හැමදේම වැඩි වුණත් නළු නිළියන්ගේ ගෙවීම් වැඩිවෙලා නෑ – ශාලිකා එදිරිසිංහ



කාලයෙන් කාලයට ටෙලි නාට්‍යවලින් ද, සිනමාවෙන් ද ඔබ වසඟයට පත් කරන තරු අතර, ඇයත් තාරකාවියක්. ඉතින් මේ තරුව මේ දිනවල අඳුන්ගිර හි සිත්තම්මා ලෙසින් ද දෙකොන්මාරුව ටෙලි නාට්‍යයෙන් ද ඔබ හමුවට එනවා. පුංචි තිරයේ නොනිවී දැල්වෙන මේ තාරකාවිය ශාලිකා එදිරිසිංහයි. මේ ඒ තාරකාවියගේ හඬයි. 


මේ දවස්වල මොනවද අලුත් විස්තර?

මේ දවස්වල දෙරණ නාලිකාවේ 5.55ට දෙකොන්මාරුව කියලා ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. ඒකේ ෂූටින් කරගෙන යනවා. ඒත් එක්කම ස්වාධීන රූපවාහිනියේ සති අන්තයේ විකාශනය වෙනවා අඳුන්ගිර කියලා ටෙලි නාට්‍යයක්. එහි සිත්තම්මා කියලා දමිළ චරිතයක් රඟපානවා. දමිළ පවුලක් ප්‍රශ්නවලට ගැටලුවලට මුහුණ දෙන විදිහ ගැන තමයි මෙහි කියැවෙන්නේ.


 අඳුන්ගිරේ සිත්තම්මාට ලැබෙන ප්‍රතිචාර?


 ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඒක වෙනස්ම චරිතයක්නේ. ඇත්තටම ඒක ටිකක් අසීරු චරිතයක්, දමළ කතා කරන චරිතයක්නේ. මම ඇත්තටම දෙමළ භාෂාව දන්නේ නැහැ. නමුත් මම චරිතයට මාර විදිහට කැපවුණා, මහන්සි වුණා. අඳුන්ගිර බලන හැමෝම මගේ චරිතයට හොඳ කිව්වා.


  දමිළ භාෂාව ඉගෙන ගත්තාද?


අපි වෙනදාට රඟපානවා වගේ නෙමෙයි, ලොකු වෙහෙසක් ගන්න සිද්ධ වුණා. දමිළ වචන ඉගෙන ගන්න සිදුවුණා. දමිළ භාෂාව හින්දා ඒක හරියටම උච්චාරණය කරන්න ඕනෑ හැඟීම් ප්‍රකාශනයත් තියෙන්න ඕනෑ.


  පසුගිය දවස්වල අසනීප වුණා නේද්?


 ඔව් එකපාරක් උණ හැදුණා. ඊයේ පෙරේදා ආයෙමත් ඩෙංගු හැදුණා. ලෙඩ දුක් ඉතින් මනුෂ්‍යයන්ටනේ හැදෙන්නේ. මොනවා කරන්නද නේද?


 ෂූටින් නැවතුණාද?


ඔව්, ඒ කාලේ චුට්ටක් නතර කරලයි හිටියේ. මොකද නිරෝගිකම තරම් ඔය කිසි දෙයක් වැදගත් නැහැනේ. මොනවා කරන්නත් නිරෝගීව ඉන්න එපායැ. කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැනේ නිරෝගිකම නැත්නම්. නිරෝගිව ඉන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා.


දැන් ෂූටින් යනවාද?


ඔව්, මේ දවස්වල දෙකොන්මාරුව ටෙලි නට්‍යයේ ෂූටින්වලට සහභාගි වෙනවා.


 මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ.


 මම ඒ ගැන තෘප්තිමත්. මොකද මම මේක එන්න හිටපු ගමනක් නොවෙයි. අද මගේ වෘත්තිය වෙලා තියෙනවා. හැබැයි මම පොඩි කාලෙ ඉඳලා කලාවට ගොඩක් ආදරෙයි, ලැදියි. ඉස්කෝලෙ කලා කටයුතුවල මම කැපී පෙනෙන චරිතයක්. නර්තනයට තමයි වැඩි නැඹුරුවක් තිබුණේ. රඟපෑමට එන්න අදහසක් තිබුණේ නැහැ. කැලණිය ධර්මාලෝක විද්‍යාලයේදී මට වේදිකා නාට්‍ය කලාවට එන්න ඉඩ ප්‍රස්ථා ලැබුණා. ඉතින් ඒවත් එක්ක තමයි හිතන්නේ නැති විදියට මේ ක්‍ෂේත්‍රයට එන්න ඉඩකඩ ලැබුණේ.


 වෘත්තියට ලැබෙන වටිනාකම ප්‍රමාණවත්ද?


 මේ රටේ තිබෙන ප්‍රශ්නත් එක්ක ඇත්තටම අපේ මිලත් ඉහළ යන්න ඕනෑ. බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට දැන් අපේ නාට්‍යයක එක කොටසක් කරන්න ලැබෙන මුදල තවම එහෙම්මමයි. ඉතින් ඒවත් එක්ක අපි තවමත් අපේ ගාණටම වැඩ කරගෙන යනවා. හැබැයි වෙනස්වීමක් නැහැ.


  නළු නිළියන්ගේ ගෙවීම් වැඩිවෙලා නෑ?

නෑ වැඩිවෙලා නෑ. මොන දේ වැඩි වුණත් නළු නිළියන්ට ගෙවන මුදල වැඩිවෙලා නැහැ. ඉතින් එහෙම බැලුවහම ඒක අත්තටම ඔව්. අද රස්සාවක් කරලා මනුස්සයෙක් ගන්න පඩිය දවස් කිහිපයකින් ගන්නවා කියන කතාව හරි. නමුත් අපි වැඩ කරන කාලය වැඩියි. උදේ පාන්දර ගියාට පස්සේ මහ රෑ වෙනකම්  අවස්ථා තියෙනවා. අපි ෂිෆ්ට් එකට වැඩකරනවා නෙමෙයිනේ. දවසට සෑහෙන දර්ශන ප්‍රමාණයක් රූගත කිරීම් කරනවා. ඒ වෙනුවෙන් සෑහෙන කැපවෙනවා. ලොකු වැඩ කොටසක් කරනවා. නිකං ඉඳලා අයකරනවා නෙමෙයි. මහන්සිවෙලා වැඩ කරලා ගන්නේ. හැම දෙයක්ම වැඩි වුණාට අපේ ටෙලි නාට්‍යවලට ගෙවන ගෙවීම් වැඩිවෙලා නැහැ.


  මේ හින්දා කලකිරීමක් ඇතිවෙලා තියෙනවාද?


 ඒක ඉතිං පොදුයිනේ. මොන ක්‍ෂේත්‍රය ගත්තත් දුක සැප, නින්දා ප්‍රසංසා, ලාභ අලාභ කියන හැමදේම අපට පොදුයි. ජීවිතයට ලැබෙන්න තියෙන දේවල් කොහොමත් ලැබෙනවා. ඒකාකාරී නැහැ. ක්‍ෂේත්‍රයේදී කියන කාරණාව නෙමෙයි. ඕනෑම කෙනකුට මේ දේවල් පොදුයි. මේ ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහයි අවසානයේ වැදගත් වන්නේ.


  අලුත් දෙයක් පටන් ගන්නේ නැද්ද?


 මම රෙදි බිස්නස් එකක් කළා. කොරෝනා වසංගතයත් ඒක්ක ඒක නැවතුණා. ඉතින් තවමත් ඒ ව්‍යාපාරය පටන්ගන්න තරම් රටේ වාතාවරණය හොඳ නැහැ. ගොඩක් දෙනෙක් දැන් විදෙස්ගත වෙන්න තීරණය කරලා තියෙනවා. මිනිසුන්ට කන්න බොන්න නැති වෙලාවක කොහොමද ආයෙමත් බිස්නස් එකක් පටන් ගන්නේ කියන මානසිකත්වයෙන් මේ දවස්වල කාලය ගෙවන්නේ. ඒ හින්දා පොඩ්ඩක් නිහඬව ඉන්නවා.


 ශාලිකාත් රට යයි ද?


 එහෙම කියන්න බැහැ. මෙහෙම යනකොට මොනවා වෙයි ද කියලා අපිවත් දන්නේ නැහැනේ.


 මෙහෙම ගියොත් අපිත් රට දාල යනවා. එහෙමද?


 නැහැ. රට දාල යනවා කියන තැනකම නෙවෙයි. හෙට වෙන දේ ගැන අද කියන්න අමාරුයි. මොකද අපි හිතන දේවල්ම සිද්ධ වෙන්නේ නැහැනේ. අපි හිතන්නේ නැති දේවල් තමයි අපිට එක පාරටම සිද්ධ වෙන්නේ. කියන්න බැහැ ඉදිරිය ගැන. සමහරවිට රට දාල යන්නත් හිතේවි.


දිනේෂ් විතාන





Previous Post Next Post