ආදරණීය රසිකයන්ගෙ හිත්වල රැඳිල ඉන්න පුළුවන්නම් මට වටින්නෙ ඒක - වොල්ගා කල්පනී



ටුටූ වගේම ගුණාදරී කියන්නෙ මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන එකිනෙකට වෙනස් අපූරු චරිත දෙකක්. මේ චරිත දෙකට ඉතා දක්‍ෂ ලෙස පණ පොවන වොල්ගා කල්පනී  ඇගේ මෙස් දවස් වල අලුත් විස්තර ගැන පුවත්පතක් සමඟින් මෙසේ විස්තර කියා තිබුනා.


අද දවස වෙනකොට උදාවෙලා තියෙන්නෙ ආදරණීය රසික රසිකාවියන් වොල්ගා ගැන ලොකුවට කතාබහ කරන එහෙමත් නැත්නම් පීක් ටයිම් එකක් කිව්වොත්?


ඔව් ඒක ඇත්තක්. නොහිතපු විදියට උදාවෙලා තියෙන ඒ තත්ත්වයට හේතුව තමයි මම රංගනයෙන් දායක වුණ වෙනස්ම ආකාරයේ නිර්මාණ දෙකක් එකවර විකාශය වීම සහ ඒ හරහා එකිනෙකට බොහෝ සෙයින් වෙනස් චරිත දෙකක් හරහා ප්‍රේක්‍ෂකයන් අතරට පැමිණීම.


ඒ අතර මාණික්කාවත ටෙලි සිත්තම සහ එහි ගුණාදරී ලෙස එන ඔබේ චරිතය විශේෂයි


ඇත්තටම කිව්වොත් ගුණාදරී කියන්නෙ මට පෙර පිනකට ලැබුණ මෑත කාලයේ කිසිම රංගන ශිල්පිනියකට නොලැබුණ ඉතා සුවිශේෂී චරිතයක්. රංගන ශිල්පිනියක් විදියට මට ලැබෙන මම භාරගන්න හැම චරිතයටම උපරිම සාධාරණයක් ඉෂ්ට කිරීම මගේ වගකීම වගේම යුතුකමක්. මට හිතෙනවා ඒ දේවල් මම ගුණාදරී වෙනුවෙන් වැඩිපුර ඉටු කරල තියෙනව කියල මේ විදිහට කතා බහට ලක්වෙන්න.


ඒ කියන්නෙ ඔබ චරිතය වෙනුවෙන් බොහෝ සෙයින් කැපවුණා.


අනිවාර්යයෙන්ම. චරිතය ගොඩනඟාගන්න අධ්‍යක්‍ෂ සුදත් රෝහණ, තිර රචක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්වරු වගේම මාණික්කාවත හැඩ කරපු සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් මට ලොකු ශක්තියක් වුණා. සුදත් රෝහණ මහතා ඒ සඳහා මට දෙනෙත් නොපෙනෙන සුගත් මහත්මා සහ ඔහුගේ බිරිඳ සමග කාලය ගත කරන්නට අවස්ථාව සලසා දුන්නා. මම ඒ නිවසට ගොස් දින කීපයක් පුරා ඔවුන්ගේ  දින චරියාව 


අනුගමනය කරන්න පටන් ගත්තා. ඒ අනුව දෙනෙත් අඳ කෙනෙක් ඇවිදින විදිය, කන බොන ආකාරය ඇතුළු එදිනෙදා වැඩකර ගන්නෙ කොහොමද කියන එක හොඳින් අධ්‍යයනය කළා.


පුහුණුවීම් පමණක් චරිතයක සාර්ථකත්වයට ප්‍රමාණවත් කියල ඔබ හිතනවද?


නැහැ. චරිතයක සාර්ථකත්වයට බලපාන බොහෝ දේවල් තියෙනවා. ඒ හැම දේම එකට එකතු වුණ තැන තමයි නිවැරදි චරිතය ගොඩ නැඟෙන්නේ. මෙතනදී විශේෂයෙන්ම මා මතක් කළ යුතුයි අංග රචනා ශිල්පී නාරද ධනංජය ඔහු ගුණාදරීගේ බාහිර පෙනුම හරියාකාරව  නිර්මාණය නොකළා නම් ගුණාදරී අංග සම්පූර්ණ නොවන්නට ඉඩ තිබුණා.


ටෙලියකට පෙරළුන මාණික්කාවත නව කතාව ඔබ මීට පෙර කියවල තිබුණද?


ඔව්. එකවතාවක් කියවල තිබුණා. හරියටම මීට අවුරුදු තුනකට විතර කලින් තමයි සුදත් අයියා කිව්වෙ මාව ගුණාදරීගේ චරිතයට තෝරා ගත්ත කියලා එතනින් පස්සෙ ඔහු මට උපදෙස් දුන්නා. ඒ පොත නැවත නැවත කියවන්න කියලා. ඒ අනුව මම අට පාරක් මාණික්කාවත නවකතාව කියෙව්වා. කියවීමේ වාර ගණන වැඩිවීම තුළ ගුණාදරීගේ චරිතය වඩාත් හොඳින් අවබෝධ කරගන්න මට අවස්ථාව ලැබුණා.


