මගේ පෙනුම දකුණු ඉන්දියානු වගේ කියන අයත් ඉන්නවා - උදාරි පෙරේරා



උදාරි පෙරේරා කියන නමට වඩා ඇයගේ රූපය බොහෝ දෙනෙකුගේ මතකයට හුරුයි. ප්‍රවේගය සිනමා සිත්තම නිසා සිනමා රංගනයට අවතීර්ණ වූ ඈ තවමත් දැකගන්න ලැබෙන්නේ පුළුල් තිරයෙන්ම පමණයි. නිරන්තරයෙන් දකින්න නොලැබුණත් තවමත් ආදරේ කරන ඈ ගැනයි මේ.


උදාරිව දැකගන්න ලැබුණේ සිනමා රංගනයෙන් විතරයි , පුළුල් තිරයෙනුත් දැන් දකින්න නැහැ ..?


කොවිඩ් කාලේ හිතට කැමැත්තක් ඇති වුණු සිනමාපට දෙකකට ආරාධනා ලැබුණා. ඒ දෙකම තවම රූගත කිරීම් ආරම්භ කරේ නැහැ. ලැබෙන ආරාධනා හැම එකක්ම එකම වගේ. ඒ නිසා ඒවා මම ප්‍රතික්ෂේප කළා. කාලය වැය කරන්න ඕන හරවත් නිර්මාණ වෙනුවෙන්. නැත්තම් කාලයත් අපරාදේ, මූල්‍යමය වටිනාකමක් අඩුයි. 


ඒ කියන්නේ උදාරිගේ අය කිරීම් දැන් මිල අධිකයි..?


දැන් ලැබෙන චරිතවලට මුල් කාලේ ගෙව්ව ගාණවත් ගෙවන්නේ නැහැ. අඩු මුදලකට වැඩ කරන්න මගේ කැමැත්තක් නැහැ. මගේ වටිනාකම මම දන්නවා. රංගනයට අලුතෙන් එන බොහෝ දෙනෙක් මූණ පෙන්නගන්න බාල ගණන්වලට වැඩ කරනවා. මට ඒ තත්ත්වයට වැටෙන්න ඕන නැහැ. ඒ වගේම නිතරම මගේ මුණ ටීවී එකේ හෝ පුළුල් තිරයේ පේන්න ඕන කියලා හිතන්නෙත් නැහැ. ඒ නිසා මම අය කරන සාධාරණ මුදල මට ලැබෙන්නේ නැතිනම් මම ඒවා බාර ගන්නේ නැහැ.


වාණිජ නිර්මාණ කලාත්මක නිර්මාණ කියලා දැන් වර්ගීකරණය කරනවා වගේ..?


කොහෙත්ම නැහැ, චරිතයට මට යමක් කරන්න පුළුවන් නම් මම බාර ගන්නවා. ආ.... මේ ඉස්සර හිටපු උදාරිට වඩා වෙනස් විදිහට දකින්නේ කියන හැඟීම් ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැනෙන්න ඕන.


පවුල ඇතුළේ මව එහෙම නැත්තම් ගෘහිණිය කියන රාමුව ගැනත් උදාරී වැඩිපුර හිතනවද..?


ඒක තමයි මගේ ජීවිතේ පළමු රාජකාරිය. මට ඉන්නේ පුතෙක්. එයාගේ වයස අවුරුදු 8 යි. පෙනී ඉන්න අම්මා කෙනකුට වඩා වැඩ කරන අම්මා කියලා මාව දැනෙන අම්මා කෙනෙක් වෙන්නයි මට ඕන. මගේ අම්මා, ආච්චි නිසා වෙන්න ඇති පවුලට ළැදිකම මම ඉගෙන ගත්තේ. මගේ මහත්තයා වුණත් එහෙමයි අපි එකිනෙකාට ගරු කරමින් ලස්සනට ජීවත් වෙනවා. ඒ ලස්සන රැකගන්නට නම් පවුල වෙනුවෙන් කැප කිරීම් කරන්න ඕන. ලැබෙන හැම නිර්මාණයකටම නොයන්න ඒකත් හේතුවක්.


