post Next Post