පොඩි තැනකින් ආව කියන එකේ හංගන්න දෙයක් නැහැ - පියුමි ශ්‍රී නායක




ඇය රූපය අතින් මෙන්ම ජනප්‍රියත්වය සහ දක්ෂතාව අතින්ද අගතැන්පත් තැනැත්තියක්. මේ දිනවල “පාරදිගේ ටෙලි නාට්‍යයේ රුක්ෂානාව නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය අප කවුරුත් හඳුනන පියුමි ශ්‍රී නායකයි. 

මේ දවස්වල වැඩකටයුතු මොනවද?


මේ දිනවල සනත් ගුණතිලක මහතාගේ අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා සිටිනවා. එහි ප්‍රධාන චරිතය රඟදක්වන්නේ මම සහ ක්ලීටස් මෙන්ඩිස් මහතා. ඊට අමතරව එහි කුසල් මධුරංග සහ දසුන් සෙනෙත්මා නංගිත් සම්බන්ධ වෙලා ඉන්නවා.


එහි ඔබ රඟදක්වන්නේ තරමක් වෙනස් එකක්ලු නේද?


ඔව්. තමන්ට වඩා තරමක් වයසින් වැඩි පුද්ගලයකු සමඟ විවාහ වී සිටින තරුණ කාන්තාවකගේ චරිතයක් තමයි එහිදී මම නිරූපණය කරන්නේ. ඇයට දරුවකුත් සිටිනවා. මගේ ස්වාමිපුරුෂයාට පණ පොවන්නේ ක්ලීටස් මෙන්ඩිස් මහතා. එවැනි දැවැන්තයකු සමඟ රංගනයේ යෙදෙන්නට ලැබීම මා ලද වාසනාවක්.


සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස් වැනි දැවැන්තයන් සමඟ වැඩ කරන්නට ලැබීම ගැන මොකද හිතන්නේ?


සනත් ගුණතිලක සහ ක්ලීටස් මෙන්ඩිස් වගේ ගොඩක් ප්‍රවීණ අත්දැකීම් බහුල පිරිසක් සමඟ රංගනයට අවස්ථාව ලැබීම පිළිබඳව ඇත්තටම සතුටුයි. ඒ තුළ විශාල අත්දැකීම් සම්භාරයක් රංගන ජීවිතයට එක් කරගැනීමටත් හැකිවුණා. ඒ අයගෙන් ලද උපදෙස් සහ මගපෙන්වීම මත සාර්ථක රංගනයක යෙදෙන්නට හැකි වුණා කියලත් මම හිතනවා.


පාරදිගේ ටෙලි නාට්‍යයේ රුක්ෂානාට ලැබෙන ප්‍රතිචාර ගැන කීවොත්?

ඇත්තටම පාරදිගේ ටෙලි නාට්‍යයේ රුක්ෂානාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒවගේම එම නාට්‍යය මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රියයි.


රුක්ෂානාගේ චරිතයට ගොඩක් අය බනිනවා කියන්නේ ඇත්තද?


(සිනා සෙමින්) අම්මෝ ඔව්. මම ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දැම්මත් එක එක දේවල් කියලා ගොඩක් අය බැනලා කමෙන්ට් කරනවා. ඉතින් ඒ විධියට මිනිසුන් මට බනින්නේ මම ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන නිසා වෙන්න ඇති කියා මා හිතනවා.


රුක්ෂානා වගේම සැබෑ ජීවිතයේදිත් පියුමි කියන්නේ නපුරු කෙනෙක්ද?


 (සිනාසෙමින්) අනේ නැහැ. මම රුක්ෂානා වගේ නම් නපුරු නැහැ. මම හරිම අහිංසක, තමන්ගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්.


ඇතැම් තරුණ රංගන ශිල්පිනියන්ට ජනප්‍රිය වූ විගස තම අතීතය සහ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ඉක්මනින් අමතක වෙනවා. නමුත් පියුමි කියන්නේ තම අතීතය සම්බන්ධව බොහොම විවෘතව කතා බහ කරන, මුල අමතක නැති කෙනෙක් නේද?


ඔව්. ඇත්තටම මම නම් මගේ ජීවිතයෙහි අතීතය සහ වර්තමානය දෙස බලා බොහොම ලොකු ආත්ම තෘප්තියක් ලබන කෙනෙක්. ඒ වගේම මම මෙතෙක් දුර පැමිණි ගමන් මඟ තුළදී මම කරපු කැපකිරීම් සහ කාපු කට්ට  තුළින් තවත් කෙනෙක්ට යම් දෙයක් ගන්න තිබෙනවා නම් ඒ අයටත් වටින නිසාවෙන් මම ඇත්ත කතා කරන්නට පසුබට වන්නේ නැහැ. අපි පොඩි තැනකින් ආව කියන එක සැඟවිය යුතු දෙයක් නෙවෙයි. ඒ වගේම ලංකාව වගේ රටක කලා ක්ෂේත්‍රයේ අද හොඳ තැනක ඉන්න  බහුතරයක්, අතීතයේදී පොඩි තැන්වලින් පැමිණි අය තමයි. බොහොමයක් දෙනා දුර බැහැර පිටිසර ගම්වලින් කොළඹ ඇවිත් කලාවට සම්බන්ධ වී


ඉතාම අමාරුවෙන්, කට්ට කාලා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් අයයි. ඉතින් ඒ අතීතය සැඟවීමට අවශ්‍ය නැහැ. අද මම මේ ක්ෂේත්‍රයේ යම් තැනක ඉන්නවා නම්, මගේ අතීතය පිළිබඳවත්, මා ආ ගමන් මඟ පිළිබඳවත් සතුටු විය යුතුයි. අපේ ජීවිත කතාව හමුවේ තවත් කෙනෙක්ට නැඟී සිටීමට ශක්තියක්, උත්තේජනයක් ලැබෙනවා නම් වැදගත් වන්නේ එයයි. ඒත් සමඟම අවංකවම මගේ කතාව කියපු එක පිළිබඳව ගොඩක් අය මට හොඳ  කියලා සුබපතලත් තිබුණා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.