ඔබ වස‍ර ගණනාවක් ගුවන් සේවිකාවක් විදිහට වැඩ කළා, රැකියාවෙන් ඉවත් වුණේ රංගන ජීවිතේ නිසාද ..?


මට අවුරුදු 15 ක් 16 වගේ තේරුම් තියෙන කාලෙම ඕන වුණේ කවදා හරි විවාහ වුණාට පස්සේ දරුවෙක් හදන කාලෙට ඒ වෙනුවෙන්ම කාලය දෙන්න. දරුවා එක්කම ජීවත් වෙන්න, එයාව ගයිඩ් කරන්න. ඔය වගේ හේතු නිසා තමයි රැකියාවෙන් ඉවත් වුණේ එහෙම නැතුව රංගනය නිසා නෙමෙයි.


රටවල් ගණනාවකට ගිහිං ඇති, කොහොමද ඒ අත්දැකීම් ..?


ඒ රැකියාවත් හැම කෙනකුටම යන්න බැරි රැකියාවක්. හරි වාසනාවන්තයි ඒ වගේ රැකියාවක් කරන්න ලැබීම. විනය, ගරුත්වය, දැනුම, මුදල් වගේම එක එක රටවල සංස්කෘතින් ජාතින් දැන හඳුනා ගන්න ඉගෙන ගන්න ලැබුණා. රටවල් 42කට ගොඩබැහැලා තියෙනවා.


ඔය අතරේ කැමැති ජනප්‍රිය තරුත් මුණගැහිලා ඇති..?


මම වැඩ කරේ බිස්නස් ක්ලාස් එකේ නිසා ජනප්‍රිය නළු නිළියෝ, ක්‍රීඩකයෝ ව්‍යාපාරිකයින්, ජනාධිපතිවරුන් මුණගැහිලා කතාබහ කරලා තියෙනවා. නම් කියන්න බැරි තරම් පිරිසක් මුණගැහිලා තියෙනව. නමුත් කැමැතිම තරුව ශාරුක් ඛාන්. එයාව මුණගැහිලා නැහැ.


ඔය අතරේ රඟපාන්න ආරාධනා කළ අයත් ඇති ..?


ඒ කාලේ මම රඟපාපු ප්‍රවේගය රිලීස් වෙලා තිබ්බෙත් නැහැ , මම නිළියක් කියලා දන්නෙත් නැහැ. නමුත් එදා වගේම අදටත් ආරාධනා කරන අය ඉන්නවා. සමාජ මාධ්‍ය ඔස්සේ ආරාධනා කරන අයත් ඉන්නවා. හමේ පාට ලස්සනයි හිනාව ලස්සනයි ලස්සන ෆීචස් තියෙනවා කියලා කතා කරනවා. මගේ පෙනුම දකුණු ඉන්දියානු වගේ කියන අයත් ඉන්නවා. නමුත් මම කැමැති නැහැ ඒ වගේ ආරාධනා පිළිගන්න.


සැමියා ඔබව රාමු කරනවද..?


නැහැ , හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් ඉන්නේ. මොන දේ කරත් හරි දේ කරන්නේ කියලා දන්නවා.


ඔබේ විලාසිතාවලට ඔබේ පුතා හරි ප්‍රියයිලු නේද ..?


එයාට ලස්සන ඇහැක් තියෙනවා. අල්මාරියේ තියෙන ඇඳුම් වලින් ගැළපෙන එක තෝරා ගෙන අඳින්න පුළුවන් දරුවෙක් එයා. ඒ වගේම මම කරන විලාසිතාවලට එයා ආසයි එයත් තෝරලා දෙනවා. මම කොහොමත් වැඩිපුර ඇඟ පේන්න අඳින්නේ නැති නිසා එයා කැමැතියි. සමහරු මගෙන් අහනවා ඇයි කොටට අඳින්නේ නැත්තේ කකුල් කැතද කියලා, එහෙම නැහැ මට ලස්සන මේන්ටේන් කරන ශරීරයක් තියෙනවා . නමුත් එදා ඉඳලම මගේ හා පවුලේ ගරුත්වය ගැන හිතලා මම වැඩ කරන්නේ කියන එකත් කියන්න ඕන.





Previous Post Next Post