පුංචි තිරයේ හුරුබුහුටි කිරිල්ලිය ඇයයි. අමුතු කිරිල්ලී වූ ඈ මුතු කිරිල්ලීය. නමින් හඳුන්වනවාටත් වඩා ඇය ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ ගත්තේ මුතු කිරිල්ලී ලෙසයි. දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිනියක වන ඇය නෙහාරා පීරිස්ය. රංගන ශිල්පී මේනක රාජපක්ෂගේ කැදැල්ලේ ආදරණීය කිරිල්ලිය ඇයයි. විටෙක රංගනයෙන් ප්‍රේක්ෂක සිත් වසඟයට ගන්නා ඇය තවත් විටෙක ප්‍රේක්ෂක සිත් නර්ථනයෙන් මුසපත් කරන්නීය. චතුර ලෙස වැඩසටහන් මෙහෙයවන නෙහාරි හඬකැවීම් අංශයෙහි ද දක්ෂතා දක්වන්නියකි. රංගනයට පමණක් සීමා නොවී ක්ෂේත්රයන් කිහිපයක්ම හැඩවැඩ කළ ඇය මේ දිනවල නිහඬය.
“මේ දවස්වල පොඩ්ඩක් නිහඬව ඉන්න හිතුවා. ඒකත් සුන්දර නිහැඬියාවක්. මොකද ආයිමත් මං මවු පදවිය ලබන්නයි යන්නේ. ඒක මට ලොකු සතුටක්. දරු දෙන්නෙකුගේ මවක් වීමේ සුන්දර අත්දැකීම විඳිමින් මේ දවස්වල සතුටින් කාලය ගතකරනවා. දුවට දැන් අවුරුද්දයි මාස නමයක් වෙනවා. එයාගේ සුරතල් බල බලා එයාගේ වැඩක් එක්ක ඉන්නකොට නිකන්ම කාලය ගෙවෙනවා.
මේනක රංගනයට වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් යොමූවී ඉන්න නිසා ඔහුත් ගොඩක් කාර්යබහුලයි. මේ දවස්වල මගේ ඩාන්සින් ස්ටුඩියෝ එක ගැන බලන්නෙත් එයා. අනිත් ගුරුවරු පන්ති කරගෙන යනවා. වර්ක් ෂොප් කරනවා. කොතරම් වැඩ තිබුණත් මේනක මා ගැන, ගෙදර ගැන හොයලා බලන්න වෙලාව වෙන්කර ගන්නවා. එයාට පුළුවන් හැම වෙලාවෙම ගෙදර වැඩවලට සහයෝගය දෙනවා. ඩොක්ටර් ළඟට යන දවස්වලට අනිවාර්යයෙන්ම මොන වැඩේ තිබුණත් එයා එනවා. ඒ අතින් මං ගොඩාක් වාසනාවන්තයි. මේනක වගේ කෙනෙක් ලැබීම මගේ වාසනාව.
2007 වසරේ ‘ජීවිතේ ලස්සනයි‘ කියන ටෙලි නාට්‍යය හරහා මං පුංචි තිරයට පිවිසුණේ. 2008 දී ‘මුතු කිරිල්ලී’ තමයි මගේ රංගන ජීවිතේ ප්‍රධානම පිවිසුම. අදටත් ප්‍රේක්ෂකයන් මාව හඳුන්වන්නේ මුතු කිරිල්ලී නමින්. එදා ඒ ලැබූ ජනප්‍රියත්වය අදටත් තියෙනවා. මේ වෙද්දි මං ටෙලි නාට්‍යය 20ක් විතර කරලා රඟපාලා තියෙනවා. සෙනෙහසට ආදරෙයි, ජීවිතේ ලස්සනයි සහ හේලි ඇරුණම අනෙක් ඔක්කොම නාට්‍යවල ප්‍රධාන චරිත රඟපෑවේ. හේලි එකේ මං කළේ ප්‍රධාන දුෂ්ට චරිතයක්. ඒකෙ මේන් රෝල් එක කළේ ෆොරිනර් කෙනෙක්. පළමු වතාවටයි මං දුෂ්ට චරිතයක් කළේ.
මට මේනකව හමුවුණේ මුතු කිරිල්ලී කරද්දී. ඒ වෙද්දි මේනකයි මායි හොඳම යාළුවෝ විතරයි. ‘අමන්දා‘ ටෙලි නාට්‍ය කරද්දි තමයි ආදරේ කරන්න පටන් ගත්තේ. මේනකයි මායි එකට ඉන්නකොට නම් අලියයි කූඹියයි වගේ. ආදරේට ඕව අදාළ නෑනෙ. 2014 දී අපි බැන්දා. ඒ කාෙල් මං ජනප්‍රියත්වයේ ඉහළම හිටියේ.
2015දී අපි ටික කාලෙකට අමෙරිකා ගියා. මේනකට ඕන වුණා එයාගෙ උපාධිය අමෙරිකාවෙම කරන්න. එහේදි මං මොන්ටිසෝරි ඩිප්ලෝමා එකක් කළා. පාර්ට් ටයිම් ජොබ් එකකුත් කළා. 2018 දී අපි ආයිමත් ලංකාවට ආවා. 2020 තමයි දුව ලැබුණේ. ඒ කාලෙ රංගනයෙන් ටිකක් ඈත් වෙන්න වුණ නිසා මේනක අධ්‍යක්ෂණය කළ පළමු ටෙලි නාට්‍යයට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. එයාගෙ දෙවැනි ටෙලි අධ්‍යක්ෂණය ‘ගුග්ලි‘. එකේ ප්‍රධාන චරිතය කළේ මම. දැන් එයා තුන්වෙනි නාට්‍ය යේ අධ්යක්ෂණයට සූදානමින් ඉන්නේ. ඒත් ආයිමත් මං මවක් වෙන්න ඉන්න නිසා ඒකට සම්බන්ධ වෙන්නත් බැරිවෙනවා.
It’s a matter of Love මගේ පළමු සිනමා අත්දැකීම. ඒ 2009 දී. අධ්‍යක්ෂණය කළේ රෝයි ද සිල්වා. ඒකෙ දෙබස් සම්පුර්ණයෙන්ම කළේ ඉංග්‍රීසියෙන්. ඊට පස්සෙ ‘පුතණ්ඩියා කියලා එකක් කළා. අවුරුදු 2කට විතර කලින් කළේ අපට සැදුණ අපේ ලෝකයේ. .”
හුරුබුහුටියට හිටපු නෙහාරා අම්ම කෙනෙක් වෙන්න ගිහින් ගොඩක් මහත් වුණා. කවුරුත් හිතුවෙ නෑ ඒ හුරුබුහුටි පෙනුම නැවත ගන්න පුළුවන් වේවි කියලා. ඒත් ඇය කොහොම හරි තම සිරුරේ හැඩය පවත්වා ගත්තා. නමුත් දැන් ආයෙමත් නෙහාරාට ඒ අභියෝගයම ඇවිත්.
“පළමු බබා ලැබෙන්න හිටිද්දි කෑම පාලනයක් කළේ නැහැ. පෝෂ්‍යදායී ආහාර ගත්ත නිසා ගොඩක් මහත් වුණා. ව්‍යායාම කළෙත් නෑ. මගේ බර 78Kg ක් වුණා. සාමාන්‍යයෙන් මගේ බර කිලෝග්‍රෑම් 48යි. බබා ලැබුණට පස්සෙ ජිම් ගිහින්, කෑම පාලනය කරලා කොහොම හරි මං මගේ සාමාන්‍ය තත්ත්වෙට ආවා. දෙවැනි වතාවටත් අම්ම කෙනෙක් වෙන්න ඉන්න නිසා දැන් ආයිමත් මහත් වේගෙන එනවා. බබාල කොච්චර ලැබුණත් අම්මල ලස්සනට ඉන්න ඕන මම හිතන්නේ එහෙමයි.”
නාමලී ගමගේ