ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පාරාදීසේ’ ටෙලි නාට්‍යය මේ දිනවල බොහොම ජනප්‍රියයි. එහි එන විවිධ චරිත අතර ශලා කියන්නෙත් හැමෝගෙම හිත දිනාගත්ත කෙනෙක්. අපි මේ ගැන වැඩි විස්තර ටිකක් චතූ රාජපක්ෂගෙන් අහමු.
චතූ මේ දවස්වල වැඩිපුර ජිම් යනව කියලයි ආරංචිය?
මගේ සැබෑ ජීවිතයේදීනම් මම අවුරුදු තුනකින් විතර ජිම් එකකට ගිහින් නැහැ. නමුත් හසුන් සමීර අධ්‍යක්ෂණය කරන පාරාදීසේ ටෙලි නාට්‍යයේ මම වැඩ කරන්නෙ ජිම් කෝච් කෙනෙක් විදිහට. ඇය නමින් ශලිනි. මේ දවස්වල විකාශය වන මගේ එකම ටෙලි නාට්‍ය වෙන්නෙ පාරාදීසේ. ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක නිහතමානී සතුටක් භුක්ති විඳිනව.
චරිතයේ අත්දැකීම් මොන වගේද?
මෙතනදි අපි දන්න දේවල් තමයි කරන්න තියෙන්නෙ. ගොඩක් වෙලාවට ජිම් එකේ උපදේශකවරයා අපිට කියල දෙනව මේ අවස්ථාවේදී මෙහෙම කියන්න කියල. ඒ නිසා චරිතය ගොඩනගාගන්න අපහසු නැහැ. ඒ වගේම හසුන් සමීර කියන්නෙ හරිම නිදහසේ අපේ චරිතය කරන්න දෙන අධ්යක්ෂවරයෙක්.
ඔබ උපදෙස් දෙන්නෙ චංචලාට (දිනක්ෂි)?
ඔව්, මේක මම දිනක්ෂිත් එක්ක වැඩකරන පළමුවැනි වතාව. මම හිතුවටත් වඩා ගොඩක් හොඳ යාළුවෙක්. මොකද සමහර අය හිතනවනෙ ජනප්‍රියත්වය වැඩිවෙනකොට සමහර අය ආඩම්බරවෙනව කියල. නමුත් දිනක්ෂි කියන්නෙ පොළොවෙ පයගහල ඉන්න, හැමෝමත් එක්ක සුහදව වැඩකරන කෙනෙක්. ටෙලිය තුළ මම දිනක්ෂිගෙ ශාරීරික යෝග්‍යතා උපදේශක.
පාරාදීසේ ගැන මොකද රසිකයො කියන්නෙ?
ටෙලි නාට්‍යයට ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව වගේම බොහෝ දෙනෙක් කියන්නෙ පාරාදීසේ ටෙලියෙන් තමයි මාව ලස්සනටම දැක්කෙ කියල. මොකද ඒකෙ විෂුවල් කොලිටි එක ඉතාමත් ඉහළයි. මං අඳින පළඳින විදිහ, මගේ කැරැක්ටර් එක ප්ලේ වෙන විදිහත් එක්ක ගොඩක් දෙනකුට ලොකු වෙනසක් දැනිල තියෙනව.
මේ දවස්වල ෂූටිං යන්නෙ පාරාදීසේ විතරද?
නැහැ. හර්ෂ තෙන්නකෝන් අයියගෙ කුළුඳුල් නිර්මාණය වන ‘නේත්‍රා දේවී’හි ෂූටිං පටන්ගත්තා. ඊට අමතරව ධනුෂ්ක රේමන්ඩ්ගෙ ‘ද ලේක් විව්’ ටෙලි නිර්මාණයේත් ෂූටිංවලට සහභාගි වෙනව. පාරාදීසේ නිර්මාණයත් එක්ක මේ දවස්වල ටෙලි නාට්‍ය තුනක ෂූටිංවලට සහභාගි වෙනව.
නිවේදන වැඩකටයුතු කොහොමද?
ස්වර්ණවාහිනියෙ 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය වන ලයිව් ඇට් ශ්‍රී ලංකා හි ප්රවෘත්ති නිවේදිකාවක් හැටියට කටයුතු කරනව.
කාලයක් ප්රවෘත්ති නිවේදනයෙන් ඈත් වෙලා හිටියා?
ඔව්, මම අවුරුදු දෙකහමාරක් සිරස නිව්ස් ෆස්ට් ප්රවෘත්ති නිවේදනය කළා. 2020 අවුරුද්දෙදි එයින් ඉවත් වෙලා අවුරුදු හතරකට පසුව තමයි නැවතත් මේ අවුරුද්දෙ ඉඳන් ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණේ.
