මුලදී එන හැමෝටම කැපිලි කෙටිලි තිබෙනවා - හංසි ගමගේ



පාසල් වියේදීම රංගනයට එක්වන ඇය මෑතක සිට විවිධ චරිත ඔස්සේ පුංචි තිරයේ නිතර දකින්නට ලැබෙන රුවක් බවට පත්ව සිටින්නීය. කෙටි කාලයකදීම එලෙස ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත්ව සිටින ඇය නවක රංගන ශිල්පිනියක වන හංසි ගමගේයි. මිල්ලෑව වලව, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, අසංවර වැස්සක්, සොම්බර ජරමර, දාම්, මිහි ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ඔබට සමීප වූ හංසි මේ දිනවල ඔබට මුණගැසෙන්නේ කියාදෙන්න ආදරේ තරම් සහ පියාඹන මූනිස්සම් චරිත ද්විත්වයෙනි.


මේ දිනවල හංසි නිතර දකින රුවක්?


ඔව්, මේ දවස්වල කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. පියාඹන මූනිස්සම් ටෙලි නාට්‍යයේ නම් වැඩකටයුතු දැන් නිමා වෙමින් පවතිනවා. ඊළඟට පියාඹන මූනිස්සම් ටෙලි නාට්‍යයේ කණ්ඩායමම සිරස නාළිකාවට අලුත් වැඩක් කිරීමට සූදානම් වෙනවා. ඒ ගැන ඉදිරියේදී රසිකයන්ට කියන්නට පොරොන්දු වෙනවා. හේතුව තවම ඒ වැඩකටයුත්තට අපි සූදානම් වෙමින් පවතින නිසා.


කොහොමද පියාඹන මූනිස්සම් ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?


පියාඹන මූනිස්සම් ටෙලි නාට්‍යයට ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ රනුල්‍යාගේ චරිතය බොහෝමයක් දෝෂාරෝපණවලට ලක්වුණු චරිතයක්. ඒත් සමඟම පෙරළා හොඳ ප්‍රතිචාර ලැබුණා පියාඹන මූනිස්සම් ටෙලි නාට්‍යයේ මගේ චරිතයට.


එහි දෝෂාරෝපණයට ලක්වුණා කියන්නේ ඔබ සාර්ථක නිරූපණයක් කරලා කියන එක නේද?


ඔව් ඇත්තටම. හැමෝම බැන්නට මට මගේ හිතින් අවංකව සතුටු වෙන්නට පුළුවන් මම චරිතය සාර්ථකව සිදුකළා කියලා. මගේ හිතට රනුල්‍ය චරිතය දැනෙනවා සහ මම ඒ සතුට විඳිනවා රනුල්‍යා චරිතය තෝරා ගැනීම සම්බන්ධයෙන්.


හංසි රංගනය වෙනුවෙන් ගුරු වෘත්තිය අතහැරියා කියලා කිහිප තැනකම කියලා තිබුණා?


මම මීට කලින් පෙරපාසල් ගුරුවරියක් විධියට රැකියාවේ නිරත වුණා. පසුව  මම විටින් විට රංගනය එක්ක කාර්යබහුල වෙනකොට නිතරම පෙරට පාසලට යන්න බැරි වෙනවා. සමහර අවස්ථාවල චූටි පුතාලා දුවලා හංසි ටීච නැති හින්දා ඉස්කෝලේ යන්න බැහැ කියලත් කියලා තිබුණා. ඉතින් මම විටින් විට පෙර පාසලට යනකොට ඒකත් ගැටලුවක්. ඒ නිසා මම කුඩා කාලයේ ඉඳන්ම ඇල්මක් දක්වපු රංගනය තෝරගත්තා.


නර්තන ශිල්පිනියක් විදියට වැඩ කරන අත්දැකීම් කොහොමද?


මම ලලිත් පැරකුම් ඩාන්සින් ඉබභඤඪධහි නර්තනය හදාරනවා වගේම පෙරදිග අපරදිග අංශ දෙකෙන්ම තමයි නර්තනය හදාරන්නේ. මම එතැනට යන්න හේතුව මම දිගටම රංගනය හදාරනවා නම් එතැනට යන්න රුකුලක් වෙන්න නර්තනය අවශ්‍යයි. ඒ නිසාම තමයි මම නර්තනය හදාරන්න හිතුවේ.


සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයට එන නවකයන්ට කැපිලි කෙටිලි වැඩියි කියලා කටකතා පැතිරෙනවා. ඇත්තක්ද ඒ කතාව?


මෙහෙමයි මුලදී එන හැමෝටම කැපිලි කෙටිලි තිබෙනවා. එහෙම කියන හේතුව දැන් ක්ෂේත්‍රයට පැමිණෙන නවකයන් ජ්‍යෙෂ්ඨ අයට තැන දෙන්නේ නැතිකම. ඔවුන්ට ගරු කරන්න දන්නේ නැහැ. කතා කරන්න දන්නෙ නැහැ. අපිට ජේෂ්ඨ පුද්ගලයන්ගෙන් ඉගෙන ගන්නට බොහොමයක් දේවල් තිබෙනවා. එහෙම වෙලත් යෂ්ඨයන්ව කපාගෙන යන්න හැදුවොත් එතැනින් එහාට එයාට පැවැත්මක් නැහැ. තමන්ට හැකියාවක් තිබෙනවා නම් අනෙක් අයටත් ගරු කරගෙන තමන්ගේ වෘත්තිය හරියට කරන කෙනෙක් කවදාවත් කැපෙන්නේ නැහැ. මම මේ දේවල් කිව්වේ මම දකින කෝණයෙන්.


තවමත් අත්දැකීම් ලබන රංගන ශිල්පිනියක් ලෙස ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය රංගන ජීවිතයට කොතරම් උපකාරි වෙනවද?


ඇත්තටම කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ මට මුණගැහෙනවා ශලිනි තාරකා සහ විශ්ව කොඩිකාර දෙදෙනා. එතනදී විශ්ව අයියා දෙබස් හසුරවන්නට අවශ්‍ය විධිය ආදී හැමදේටම උදවු කරනවා. ඒ වගේම ශලිනි තාරකා කියන්නේ රංගන කුසලතා තියෙන විශ්වවිද්‍යාලයක් වගේ. මම හරිම භාග්‍යවන්තයි ඔවුන් සමග වැඩ කරන්නට ලැබීම ගැන.


හංසි වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියක්ද?


ඔව්, මම දැන් වෘත්තීයමය වශයෙන් රංගන ශිල්පිනියක්. දැන් මට ලැබෙන වටිනාකම, මට ලැබෙන අලුත් නිර්මාණ, නිරූපණය කරන්න ලැබෙන චරිත  වෘත්තීයමය මට්ටමේ රංගන ශිල්පිනියක් කියන්න හොඳම උදාහරණයක්.


වෘත්තීය මට්ටමෙන් රංගනය තෝරාගෙන ඉදිරියට යෑම ආර්ථික අතින් අපහසුයි කියලා බොහෝ දෙනෙක් පවසනවා?


රංගනය අපිට වෘත්තීය මට්ටමක් විධියට දකින්න බැරි හේතුව එදිනෙදා දවසින් දවස රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙම ක්ෂේත්‍රයට පැමිණීමයි. නමුත් බොහෝමයකගේ ආදරය, කැපවීම මේ ක්ෂේත්‍රය වෙනුවෙන් නැහැ. එහෙම අය මඟදී හැලෙනවා. එයාලා තමයි කියන්නේ ආර්ථික අතින් ශක්තිමත් මදියි කියලා. උදාහරණයක් විදියට ප්‍රවීණ රංගන ශිල්පීන්ට අදත් එදත් එක වගේ නිර්මාණ ලැබෙනවා. ආර්ථික අතින් ඔවුන්ගේ ශක්තිමත්කමක් නැත්නම් ඔවුන් තවමත් මේ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරන්නේ නැහැන්නේ.


ඉදිරි බලාපොරොත්තු කොහොමද?


මම හරිම සරල කෙනෙක්. ලොකු බලාපොරොත්තු නම් නැහැ. මම කැමැතියි මම ඉන්න ක්ෂේත්‍රයට යම්කිසි දෙයක් අලුත් විදියට දායාද කරන්න. ඒ නිසා මගේ බලාපොරොත්තුව වෙන්නේ අලුත් මාවතක් විධියට අලුත් නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගැනීම. ඒ වෙනුවෙන් මගේ උපරිම උත්සාහය මම යොදවනවා.


සචිනි බස්නායක






Previous Post Next Post