ඒ කියන්නෙ වොල්ගට ගුණාදරී අභියෝගයක් වුණේ නෑ කියන එකද?


එහෙම කියන්න බෑ. ඇස් දෙක හොඳින් පේන වොල්ගා ඇස් නොපෙනෙන ගුණාදරී ලෙස රඟපෑම විශාල අභියෝගයක් වුණා. ඒ අනුව මට  සිද්ධ වුණා ටික කාලයකට හරි වොල්ගගෙන් දුරස්වෙලා ගුණාදරීට සමීප වෙන්න. අන්න ඒ විදියට තමයි මම ඒ අභියෝගය ජය ගත්තේ.


පාරදිගේ නාට්‍යයේ ටුටූ ගැනත් කතා කරමුද?


ඇත්තටම කිව්වොත් ටුටූ කියන්නෙත් මට පෙර පිනකට ලැබුණ චරිතයක්. මේ වෙද්දි ඒ සඳහා ආදරණීය රසිකයන්ගෙන් ලැබෙන්නෙ හිතාගන්න බැරි තරමේ උණුසුම් ප්‍රතිචාර. ඒ තරම්ම ටුටූගේ ගති ලක්‍ෂණවලට ඔවුන් ආදරේ කරනවා.


එකම කාලෙ තමන්ගෙ නිර්මාණ දෙකක් විකාශය වීම අපරාධයක් කියල හිතෙන්නෙ නැද්ද?


යම් විදියකින් පිටපත් දෙකක කරන්න ලැබෙන චරිත දෙකත් සමාන වුණානම් මට එහෙම හිතෙයි. ඒත් නාට්‍ය දෙකත් ගුණාදරී සහ ටුටූ කියන චරිත දෙකත් එකකට එකක් බොහෝ සෙයින් වෙනස් නිසා මට එහෙම දෙයක් හිතෙන්නෙ නෑ.


ඉදිරි කාලයේ රංගන කටයුතු සැලසුම් වෙලා තියෙන්නෙ කොහොමද?


මේ වෙද්දි සුපුන් රත්නායක මහත්මයගෙ අලුත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා ඒ සඳහා සූදානම් වෙමින් සිටිනවා. එහි රූගත කිරීම් ලබන මාසේ ආරම්භ වීමට නියමිතයි.


වොල්ගා කල්පනී කියන්නෙ අඩුවෙන් රංගන අවස්ථාවන්ට සම්බන්ධ වෙලා වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගන්නා ශිල්පිනියක්.


කොහොමටත් මම අනවශ්‍ය ලෙස කාර්ය බහුල වෙන්න අකමැති කෙනෙක්. කොච්චර ආරාධනා ලැබුණත් හිතල බලල තමයි ඒවට සම්බන්ධ වෙන්නෙ. තවත් පැත්තකින් මම හරිම වාසනාවන්තයි. හේතුව බොහෝ අධ්‍යක්‍ෂවරු මට කතා කරන්නෙත් දෙයක් කරන්න තියෙන චරිතවලට පමණයි. නිකරුණේ පෙනී සිටින චරිතවලට මට මේ තාක් ආරාධනා  ලැබිල නෑ. මම ඒ තත්ත්වයට ගොඩක් කැමතියි.


තෝරා බේරාගෙන රඟපෑම රංගන ශිල්පිනියක් විදිහට තමන්ගෙජනප්‍රියත්වයට හානියක් කියල හිතෙන්නෙ නැද්ද?


ආවා ජනප්‍රිය වුණා ගියා කියන ක්‍රමයට වැඩිය හැමදාමත් ආදරණීය රසිකයන්ගේ හිත්වල රැඳිල ඉන්න පුළුවන්නම් මට වටින්නේ ඒක. ඉඳල හිටල චරිතයකින් ඔවුන් ඉදිරියට ආවත් මම ඒ තැන ඉන්නව කියන එක අත්දැකීමෙන් දන්නවා.


අනාගතය සැළසුම් වෙන්නෙ මොන විදියටද?


මේ වෙද්දි රංගන කටයුතුවලට අමතරව වී ලොග් බයි වොල්ගා කියල ඔන්ලයින් ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඔය හැම දේම අතරෙ අම්ම තාත්තව බලාගෙන හොඳින් ජීවත් වෙන්නයි මම උත්සාහ කරන්නෙ.


එතනින් එහාට ජීවිතේ පිළිබඳ විශේෂ සැලසුම් නැද්ද?


විශේෂ දෙයක් හිතන්නෙ නැහැ කියන තැන තමයි දැනට ඉන්නෙ. ඒ නිසා එවැනි සැලසුම් දැනටනම් කොහෙත්ම නෑ. ඉදිරිය ගැන දැන්ම අනාවැකි කියන්න බැහැනෙ. එන විදියකට මුහුණ දීල සතුටින් ජීවත් වීම තමයි මගේ බලාපොරොත්තුව.


ධම්මික හේවාවසම්






Previous Post Next Post