රොමේෂ්.. මේ දවස්වල මොනවද කරන්නෙ?
මගේ අවසාන නිර්මාණය එළිදැක්වුණේ ගිය අවුරුද්දෙ. ඒ "නාඳුනන ඇය" කියන නිර්මාණයයි. රටේ තියෙන වාතාවරණයත් එක්ක තවමත් අපේ රටේ මිනිසුන්ට හරියටම සංගීතය නිදහසේ විඳින මානසිකත්වයක් නැහැ. ඒ නිසා අලුත් නිර්මාණයක් එළිදක්වනවාට වඩා නිශ්ශබ්දව මේ කාලය ගත කරලා රටේ වාතාවරණය බලලා යම් සහනයක් ලැබුණු කාලෙක ඉදිරියේදි නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ වසරේ ඔක්තෝබර් මාසෙදි මා ගැයූ පැරණි ගීත අලුත් විදිහකට, මගේ සංගීත කණ්ඩායමත් එකතු කරගෙන, මගේ YouTube නාලිකාව ඔස්සේ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ පැරණි ගීත අලුත් විදිහකට සතියකට එක ගීතය බැගින් එළිදකීවි. මම ගායනා කරපු ගීත අතරින් බොහොමයක් ගීත මිනිස්සු වැළඳගත්තා. ඒ වගේම "දිගු දෑස" ගීතය අදටත් ජනප්‍රියයි. ඒ ගීත අලුත් විදිහකට එළිදකීවි. ඔක්තෝබර් මාසේ අවසානය වෙද්දි ඒ ගීත රසවිඳින්න හැකියාව ලැබේවි. මගේ පැරණි ගීතවලට තවමත් ආසා කරන පිරිසක් ඉන්න බව මට දැනුණා. ඔවුන් වෙනුවෙන් මම මේ නිර්මාණ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබගේ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු කොහොමද?
ඉතාම කාර්යබහුලයි. අපේ සංගීත කණ්ඩායමේ නම "Tunes" මංගල සාදවලට ඉතා ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. මෑතකදිත් වේදිකා ප්‍රසංග දෙකකට අපි සංගීතය සැපයුවා. ලබන මාසෙදිත් කොළඹ දැවැන්ත ප්‍රසංගයක් තියෙනවා. සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා. සංගීත කණ්ඩායම නිසා මගේ ආර්ථික පසුබිම ඉතා හොඳ මට්ටමට පත් වුණා. සංගීත කණ්ඩායමේ සාමාජිකයන් මා ඇතුළුව හත්දෙනෙක් ඉන්නවා. ඔවුන් ඉතා දක්ෂයි. ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතා උනන්දුවෙන් අපි හැමෝම වැඩ කරනවා.
ගායකයෙක් විදිහට අද ඔබ යම් ස්ථාවරයක සිටින කලාකරුවෙක්. නුවර ඉඳන් කොළඹ ඇවිත් මේ ගෙවුණු කාලය ආයෙමත් මතක කළොත්?
මම නුවර ඉඳන් කොළඹට ආවේ බොහොම අමාරුවෙන්. හැබැයි මගේ අරමුණ හරිම ලස්සනයි. ඒක හරි සුන්දරයි. ඒ ආපු ගමනෙදි මට වීදුරු කට්ටක් ඇනුණත් දැනුණෙ නැහැ. ඒ තරමටම මගේ අරමුණ ලස්සන හීනයක් වගේ මට පෙනුණා. අපි නුවර ඉඳන් ආපු බස්, කෝච්චි ගමන් හරි දුක්ඛිතයි. ඒ ඇවිත් කොළඹ ස්ටුඩියෝවලට ගියපු ගමන අමතක නැහැ. මගේ පියාගේ ඉල්ලීමක් මත මට රංග දසනායක මහතා මුණගැහෙන්න අවස්ථාව ලැබුණා. රංග අයියා අපිට ගීත නිර්මාණය කළා වගේම නලින් කරුණාරත්න මහතා අපිව නිල්වලා ආයතනයේ උපුල් ජයසිංහ මහතාට මුණගැස්සුවා. ඒ දවස්වල ඊට කලින් අපි සමහර ආයතනවලට ගියාම ඔවුන් අපිව බාරගත්තෙවත් නැහැ. ඒ අනුව ලලිත් වසන්ත අයියා, චන්න අයියා අපිට මේ ගමන එන්න ලොකු සහයෝගයක් දුන්නා. ඒ කාලේ ආර්ථික අපහසුතා එමටයි. අපේ සින්දු ජනප්‍රිය වුණාට අපි ජනප්‍රිය නැහැ. මට තාම මතකයි එක්තරා පුවත්පතක ඡායාරූප ගන්න අපි දන්න කියන තැනක් තිබුණෙ නැහැ. එදා අපි ඒ ඡායාරූපය ගත්තෙ අපි හිටපු ගෙදර වහළය උඩට නැගලයි. අදටත් ඒ පත්තර පිටුව මගේ ළඟ තියෙනවා.
රොමේෂ්ගේ ගීතයක් ඒ විදිහට ජනප්‍රිය වෙද්දි මිනිසුන් ඔබව හඳුනාගන්නෙ නැතිව ඒවා රසවිඳපු තැන් තියෙනවා නේද?
අම්මෝ ඔව්.. ඉස්සර අපි බස්වල යද්දි බස් එකේ අපේ ගීත ඇහුණු තැන් අනන්තවත් තිබුණා. මායි ලක්ෂානුයි හරිම ආසාවෙන් ඒවා අනුන්ගෙ ගීත වගේ රසවින්දා. අපි බස් එකේ ගිහින් අපේ ගීතය පටිගත කරද්දි සංගීතය නිර්මාණය කරන අය ආවෙ ඒ අයගේ වාහනවලින්. දුකක් නොදැනුණාම නෙමෙයි. "නීල දෑස" පටිගත කරලා කෝච්චියෙන් බැහැලා ගෙදරට පයින් යද්දි දවසක් "සින්දු කියලා හරියාවිද?" කියලත් මටම හිතුණා. ගෙදර ගිහින් මහන්සියට ඇඳේ ඉඳිද්දි "ඉදිරියක් තියේවි.. කොහොම හරි මේ දුක ඉවසනවා" කියලා මම හිතාගත්තා. ඒ විඳපු දුක ගැන අද තියෙන්නෙ සතුටක්.
අද බිරිඳ, දරුවන් එක්ක ගත කරන ජීවිතේ ගැනත් ටිකක් කියමු?
අද මගේ ජීවිතේ කාර්යබහුලයි. ඒත් බිරිඳක් වශයෙන් ඇයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාගේ නම ඔමාලි හේරත්. එයා මගේ අවුරුදු විසි දෙකක ආදරේ. අපි විවාහවෙලා මේ අගෝස්තු මාසයට අවුරුදු දහයක් වෙනවා. අපිට පුතෙක් ඉන්නවා. පුතා හරිම ආදරණීය කීකරු දරුවෙක්. එයා සංගීතයට ගොඩක් ලැදියි. අද මගේ බිරිඳ, දරුවා එක්ක හරිම ආදරණීය ජීවිතයක් ගෙවනවා. මේ හැමදේම කරන්න ඔමාලිගෙන් ලැබෙන සහයෝගය ගැන හරි සතුටුයි.
දිශානි ජයමාලි