එකිනෙකා පරයා එකසේ දස්කම් දක්වන කලාකාමී දූ පුතුන් සපිරි කලා පවුලක් සොයා ගැනීම තරමක් දුෂ්කරය. හේතුව වන්නේ ඒ මාපියන්ගේ ආභාෂය මත පැමිණෙන දරුවන් ඇතැමෙක් සාර්ථකත්වය අතින් පිරිපුන් නැත. එනමුදු, මාපියන් තරමටම හෝ ඊට ආසන්නව ජනප්‍රියත්වයට පත්වන දක්ෂකම් දක්වන වාසනාවන්ත දරු පිරිස්ද බිහිවන කලා පවුල් නැත්තේ නොවේ. ජැක්සන් ඇන්තනීගේ පවුලද එවන් වූ වාසනාවන්ත පවුලකි. ඒ අතර මාධවී ඇන්තනි, සජිත අනුත්තර සහ අකිල ධනුද්දර හරි ආඩම්බරයෙන් පෙළගැසී සිටිති. බොහෝ විට වැඩි හරියක්ම ඔවුන්ට දායාද වූයේ අප්පච්චිගේ උපන් හපන්කම් නොවේද? ඔව්. එය එහෙම යැයි සිතමු. හැබැයි එතරම් දුර ඒ කලා දරුවනට ඇවිද යෑමට පසුබිම සැකසුවේ තිරෙන් පිටුපසට වී මහඟු සේවයක් කළ ඒ දරුවන්ගේ දයාබර අම්මාය. ඇයද අති දක්ෂ රංගන වේදිනියකි. ඒ ඔබ අප කවුරුත් දන්නා කුමාරි මුණසිංහය. ඇන්තනී කලා පවුලේ කදිම දරුවන් ගැන වගේ ඔවුන්ගේ පවුලේ සොඳුරු තැන් ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.
ඔබ කතා කරන්නේ හරිම උජාරුවෙන් වගේ?
අන්න ඔබ වරද්ද ගත්ත තැන. මේ වචනවල තියෙන්නේ උජාරුව නෙමෙයි. මහා සතුටක්. අපේ දරුවා අප්පච්චි වාගේම දස්කම් පෙන්නනකොට සම්මාන ගන්නකොට මම පපුව පුම්බගත්තේ නැහැ. මම කළේ අත්පුඩි ගහලා සතුට ප්‍රකාශ කරපු එකයි.
ඇන්තනී පවුලේ අම්මා දෙස ඔබ වැඩිපුර සතුටු වෙන්නේ සජිත දිහා බලලාද?
කවදාවත් නැහැ. මට මගේ දරුවො තුන්දෙනාම දක්ෂයි. අමතක කරන්න පුළුවන්ද ප්රේක්ෂකයනට ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ කඩවසම් ගැමි තරුණයාව. ඒ වගේම තමයි ‘තාදි’ ටෙලිනාට්‍යය බලනකොට මාධවී ඇන්තනී හරිම කලාත්මකව රඟනවා. මට හිතාගන්න බැහැ ඒ අපේ දුවදැයි කියලා.
හැබැයි සජිත ඉසව් කිහිපයකම දක්ෂකම් මතු කරනවා?
ඔව්. සජිත අති දක්ෂයි. මාධවී ඇන්තනිත් ඒ වාගේම බොහෝ ඉසව් තුළ දස්කම් දක්වනවා. ඈ ගායනයට, චිත්‍ර ඇඳීමට දක්වන හැකියාව අතිවිශිෂ්ටයි. ගී ගායනයට මාධවී සම්මාන පවා ගත්තා.
ඔබ වැඩිපුර කැමැති මාධවී ගැන කතා කරන්නද?
පළමු දරු උපතේදී බලාපොරොත්තු වුණේ දුවෙක්ව, ඒ දුවව දීප්තිමත් හොඳ දරුවෙක් කරන්න සහ දක්ෂ කලාකාරියක් ඒ දුව තුළින් දකින්නට ආසාවෙන් හිටියා.
දරුවන් තිදෙනාම කලාකරුවන් වුණේ අම්මගේ සහ අප්පච්චිගේ මඟපෙන්වීම මතද?
