පුතෙක්ට ආසාවෙන් ඉද්දී දුවෙක් හම්බ වුණා - නිපුණිකා හේවාගමගේ




නිපුණිකා.. දැන් චූටි දුවට වයස කීයද.. අපි එයාගේ නමත් කියමු?


අපේ චූටි දුවගේ නම කායා දිසානායක. දැන් චූටි දුවට වයස මාස අටයි.


ඇත්ත කියන්න.. ළහිරුයි ඔයයි ආසාවෙන් හිටියෙ දුවෙක්ටද.. පුතෙක්ටද?


ඇත්තම කිව්වොත් අපි දෙන්නම ආසාවෙන් හිටියෙ පුතෙකුටයි. ස්කෑන් පරීක්ෂණයක් කරලා බලද්දි වෛද්‍යවරු දුවෙක් කියලයි කිව්වෙ. හැබැයි අපි දෙන්නා පුතෙක්ට තිබුණු ආසාව නිසාම ඒකවත් විශ්වාස කළේ නැහැ. ළහිරුගේ නංගියි මගේ අම්මයි විතරයි අපිට දුවෙක් ලැබෙන්න කියලා හිතුවෙ. අනිත් හැමෝම පුතෙක් කියලයි මුලදි හිතුවෙ.


මාස නවයක් පුරාවට ආදරෙන් පරිස්සම් කරපු ඒ පුංචි දෝණිව මුලින්ම දකිද්දි දැනුණු හැඟීම කොහොමද?


දුව දකිද්දිම මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි කියලා හිතුණා. එයා දකිද්දි තමයි මගේ ජීවිතේ සම්පූර්ණ වුණේ. එයා ගොඩක් ලස්සන, හුරතල් බෝලයක් වගෙයි මම දැක්කෙ.



පිය පදවිය ලබද්දි ළහිරුත් ළඟින් හිටියා නේද?


ඔව්.. දුව ඉපදුණේ පෞද්ගලික රෝහලක. ඒ නිසා මාත් එක්ක ළඟින්ම ළහිරුටත් ඉන්න අවස්ථාව ලැබුණා. දුව ලැබෙන්න වෛද්‍යවරුන් දීලා තිබුණු දිනයට සතියකට කලින් මට ගෙදරදි පොඩි වේදනාවක් දැනුණා. ළහිරුගේ චූටි අම්මා හෙදියක්. එයාට ඇමතුමක් දීලා රෝහලට එක්ක යන්න කියලයි කිව්වෙ. ඒ නිසා අපි ලෑස්තිවෙලා ගෙදරින් එළියට යද්දි ළහිරුගෙ අම්මා අපි ඉස්සරහට සුදු මල් දාපු වතුර වීදුරුවකුත් අරගෙන ආවා. ඒ වෙලාවෙත් &ගෙදරින් ගියාට අම්මා අපිට ආයෙ හැරිලා එන්න වෙයිද දන්නෙ නැහැ* කියලයි මම කිව්වෙ. කොහොම හරි එහෙම ගිහින් පැය දොළහකට විතර පස්සෙ සාමාන්‍ය දරු උපතකින් දුව අපිට ලැබුණා. ඒ වෙලාවෙත් ළහිරු මම ළඟින්ම හිටියා. ළහිරු ගැනත් මට ලොකු බයක් දැනුණා. එයා හරිම සංවේදී කෙනෙක්. එයාට මේ වගේ දෙයක් දකිද්දි දරාගන්න පුළුවන් වෙයිද කියන බය අපිට තිබුණා. එයාගේ ගෙදර අය වුණත් ඒ දරාගැනීමේ ශක්තිය ගැන පුදුම වුණා. එයා ළඟ හිටපු නිසා මට කිසිම බයක් දැනුණෙ නැහැ.


දැන් පුංචි දෝණි කොහොමද?