නතර කළ තැනින් නැවතත් පටන්ගන්නව?
ඇත්තටම මමත් හිතුවෙ නැහැ නැවතත් ප්රවෘත්ති නිවේදනයට අවස්ථාව ලැබෙයි කියල. නමුත් ස්වර්ණවාහිනිය මගින් ආරම්භ කළ අලුත් වැඩසටහනේදී මට ඒ අවස්ථාව ලැබෙනව.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ගොඩක් හොඳයි. සමහර අය ඉන්නව මාව රංගන ශිල්පිණියක් විදිහට දකින්න ආස අය. තවත් සමහරු ඉන්නව ප්රවෘත්ති නිවේදිකාවක් හැටියට දකින්න ආස අය. මම නම් මේ ක්ෂේත්‍ර දෙකටම කැමතියි.
චතූ නිළියක් වෙන්නෙ කොහොමද?
මම මුලින්ම සිරස ෆිල්ම් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙන්නෙ නිළියක් වෙන්න හිතාගෙනනෙ. ඊට පස්සෙ අහඹු විදිහට මහරාජා මහත්මයා මට කතාකරල කියනව නිව්ස් රීඩර් කෙනෙක් හැටියට කටයුතු කරන්න කියල. බයක් දැණුන නිසා මම මුලින්ම කැමති වුණේ නැහැ. නමුත් ප්‍රැක්ටිස් කළාට පස්සෙ මගේ වොයිස් එකත් එක්ක ගොඩක් දෙනෙක් කැමති වුණා මම නිවුස් රීඩ් කරනවට. එතැන ඉඳන් මම ප්රවෘත්ති නිවේදිකාවක් හැටියට කටයුතු කරනව. ඒ වගේම මගේ කැමැත්ත තිබුණෙ ඇක්ටිං පැත්තට නිසා ඒවාටත් ලැබුණ ආරාධනා භාරගත්ත.
නිළියක් වීම කොහොමද ඔබට දැනුණෙ?
මම නිළියක් වෙන්නෙ ප්රවෘත්ති නිවේදිකාවක් වෙන්න කලින්. වී. සිවදාසන් මහත්මයාගෙ ‘පාටක් නැති ආදරයක්’ සිනමා නිර්මාණයට තමයි මුලින්ම සම්බන්ධ වෙන්නෙ. ඉන් පස්සෙ සඳුන් රාජකරුණාගෙ ‘ආදරය ගින්දරක්’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනව. ඊට අමතරව මියුසික් වීඩියෝස්වලටත් සම්බන්ධ වෙනව.
අලුත් මුහුණු චතූගෙ ගමනට බාධාවක්ද?
කොහෙත්ම නැහැ. අපිට ඒක අභියෝගයක්. තවත් අය බිහිවෙන්න බිහිවෙන්න අපිට ඔවුන් එක්ක ගැටෙන්න සිද්ධවෙනව. වැඩකරන්න සිද්ධවෙනව. නිළියන් පමණක් නෙමෙයි, නළුවන්, අධ්යක්ෂවරුන් පවා අලුතින් බිහිවෙනවනෙ. එහෙම වෙන තරමට තමයි අපිට තරගයක් තියෙන්නෙ. ඒ තරගය නිසා ඉදිරියට යන්න අපි උනන්දු වෙනව. ඒ තරගයත් එක්ක හොඳ නළුවෙක්, නිළියක්, අධ්යක්ෂවරයෙක් බිහිවෙනව.
විවාහ ජීවිතේ කොහොමද?
මම විවාහවෙලා අවුරුදු හතරක් වෙනව. මේ කාලය තුළ මගේ වැඩවලට ඔහුගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුණා. ඒ වගේම මම කළයුතු සහ නොකළයුතු දේවල් පිළිබඳව මාව දැනුම්වත් කරනව වගේම ලොකු නිදහසක් දීල තියෙනව. මමත් වැඩක් භාරගන්න කලින් ඒකෙ ස්වභාවය පිළිබඳව සැමියත් එක්ක කතාකරනව. මගේ හොඳම රසිකයො වෙන්නෙත් මගේ අම්ම සහ සැමියා.
ඔබ කැමතිම චරිතය තවම ලැබුණෙ නැහැ?
ඔව්, මම ගොඩක් කැමතියි ගැමි චරිතයක් කරන්න. නමුත් මට තවම ලැබිල නැහැ.
විලාසිතා ගැන අදහස කොහොමද?
ඇත්තටම මම විලාසිතාවලට ගොඩක් කැමතියි. නමුත් මගේ පවුලේ අයටවත් මටවත් හානියක් නොවෙන දේවල් තමයි මම තෝරාගන්නෙ.
මහේෂ් එදිරිසිංහ