සැත්කමට ගිය අක්කා ජීවිතෙන් සමුගනී කියලා කවුද හිතන්නේ -තනුජා ජයවර්ධන




තනුජා ජයවර්ධන කියන්නේ සන්නිවේදන මායිම තුළ මායිම් කඩා බිඳගෙන නැවුම් රසාස්වාදයන් එක්ක ජනතාවට සමීප වූ චරිතයක්. කාන්තා නිවේදන කලාව තුළ වෙනස් මානයන් කරා යන ඈ මේ දිනවල ඉන්නේ සොවින්. ඒ තම ආදරණීය සහෝදරියගේ වියෝව එක්ක. ඒ ගැනත් ඈ ගැනත් ඇය මේ විදියට පුවත්පතක් සමඟින් මෙලෙස විස්තර පවසා තිබුනා.


ජීවිතේ කවදාවත් ඔබත් එක්ක රණ්ඩු කර නැති, ආදරය , ඔවදන් දුන් ඔබේ එකම සහෝදරිය ජීවිතයට සමු දුන්නා. ඒ කම්පනය අකුරු කරන්න බැරුව ඇති..?


මගේ අක්කා චාමලී පීරිස්. වයස 51යි. ඇය දරුවෝ දෙන්නෙක්ගේ ආදරණීය මව. දුවගේ වයස අවුරුදු 25ක්. ඇය උපාධිධාරීනියක්. බැලේ ගුරුවරියක්. පුතාගේ වයස 23යි. එයා කම්පියුටර් ගේමින් ඩිවලපර් කෙනෙක්. අක්කගේ අවසන් කටයුතු දිනයේ උදේ තමයි එයාගේ උපාධියේ ප්‍රතිඵල ආවේ. ෆස්ට් ක්ලාස් එකක් අරන් තිබ්බා. ඒ වගේ දරුවෝ දෙන්නෙක් හදලා ඈ ජීවිතයට සමු දුන්නා. තවම කම්පනයෙන් ඉන්නේ. ශල්‍යකර්මයකට ගිය අක්කා ජීවිතයට සමු දෙයි කියලා කවුද හිතුවේ.


ඇත්තටම අපි දෙන්නා කවදාවත් රණ්ඩු කරලා නැහැ. මුදලට, ඉඩකඩම්වලට හෝ වෙන යම් ඕනෑම දෙයකට. ඒ තරම්ම ඇය හොඳම සහෝදරියක්, බිරිඳක්, මවක්. අපේ අම්මා තාත්තාගේ නියම ලොකු දුව ඇය කිව්වොත් හරි ඕනෑම ඝන අඳුරක වුණත් මම හිනාවෙන බව අදුරගන්න පුලුවන් අක්කා කෙනෙක් මට හිටියේ.


ඇය හදිසියේ ජීවිතයට සමු දෙන්නේ..?


අගෝස්තු 7 වෙනිදාත් එයා හොදින් හිටියා. දුව කතා කරලා කිව්වා චූටි, අම්මා නිදාගෙනමයි ඉන්නේ ඇයි දන්නේ නැහැ කියලා. එයා කම්මැලි කෙනෙක් නෙමෙයි. දුවලා පැනලා වැඩ කරන කෙනෙක්. ඊට පස්සේ ෆැමිලි ඩොක්ටර්ට කෝල් කළා ඉක්මනින් MRI එකක් කරන්න කිව්වා. එය කළා. එහි ප්‍රතිඵලය වුණේ හිසට වතුර යන ස්නායුවේ හිරවීමක් තියෙනවා පොඩි ඔපරේෂන් එකක් කරන්න වෙයි කියලා. අගෝස්තු 12 උදේ රෝහල්ගත කළා. 15 ශල්‍යකර්මය කරන්න තිබ්බේ. ඊට කලින් දවසේ රෑ 11.30 ට අක්කට සයිලන්ට් හාර්ට්ඇටැක් එකක් ඇවිත් නැති වෙලා. ජීවිතේ විඳවන්නේ නැතුව මරණය සිදු වුණේ. ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා අක්කා ඉක්මනින් ගෙදර එයි කියලා. නමුත් ගෙනාව ආයුෂ එච්චර වෙන්න ඇති


කුඩා කල ඈ මොන වගේ චරිතයක් ද.?


කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ අපි දෙන්නම ඉගෙන ගත්තේ. එයා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. මම හරි දඟකාර චරිතයක්. නිතරම විනය නීති කැඩුවා. අවේලාවේ කැන්ටින් එකට ගිහිං එයාට අහුවෙලා දඩුවම් දීලා තියෙනවා. මට හරියට උදව් කළා මගේ හැමදේකටම. තාත්තා මූල්‍ය ක්ෂේත්‍රයේ වැඩ කළ නිසා අපි දෙන්නත් ඒ පැත්තට යොමු වෙයි කියලා හිතුවා. එයා ඒ පැත්තට ගියා. මට නිතරම කිව්වා සාමාන්‍ය පෙළ උසස් පෙළ පාස් වෙන්න බැංකු රස්සවක් කරන්න කියලා. මම නිවේදිකාවක් විදිහට වැඩ කරද්දී වැඩසටහනකට ඇන්ද ඇඳුම් ආයේ අඳින්නේ නැහැ. එයා මට හරියට ඇඳුම් අරන් දෙනවා.


ආදරේ ඉල්ලගෙන කොල්ලෝ පස්සෙන් එද්දී..?


මුලින්ම ඉගෙන ගෙන දෙවනුව ඕන දෙයක් කරන්න කියලා කිව්වේ. අනුබල දුන්නේ නැහැ.


ඇය සුන්දර විවාහ ජීවිතයක් ගත කළ කෙනෙක්, ඔබේ විවාහයට ඇය බලපෑමක් කළෙත් නැද්ද..?


කොහෙත්ම නැහැ. කවදාවත් අහලා නැහැ ඇයි විවාහ වෙන්නේ නැත්තේ, විවාහ වෙන්න කියලා. නෑයෝ හෝ වෙන කවුරු හරි ඒ ප්‍රශ්නය මගෙන් ඇහුවොත් එයා උත්තර දෙන්නේ එයා නිදහසේ ඉන්න එක හොඳයි කියලා යි. කිසිදේකට බලපෑම් කරලා නැහැ. මගේ රැකියාව හරියට කරගන්න කියලා නම් කියලා තියෙනවා.


ඔබේ නිවේදන ජීවිතේ වැඩිපුරම හොඳ නරක දකින්නේ ඇයද..?


මගේ හොඳම විවේචකයා, ප්‍රේක්ෂකයා , එයා තමයි. රෑට වැඩසටහන් කරද්දී ස්ටූඩියෝ එක සීතලයි. ඒ නිසා මම කාටවත් නොපෙනෙන්න හොරෙන් චුයින්ගම් කනවා. එයා ඒ වැඩසටහන් බලලා කතා කරලා කියනවා ඔයා ඊයේ චුයින්ගම් කෑවා නේද ඕවා කන්න පිස්සුද අනේ. එහෙම කරන්න එපා කියනවා. වචනවල වැරැද්දක් වුණොත් ඒක වැරදියි සිංහල තේරුම මේක ඉංග්‍රිසියෙන් කියන්නේ මෙහෙම කියලා දෙනවා. මගේ ඕනෑම අඩුපාඩුවක් එයා තමයි මුලින් දකින්නෙ.


ඇත්තටම තනුජාට තනිකම දැනිලා නැහැ කිව්වොත් ඒක බොරුවක්..?


මම ඉස්සර තනිකමට හරි බයයි. මිනිස්සු තනියට බය නිසා තමයි විවාහ වෙන්නේ, දරුවෝ හදන්නේ. මීට අවුරුදු පහකට කලින් ඉඳලා මම තනිකමට පුරුදු වෙනවා. පොත් කියනවා, චිත්‍රපටි බලනව, ලියනවා. තනිකම ඒ විදිහට නැති කරගන්නවා.

 ඒ නිසාද කවදා හරි දවසක රෝද පුටුවක ඉන්න වුණොත් එය ඉමජින් කරගත්තේ..?


ජීවිතේ කියන්නේ අපිට මතක නැති ආරම්භයක් සහ අපි නොදන්නා අවසානයක්. උපතයි මරණයයි පහසුයි. ජීවිතේ තමා දුෂ්කර. කිසිවක් එලෙසම පවතින්නේ නෑ. අපිට තව


කාලය හුඟාක් තියෙනවා කියලා හිතන එක අපේ දුර්වලකමක්.


අපි දේවල් අත්හරින්න හිත දියුණු කරගන්න ඕනේ හැබැයි තේරුම් අරගෙනයි අත්හරින්න ඕනේ. කලකිරිලා නෙවේ.


ජිවිතේ පුරෝකථනය කළ හැකි නම් එය ජීවය වීම නවත්වන අතර රසයෙන් තොර වෙන දෙයක් බවට පත් වෙනවා. හෘදසාක්ෂියයි, ස්වභාවධර්මයයි එක්ක ජීවත් වුණාම මේ හැමදේම තේරුම් යනවා .


ඉදිරි සැලසුම් මොනවද..?


කෙටි චිත්‍රපටයක් කරන්න අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. දිර්ඝ චිත්‍රපටයක් කරන්නත් අදහසක් තියෙනවා.



හර්ෂණී වීරරත්න





Previous Post Next Post