වර්තමාන තරුණ පරපුර අතර සමාජ මාධ්‍ය ජාලා අවභාවිතය වැඩි වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?


ඇතැම් අය සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන්නේ තවත් කෙනෙක්ගේ වැරදිඅඩුපාඩු සොයන්න පමණයි. ලස්සන ඡායාරූපයක් දැම්මත් ඒක්කේ වැරදි පැත්ත තමයි ගොඩක් අය දකින්නේ. සමාජ මාධ්‍යය තුළ පවා අපේ අධ්‍යාපන මට්ටම, බුද්ධිය දියුණු කරගැනීමට ගොඩක් හොඳ දේවල් තිබෙනවා. නමුත් අපේ අය ගූගල් එකට හරි මුහුණු පොතට හරි ගියොත් කරන්නේම වැරදි දේවල් පසුපසම යන එකයි. එවැනි අය තෘප්තියක් ලබන්ම නරක සහ වැරදි දේවල් බලලා. ගුණාත්මක සහ තමන්ට වැඩදායි යමක් නරඹන්නට මිනිස්සු හරි කම්මැළියි. මේ ළඟදි දවසක මම කළු පැහැයට හුරු ඇඳුමක් හැඳගෙන රුවන්වැලි මහා සෑයට ගියා. එය ඉතාම හදිස්සියෙන් ගිය ගමනක්.  එදා ඒ මොහොතේ ළා පැහැති ඇඳුමක් මා ළඟ තිබුණේ නැහැ. 


කොහොම නමුත් එදා මම දාපු වීඩියෝ එකක් විනාඩි කිහිපයක් ඇතුළත මිලියනයකට වැඩි ප්‍රමාණයක් නරඹලා සහ ශෙයාර් කරලා තිබුණා. ගොඩක් අය ඒ පිළිබඳව මට ‍දොස් කියලත් තිබුණා.  බොහෝ අය ඉතා ඉක්මනින් අන් අයව විවේචනය කරන්නට පෙලඹෙනවා. නමුත් හොඳක් කියන්න නම් ඒ තරම් ඉක්මන් වන්නේ නැහැ. සෑම දෙයක් පිළිබඳව වැරදි කෝණයන්ගෙන්  පමණක් නොදැක, ධනාත්මක ආකාරයට ජීවිතය දෙස බලන්නට පුළුවන්

නම් එය කාටත් හොඳයි.


වර්තමානයේදී ඇතැම් නවක රංගන ශිල්පිනියන් තුළ “රංගන ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වීමට නම් ප්‍රධාන චරිතයක්ම නිරූපණය කළ යුතුයි” යැයි මතයක් තිබෙනවා නේ. ඒ මතයට ඔබ එකඟද?


එහෙම දෙයක් නැහැ. නමුත් මම රංගන ශිල්පිනියක් විධියට මුලින්ම  ක්ෂේත්‍රයට පැමිණියේ ප්‍රධාන චරිතයකින්. එයට හේතුව මම ගොඩක් ගුරුවරු යටතේ රංගන පාඨමාලාවන් හදාරලා රංගනය පිළිබඳව ඉගෙන  ගෙනයි පැමිණියේ. ඒ ගුරු-හරුකම් මත තමයි මම ප්‍රධාන චරිතයට තේරී පත් වුණේ. නමුත් තමන්ට ලැබෙන පොඩි චරිතයකින් වුවත් තමන්ගේ දක්ෂතාව පෙන්විය හැකි ආකාරයට, තමන්ට හැකි උපරිම ආකාරයට ඉදිරිපත් කිරීමයි වැදගත්. එවිට තමයි කලා ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් වුණත් අප සතු දක්ෂතා හඳුනා ගන්නේ. එනිසා රංගන හැකියාව පෙන්වීමට ප්‍රධාන චරිතයක්ම අවශ්‍ය වන්නේ නැහැ. අපෙන් පසුව  මේ ක්ෂේත්‍රයට එන අයට වුණත් මට කියන්න තිබෙන්නේ පළමුවෙන්ම තමන්ගේ හික්මීම විනය කියන දේත්, ප්‍රවීණයන්ට ගරු කිරීමත් අනිවාර්යයෙන්ම වර්ධනය කරගත යුතුයි. ඒ දේවලුත් නිසි පරිදි සකසා ගත හොත් තමන්ගේ දක්ෂතා සහ ගුණාංගයන් මත මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යා හැකියි.


අද තරුණ පරපුර තුළ සම සුදු පැහැ කර ගැනීමේ උන්මාදයක් තිබෙනවා නේ. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?


මෙහෙමයි. තවත් කෙනෙක්ට ඊර්ෂ්‍යා කරමින්, අන් අයව විවේචනය කර කර ඉන්නේ ඒ තැනට ළඟා වීමට නොහැකි අය තමයි. ඕනෑම කෙනෙක් කැමැතියි ලස්සනට, සුන්දරව ජීවත් වෙන්න. ඉතින් මම නම් කියන්නේ සම සම්බන්ධව විවිධ ප්‍රතිකාර කරන්නට තමන්ට මුදල් නොමැති නම් අන් අයව විවේචනය කරමින් කාලය කාදමන්නේ නැතිව ස්වාභාවික දේවල්වලින් හෝ තමන්ගේ රුව ඔප්නංවා ගැනීමට කටයුතු කරන්න කියලයි.

 


Previous Post Next Post