දැන් එයා හරිම දඟ මල්ලක්. අපි මුල ඉඳන්ම පුතෙක් බලාපොරොත්තු වුණු නිසාමද දන්නෙත් නැහැ එයා දඟයි. හරිම හුරතල්. දවසින් දවස වෙනස් විදිහේ අලුත් දේවල් කරනවා. අපි ඉන්නෙ ළහිරුගෙ ගෙදරයි. ඒ නිසා දුවට ගෙදර අයගේ ආදරය පුදුම විදිහට ලැබෙනවා. ආත්තම්මයි සීයයි අපි හැමෝම නැගිටින්නෙ එයාගේ හුරතල් වැඩවලින්. නින්දට යන්නෙත් එයාගේ ඒ වැඩවලින්. එයා නිසා දැන් මුළු ගෙදරම පිරිලා.


දැන් දෝණි පුංචි පුංචි වචන කියන්න උත්සාහ කරනවා ඇති?


ඔව්.. මුලින්ම දූ (තත්.. තත්..) ගාලා (තාත්තා) කියලයි කිව්වෙ. ඉතින් ළහිරුට පුදුම විදිහට ආසයි. ඊට පස්සෙ (අම්.. අම්..) ගාලා (අම්මා) කියලත් කිව්වා. එයා ගොඩක් වෙලාවට ඉන්නෙ ආත්තම්මා එක්කයි. දවසක් එයා තාත්තා කියන වචනය රහසින් කියලා තියෙනවා. අනිත් අකුරු හයියෙන් කෑගහලා කිව්වත් මුලින්ම තාත්තා කියන වචනය අම්මට ඇහෙන්න විතරයි කියලා තිබුණෙ. ඉතින් අම්මා දුව දැන් තාත්තා, අම්මා කියනවා වගෙයි* කියලා අපිට කිව්වා. දවස් දෙක තුනකට පස්සෙ ඒ වචන දෙක හයියෙන් කිව්වා.


ළහිරුගේ රැකියාවත් එක්ක දුව එක්ක රැඳෙන කාලෙදි දුවගේ ප්‍රතිචාර කොහොමද?


දුව තාත්තා එක්ක ඉන්න හරි ආසයි. ළහිරු එයාගෙම ව්‍යාපාරයක් කරනවා. දුව ලැබෙන්න කලින් අපි දෙන්නා වෙනම නිවසක හිටියෙ. ළහිරු මට හැමදේටම උදව් කළා. ඒ කාලෙත් අපි ළහිරුගේ ගෙදරට ළඟින්මයි හිටියෙ. ඒත් කොරෝනා නිසා වැඩිය කට්ටියට එන්නත් බැහැනෙ. ඒ කාලෙදිත් ළහිරු තමයි හැමදේම කළේ. අපිට උදව්වට ගෙදරට කෙනෙක් හිටියෙත් නැහැ. දැනටත් දුවගේ වැඩවලට ළහිරුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දුවව මට කලින් ළහිරු තමයි හේදුවෙ. ඒ ගැනත් හැමෝටම පුදුමයි. දුවට කලින් ළහිරු ඒ තරම් පොඩි වයසේ දරුවෙක් වඩාගෙන තිබුණෙත් නැහැ. එයා බයයි. හැබැයි දුව ඉපදුණාට පස්සෙ ළහිරු ඒ හැමදෙයක්ම කළා. දුව ඉපදිලා මුල් මාස කිහිපයේදිම මම නැගිටින්නත් කලින් ළහිරු පැය දෙකෙන් දෙකට නැගිටලා මම ළඟට බබා ගෙනත් දුන්නා. එයා මගේ ජීවිතේ ලොකුම ශක්තියයි.


අද චූටි දෝණියි ළහිරුයි එක්ක ගත කරන ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ?


ඇත්තටම මේ තමයි මම පතපු ජීවිතේ. අද මගේ ජීවිතේ සම්පූර්ණයි.


දිශානි






Previous Post Next Post