කණ්ඩායම් හැඟීම නැත්නම් මට වැඩ කරන්න බැහැ - ජනිත් වික්‍රමගේ



ජනිත් වික්‍රමගේ මේ දිනවල පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ නම් නිවේදකයකු ලෙසින් පමණයි. ඒ සියත ස්ටාර් වොස්හි නිවේදක ලෙසින්. හැබැයි සිනමාවේ නම් ජනිත් ඉන්නේ ගේම් එකක් ප්ලේ කරන ගමන්. ජනිත්ගේ අලුත්ම භූමිකාව SI අජේ. ජනිත්ට මේ තනතුර දීලා තියෙන්නේ සුරංග ද අල්විස්. ඒ නිසාම මේ සොඳුරු කතා බහ, ද ගේම් ගැන SI අජේ එහෙමත් නැත්නම් කවුරුත් දන්නා ජනිත් වික්‍රමගේ සමඟ.


 SI අජේ, ගැන කියද්දී SI විජේ ගැන නොකියාම බැහැනේ


අනිවාර්යෙන්ම. රන්ජන් අයියා තමයි SI විජේට ඉන්නේ. SI විජේගේ නංගිගේ පෙම්වතා තමයි SI අජේ කියන්නේ. ඒ නිසා මේ ගේම් එක ගහන්නේ.


 රන්ජන් අයියා මේ වෙද්දී සිරගත ව ඉන්නේ, ඔහු නොමැතිව තිරගත වෙන එක ගැන ඔහු කිව්වේ මොනවාද?


මේ හැම වැඩක්ම ඉස්සරහට යන්නේ ලොක්කාගේ (රන්ජන් අයියාගේ) ආශිර්වාදය ඇතුව. රන්ජන් අයියා කියන්නේ මානුෂිය ගුණාංග අතින් ඉතා ඉහළ සුන්දර මනුස්සයෙක්. ඒ නිසා තමයි මම ඔහු වෙනුවෙන් කතා කරන්නෙත්. පුද්ගල චරිතයක් විදියට මම හුඟක් ගරු කරන කෙනෙක්.


 රන්ජන් සමඟ කලින් රඟපාලා තියෙනවාද?


මම රඟපෑ හිරිපොද වැස්ස චිත්‍රපටයේ ගරු රඟපෑමකට රන්ජන් අයියා ආවා. එදා හම්බුණා සහ විශේෂ අවස්ථාවලදී හම්බෙනවා හැර එකට වැඩ කරලා තිබුණේ නැහැ. එකට වැඩ කරන පළමු අවස්ථාව ද ගේම්.මට සුරංග අයියා මේ චරිතයට ආරාධනා කරද්දී මම ඇහුවේ ප්‍රධාන නළුවා කවුද කියන එක. ඒකත් එක්ක අපි තීරණය කරමු කියලා. ඊට පස්සේ තමයි මට කියන්නේ රන්ජන් අයියා තමයි ඉන්නේ කියලා. ඒක දැනගත්තම මම බොහොම සතුටු වුණා. එක පැත්තකින් මම පොඩි කාලේ ඉඳන්ම ආස කරන නළුවා. පොඩි කාලේ ෆොටෝග්‍රාෆ් පවා ගෙන්න ගෙන තියෙනවා. ඒ වගේම ලංකාවේ බොහෝ දෙනා ඔහුගේ චිත්‍රපට බලලා සින්දු අහලා තියෙනවා. ඒ නිසා ඔහුත් එක්ක වැඩ කරන්න ආසාවෙන් හිටිය කෙනෙක්.


 රන්ජන් එක්ක රඟපාන්න මුලදී හිතේ පොඩි බයක් තිබ්බා නේද?


ඔහු මේ වෙද්දී සිනමාවේ ඉන්න සුපර් ස්ටාර්. ඒ වගේම ඒ වෙද්දී ඔහු සිවිල් බලයෙන් ගත්තමත් රජයේ ප්‍රබල ඇමැතිවරයෙක්. ඒනිසා මට ඔහු එක්ක ගැටෙන්න බැරි නිසා කොහොමද ෂේප් එකේ මෙයත් එක්ක මේ වැඩේ කරන්නේ කියලා පොඩි චකිතයක් තිබ්බා. හැබැයි සෙට් එකට ගියාම මට දැනුණු දේ තමයි ඔහු තරම් නිහතමානීව වැඩ කරපු කෙනෙක් නැති තරම් කියලා. ඒ තරම් නිහතමානියි. පොඩි දරුවෙක් වගේ ඉතාම සාවධානව අහගෙන වැඩ කළා. ඒක තමයි මම එයාගේ දකින දක්ෂතාවත්. එයාට ජුනියර් ද සීනියර් ද කියලා නැහැ; ඕනේ තැනකින් හරි විදියට අල්ලාගෙන වැඩේ කරනවා. ඒවගේම ඔහු එක්ක වැඩ කළ කාලය තුළ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.


 පොදුවේ 'ද ගේම්' කණ්ඩාය‍මෙන් ලැබුණු සහයෝගය කොහොමද?


සුරංග ඇතුළු කණ්ඩායමේ කැපවීම ඉතා ඉහළයි. මම සාමාන්‍යයෙන් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න බැරි අය එක්ක වැඩ කරන්නේ නැහැ. ගේම් කණ්ඩායමේ කැපවීමට මමත් කැමතියි. ඒ කැපවීමට මට ලබා දෙන්න පුළුවන් සහයෝගය මම හැමදාම ලබා දෙනවා. කොහොමත් මම චිත්‍රපටයකට සම්බන්ධ වුණාම ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙලා අවසන් වෙනකම් ම ඒ නිර්මාණය එක්ක ඉන්න කෙනෙක්.


 මේ වෙද්දී ජනිත් පුංචි තිරයට සමු දීලා ද?


මම සිනමා නිර්මාණ කිහිපයක් බාරගෙන තියෙන නිසා ඒවාට කාලය යෙදෙව්වම ටෙලි නිර්මාණ කරන්න කාලයක් නැහැ.  මගේ ඊළඟ නිර්මාණයට මේ දවස්වල මහන්සි වෙනවා. මැයි මාසේ රූපගත කිරීම් කරන්න හිටියේ, දැන් ඒක පොඩ්ඩක් ජුලි මාසයට ගිහින් තියෙනවා. ඒ වගේම සුරංග අයියා එක්කත් තව අලුත් සිනමා නිර්මාණයකට මුල පුරලා තියෙනවා. ඒ දෙකම මේ වසරේ රූගත කිරීම් ආරම්භ වෙනවා. මගේ හිතේ තියෙන දේ සහ මම විෂයක් විදියට මේ සිනමාව කරද්දී මට තේරුම් ගිය දේ තමයි හරියට බැලුවොත් නළුවෙක්ට වසරකට චිත්‍රපට කරන්න වෙන්නේ දෙකක් හෝ තුනක්. ඉන්දියාවේ අය වසරකට කරන්නේ චිත්‍රපට දෙකක් වගේ. ඒක ඇත්තටම හරි. හරි විදියට නිර්මාණයක් කරන්න නම් ඒ කාලය යනවා.


 ද ගේම් ප්‍රේක්ෂකයන් වැළඳ ගනියි කියලා විශ්වාසද?


"ද ගේම්" ගැන මට සියට දෙසීයක විශ්වාසයක් තියෙනවා. මම මගේ ප්‍රේක්ෂකයන්ට බොරු කියන කෙනෙක් නෙවෙයි. මම විශ්වාස කරන තව දෙයක් තමයි චිත්‍රපටයක පළමු කොටසෙන් මිනිස්සුන් අල්ල ගත්තේ නැත්නම් විවේක කාලයෙන් පස්සේ ටික බලන්නේ කැමැත්තෙන් නෙවෙයි, නැත්නම් අතරමැද නැගිටලා යන අවස්ථා පවා අපි දැකලා තියෙනවා. හැබැයි ගේම් කියන්නේ එහෙම අතරමඟ නැගිටලා යන ෆිල්ම් එකක් නෙවෙයි.


 ප්‍රේක්ෂකයාට මොන වගේ ඇරයුමක් ද කරන්නේ?


මම හැමදාම කියන දේ තමයි අපි මොන දේවල් කිව්වත්, අපි මොනතරම් බලාපොරොත්තු තියාගෙන හිටියත්, ලොකු කතන්දර දාලා ලොකු පෝස්ටර් ගැහුවත් ඒවා ඕකේ කරන්නේ ප්‍රේක්ෂකයෝ. ප්‍රේක්ෂකයන් තමයි තෝරා ගන්නේ මොකක් ද මේ නිර්මාණය කියලා. මම දැඩිව විශ්වාස කරන දේ තමයි මේ හැම නිර්මාණයක්ම දුවන්නේ කටින් කට. ඒ කියන්නේ වාචිකව යන ප්‍රචාරය මත. ඒක තමයි සිනමාවේ හොඳම ප්‍රචාරණ මාධ්‍යය. ද ගේම් පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වුණු දවසේ ඉඳන්ම අපිට ලැබෙන ප්‍රතිචාරය අපි දැක්කා. ඒ අනුව මට හොඳටම විශ්වාසයි ඉතාමත් හොඳින් ප්‍රේක්ෂකයන් මෙය බාර ගනී කියලා.

අපි මහන්සි වෙලා හිතට එකඟව කළොත් ඒක කවදාවත් වරදින්නේ නැහැ කියන විශ්වාසය මට තියෙනවා. ඒ වගේම මම රෂ් තුළින් අත්වින්ද දෙයක් තමයි රූපවාහිනියේ විකාශය වෙද්දී ඒ චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතා කළා. හැබැයි මම කියන්නේ සිනමා නිර්මාණයක් සිනමාශාලාවක සිනමා පුළුල් තිරයේ දකින්න උත්සාහ කරන්න. එහෙම බැලුවේ නැත්නම් ඒ චිත්‍රපටයේ ෆීල් එක දැනෙන්නේ නැහැ.






Previous Post Next Post