කලා ක්ෂේත්රයේ විවිධ රංග භූමිකා හරහා චරිත ජීවමාන කරමින් වසර දොළහක පමණ කාලයක් මේ ක්ෂේත්රයේ වැඩකටයුතු කළ ඇයට පසුගියදා ‘සුමති’ සම්මාන රාත්‍රියේදි සම්මානයක් හිමිවුණා. ඒත් හා හා පුරා කියා ඇයට ලැබුණු ඒ කුලුඳුල් සම්මානය ලබා ගැනීමට ඒ මොහොතේ ඇය සිටියේ නැහැ. ඉතින් එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා ධනංජි තරුකා පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.
වසර දොළහකට පසු ගත්ත සම්මානය ගැන කතා කළොත්?
මම මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා එවැනි කාලයක් වෙනවා. මම හිතනවා 2021 වසර මට වාසනාවන්ත වසරක් කියලා. හිතන හැමදේම හරියනවා. මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්ෂණය කළ ‘සුසුමක ඉම’ ටෙලිනාට්‍යයේ මම රඟපාපු ‘මාලිකා’ චරිතයට තමයි මට මේ සම්මානය ලැබුණේ. හරිම සතුටුයි.
පළමු සම්මානය ලබා ගන්න ඔබ ඒ අවස්ථාවේ හිටියේ නැහැ නේද?
එය තමයි මට තියෙන දුක. මම සම්මාන උළෙලට ඒමට ප්‍රමාද වුණා. මොකද මට කලින් දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැහැ සම්මානයක් තියෙනවා කියලා. එහෙම දැනුවත් කිරීමක් කරලා තිබුණා නම් මම පෙරසූදානමක් ඇතිව සහභාගි වෙලා සිටිනවා. පස්සේ මම ඒ වැඩසටහන අතරතුර ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් අතින් සම්මානය ලබාගත්තා.
මෙයට වඩා හොඳ ඇගයීමකට ලක්වෙයි කියලා හිතුවාද?
මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා නිර්මාණවල වැඩ කරගෙන යන අතරතුර අනෙකුත් ශිල්පිනියන්ට වගේම මගේ හිතෙත් පුංචි ආශාවක් තිබුණා සම්මානයක් ගන්න. ඒත් මම හිතුවේ නැහැ මෙහෙම හරි සම්මානයක් ලැබෙයි කියලා.
‘නිහඬ සෙවණැලි’ සමඟ මොකද කරන්නේ?
සුනිල් ප්‍රේමරත්නගේ ‘නිහඬ සෙවණැලි’ චිත්‍රපටය තමයි මගේ පළමු සිනමා අත්දැකීම වෙන්නේ. එය ප්‍රදර්ශන වැඩකටයුතු එක්ක වැඩ කරගෙන යනවා. එයට අමතරව ඔහුගේ අලුත් චිත්‍රපටයට මට රඟපෑමට අවස්ථාවක් ලැබුණා. එයටත් සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා.
මේ දවස්වල දනංජි ටෙලිනාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලානේද?
ඉලන්දාරියෝ, හොඳ වැඩේ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ඒවායේ ප්‍රතිචාර භුක්ති විඳිමින්, සිප්පි කටු, විසිඑක ටෙලිනාට්‍යවල රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ‘රකුන්ගිර’ ටෙලිනාට්‍ය ඉදිරියේදී විකාශය වෙයි. ඔය වැඩකටයුතු එක්ක තමයි මගේ කාලය ගෙවෙන්නේ මේ දවස්වල.
ඔබේ විවාහයත් එක්ක නිර්මාණවලින් ඈත් වෙලාද හිටියේ?
මම විවාහ වෙලා අවුරුදු දෙකක් විතර වෙනවා. ඉතින් මම දුරබැහැර ප්‍රදේශවල කරන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. පසුකාලීනව කොරෝනා ප්‍රශ්න ආවා. ඉතින් වැඩකටයුතු ප්‍රමාද වුණා.
දරු හුරතල් බලන කාලය හරි නේද?
ඔව්… ඒ ආශාව අනෙකුත් අම්මලාට වගේම මටත් තියෙනවා. ඒත් මේ බාරගත්තු වැඩකටයුතු ඉවර කරලා ඉන්න තමයි මගේ අදහස. මොකද ඒ සුන්දර කාලය වෙනකොට මට නිදහසේ ඉන්න ඕනෑ. බොහෝ දුරට ඒ සිහිනයත් මේ වසරේ සැබෑ වෙයි කියලා මම හිතනවා.
වසන්ත විතාරණගේ