මෙහෙමයි. දරුවන්ට හොඳට උගන්නලා කලා පවුලක් තනන්නට ඕනෑ කියන හැඟීම මගෙත් ජැක්සන්ගෙත් හිතට ආවේ මාධවී කුසේ ඉන්න දවස්වලමයි. හැබැයි අම්මලගේ අප්පච්චිලගේ හිතේ බලාපොරොත්තු ඉදිවුණු තරමට හෝ ඔවුන් දක්ෂ රංගවේදීන් වූ පමණට දරුවන්ට කලා ලොවේ නියැළෙන්න හෝ තරු මට්ටමට එන්නට ලැබෙන්නේ නැහැ. නම් වශයෙන් හඳුන්වා දීම සදාචාරාත්මක නොවන නිසා මට ඒ ඒ කීර්තිමත් පුද්ගලයන් ගැන පවසන්නට බැහැ. නමුත් ඔබ දන්නව ඇතිනේ අපේ සිනමාවේ සහ ටෙලි කලාව තුළ ජනප්‍රියත්වයට පත්වන්නට හෝ මාපියන් තරමට දක්ෂකම් මුදුන්පත් නොකළ දූ දරුවන් ඕනෑ තරම් නිදසුන් ලෙස දක්වන්නට පුළුවන්.
ඒ නිසා ජැක්සන් ඇන්තනීගේ දූ දරුවන් වූ පමණින් මාධවී, සජිත හෝ අකිලට ඒ ඒ තැන ලැබුණා කියා සිතන්නට බැහැ. සමහර විට කලා ලොවේ ඇතැම් පිරිස්ද අනුවණ ලෙස ඒ ගැන හිතනවා. ‘ජැක්සන් ඇන්තනී නිසා දරුවන්ට අහවල් දේ ලැබුණාය’ කියා. සිදුවූයේ එය නෙවෙයි. ජැක්සන් ඇන්තනීගේ දරුවන් දක්ෂයි. ඒ නිසා මේ තැන ඔවුනට ලැබුණා එච්චරයි.
අම්මා සහ අප්පච්චිගේ ශක්තිමත් ආභාෂය එයට පිටිවහලක් වූයේ නැතිද?
ඇයි නැත්තේ. විශේෂයෙන් අප්පච්චි ඒ ආභාෂය ඔවුනට කියාපෑවේ වචනයෙන් පමණක් නෙමෙයි. ආදර්ශයෙන්ද එය පෙන්වූවා. සමහර චරිත සඳහා කායිකව මානසිකව අප්පච්චි කළ කැපවීම ඔවුන් හැදෑරුවා. යම් විටෙක ජැක්සන් චරිතයක් වෙනුවෙන් කොණ්ඩෙ බූ ගෑවා. තවත් විටෙක ආසාවෙන් වවාගත්ත රැවුල කපා දැම්මා. රැවුල කැපුවාම හරිම කැත බව දැන දැනත් චරිතයට සාධාරණය කළා. සමහර චරිත වෙනුවෙන් නොකා නොබී කෙට්ටු වුණා. දරුවන්ට ඔහු ආදර්ශයක් වුණේ එහෙමයි.
ඒ පසුබිම තුළයි දක්ෂ කලාකාමී පවුලක් බිහිවුණේ. නැතුව ජැක්සන් ඇන්තනී කියන ලේබලයට ඔවුන් කිසිවක් ලබාගත්තේ නැහැ. කලාවට ලැදි මාපියන් දෙදෙනකුගේ ආභාෂය තමයි එයට හේතු වූයේ.
දරුවන්ගේ අප්පච්චි කාර්යබහුල වන විට ඔබ ඔබේ රංගන හැකියාවට තිත තැබුවා?
ඔව්. දක්ෂ නිළියක වනවාට වඩා හොඳ අම්මා කෙනකු වීමට මට ඕනෑ වුණා. දක්ෂ කලා තරුවක පිටුපසින් සිට සහාය දෙන හොඳ බිරියක වන්න මට ඕනෑ වුණා. ඒ චරිත දෙපලම තුළ මම හිස්තැනක් නොතියෙන විදියට රඟපෑවා.
ඒ කියන්නේ මේ ලස්සන කලා පවුලේ සැඟවුණු නිර්මාතෘවරිය ඔබයි?
සැඟවීමක් නැහැ. මගේ දරුවන් වාගේම එයාලගෙ අප්පච්චිද එය දන්නවා.
කලාව තුළ ඔබට අතහැරී ගිය අවස්ථා ගැන කනගාටුවක් දැනෙන්නේ නැද්ද?
අවංකවම නැහැ. මොකද ඒ අතහැරීමට පසුබිම්ව මම රඳවා ගත් වටිනා දෑ ඉතා සුන්දරයි. ඒ වාගෙම අග්‍රගණ්‍යයි. ප්‍රවීණයන් මගේ දරුවන් ගැන වර්ණනා කරන විට මට දැනෙන සතුට අප්‍රමාණයි. නිදසුනක් විදියට සජිතගේ ‘කළුවර’ නම් මියුසික් වීඩියෝව ගැන ආචාර්ය සුනිල් ආරියරත්න මහතා කළ වර්ණනාව මට මහා ගෞරවයක් වුණා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු