සැබෑ ජීවිතේ මට චරිත මවන්න අවශ්‍ය නැහැ - සචින්තනී කෞෂල්‍යා



මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාව තුළ විකාශය වන 'කියා දෙන්න ආදරේ තරම්' ටෙලි නාට්‍යයේ “දිගැසි“ චරිතය හරහා රසික ආදරය දිනාගත් ඇය නීති විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සචින්තනී කෞෂල්‍යා කලා කටයුතු වල නිරතව සිටිනවා. දක්ෂතාවයෙන් පිරුණු යොවුන් රංගන ශිල්පිනියක් වන සචින්තනී කෞෂල්‍යා මෙවර අප හා කතාබහට එක්විය. මේ වන විට සිය උපාධියට අමතරව මනෝ විද්‍යාව, මනෝ චිකිත්සනය සහ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධව හදාරා සිටින ඇය මනෝ උපදේශනය සම්බන්ධ සහය කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්නීය. ඊට අමතරව නීතිය සම්බන්ධයෙන් ද හදාරණ ඇය යොවුන් රංගන ශිල්පිනියක ලෙස ඉදරියෙන්ම සිටින්නීය. පුංචි තිරයෙන් දිගැසී ලෙස ජනාදරයට පත් ඇය ඒ ගැන කියන කතාවයි මේ.



සචින්තනීත් දිගැසි වගේ ද.?


සමහර තැන්වලදි දිගැසි සචින්තනීද කියලත් මට හිතිල තියෙනවා. මම අම්මා නැතුව වත්තක හැදෙන ගෑනු ළමයෙක් නම් නෙවෙයි. හැබැයි දිගැසි වගේම මමත් කැම්පස් ගියා. සචින්තනීටත් ටිකක් ඉක්මනින් කේන්ති යනවා. මමත් දිගැසි වගේ මෝඩකම් කරපු තැනුත් තියෙනවා.


දිගැසි ආදරේ කරන විදිය ගැන ඔයා හිතන්නෙ මොකක්ද.?


මෙහෙමයි ඉතින්. සමහර වෙලාවට හිතෙනවා දිගැසි ඇයි ඔය තරම් බාල්දු වෙන්ෙන කියලා. මමත් ආදරේට ආදරේ කෙනෙක් සහ ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්. ආදරේ නොලැබුණාම කේන්ති යන කෙනෙක්. එක තැනකදී මමත් දිගැසි වගේ වුණා.


යෂ් සහ ඔබ ගැන සමාජයේ විශේෂ කතාබහක් තියෙනව නේද.?


එහෙම වුණේ ප්‍රමෝෂන් වැඩකට කරපු ෆොටෝෂුට් එකක් නිසා. ඒක හිතපු නැති විදියට වයිරල් වුණා. දිගැසි සහ අනර්ඝ කියන එකට වඩා සචින්තනී සහ යෂ් කියන චරිත විදිහට තමයි ප්‍රේක්ෂක‍යො අපිව වැළඳ ගත්තේ. යෂ් මගෙ හොඳ යාළුවෙක්. සමහරවිට අපි කිව්වත් සමහරු පිළිගන්නෙ නැහැ වෙනත් සම්බන්ධයක් අපි අතර නැහැ කියලා.


බන්ධනා ටෙලි නාට්‍යයේ චරිතය මොන වගේ එකක් ද.?


මම එහි “විමුක්ති“ කියන චරිතය තමයි රඟපාන්නේ. විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආපු බන්ධනාගෙ මිතුරියක් තමයි විමුක්ති. ඇය හැමදේම උපේක්ෂාවෙන් දරා ගන්න චරිතයක්.


සචින්තනී පුංචි කාලෙ කවුරු වෙන්නද හීන දැක්කේ.?


පොඩිම කාලෙ නැටුම් ටීචර් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියෙ. ඊට පස්සෙ ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්නත් ශිෂ්‍යභට කණ්ඩායමේ වැඩ කරන කාලෙ යුද හමුදාවට බැඳෙන්න ආසාවකුත් තිබුණා. උසස් පෙළ කරන අවධියෙ තමයි තීතිය හදාරන්න ඕන කියන අදහස ආවෙ.


නීතිය හදාරපු ඔබ කලා කටයුතු වලට යොමු වුණේ කොහොමද .?


අපේ පාසලේ තිබුණ කලා උත්සවයකට සහන් රන්වල සර්ගෙ කණ්ඩායම ආපු වෙලාවෙ මගේ නර්තනයක් දැකලා ඔහු මාව රන්වල බළකායට බඳවගත්තා. ඉන් පස්සෙ 2017 දී රූපවාහිනි අවුරුදු කුමරිය අවසන් දස දෙනා අතරට තේරෙන්න මට පුළුවන් වුණා. 2019 හිරු අවුරුදු කුමරිය තරඟයේ අවසන් දොළොස් දෙනා අතරට තේරුණාට පස්සෙ තමයි මම රංගනයට එක් වුණේ. මුලින්ම රඟපෑවෙ ‘මුතුලෙන්දොර' ටෙලි නාට්‍යයේ ‘සිතුලි'කියන චරිතයට.


මානසික ගැටලු නිසා පීඩා විඳින අයට මනෝ උපදේශනය හැදෑරූ කෙනෙක් විදියට මොනවද කියන්න තියෙන්නෙ.?


සම්බන්ධතා නිසා ඇතිවන ගැටලු වලදි අපි ජීවිතය නැති කරගන්නෙ අපි අපිට ආදරේ නැති හින්දා. හැබැයි මම හිතන්නෙ තමන්ට ආදරේ කළොත් තමයි වෙනත් කෙනෙක්ට ආදරය කරන්න අපිට පුළුවන් වෙන්නේ. පාසලේ නවය වසරෙ ඉඳන් උසස් පෙළ වනතුරු මගෙ ජීවිතේ කට්ට කාපු කාලයක්. දැන් තියෙන ආර්ථික, කලා, අධ්‍යාපන ජයග්‍රහණ ලබාගන්න මම ලොකු කැපකිරීමක් කළා. ජීවිතේ අමාරු කාල වලදි අපි අල්ලගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට කවදහරි දවසක සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ.


නිළියක් ලෙස කටයුතු කරන්නද එහෙමත් නැත්නම් නීතිඥවරියක් ලෙස කටයුතු කරන්නද වඩා කැමති?


නීතිඥවරියක් වෙන එක තමයි ලොකුම බලාපොරොත්තුව. ලක්ෂ්මන් පුෂ්පකුමාර සහ ටිකිරි රත්නායක කියන අධ්‍යක්ෂකවරුන්ගෙ ටෙලි නාට්‍යය දෙකක කටයුතුත් මේ දිනවල කරගෙන යනවා. වෙලාව හදාගෙන රංගනය ගැන හදාරන්න ආසාවෙන් ඉන්නවා.


දිගැසි චරිතය නිසා ප්‍රේම ආරාධනා එහෙම ලැබෙන්න ඇති නේද.?


ඔව්....ඔව් මුල් කාලෙ සෑහෙන්න ලැබුණා. සමහරු කියනව මගෙ කලින් පෙම්වතිය දිගැසි වගේ කියලා. ඇත්තටම දිගැසි කියන්නෙ සචින්තනී නෙවේනෙ. සැබෑ ජීවිතේ මට චරිත මවන්න අවශ්‍ය නැහැ. මගෙ විදියට ආදරේ කරන කෙනෙක්ට තමයි මං කැමති. මං කොහොමත් මගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්.





Previous Post Next Post