උදේශ් ඉන්දුල කියන්නේ නව පරපුරේ ඉතාම ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පියෙක්. මේ වන විට තමන්ගේම ගීත නිර්මාණ කිහිපයක්ම තම රසිකයන් වෙනුවෙන් තිළිණ කිරීමටද ඔහුට හැකියාව ලැබී තිබෙනවා. මේ දිනවල ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.
කලා ක්ෂේත්‍රයේ අලුත් වැඩකටයුතු මොනවද උදේශ්?
අලුත් ගීතයක වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යනවා. අප්‍රේල් මාසෙ වගේ වෙනකොට ඒ ගීතය ප්‍රේක්ෂකයන්ට රස විඳින්න පුළුවන් වෙයි. අවුරුදු දෙකකට වගේ පස්සෙ තමයි අලුත් ගීතයක් කරන්නෙ.
සංගීත කණ්ඩායමේ වැඩකටයුතු ගැනත් කතා කරමු?
සංගීත කණ්ඩායමේ වැඩකටයුතුත් කරගෙන යනවා. සාරෝ තමයි සංගීත කණ්ඩායමේ නම. වෙඩින්වල තමයි අපි ගොඩක් ප්ලේ කරනෙ. ගිය අවුරුද්දේ කොරෝනා තත්වය එක්ක ඒ වැඩකටයුතු ගොඩක් කරන්න බැරි වුණා. නමුත් මේ වෙනකොට සීමා සහිතව අවසර ලැබී තිබෙන නිසා අපි වෙඩින්වල ප්ලේ කරනවා. ඒ නිසා ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න බැරි වුණත් අපිට ප්‍රේක්ෂකාගාරය සමඟ සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තියෙනවා.
එක ගීත නිර්මාණයක් කරලා තවත් නිර්මාණයක් කරන්න වැඩි කාලයක් ගනෙ ඇයි?
ප්‍රධානම කාරණය තමයි මට හරියට දැනෙන නිර්මාණයක් ලැබුණේ නැහැ. ගායකයෙක් ගත්තම ඒ ගායකයාගේ එක එක කැටගරි තියෙනවා. මම එළිමහන් සහ ගෘහස්ථ කියන ප්‍රසංග දෙකටම ගැළපෙන විදිහේ නිර්මාණ කරන්නෙ. ඒ නිසා මම හොඳම කෙනෙක් එක්ක හොඳම නිර්මාණයක් කරන්න කාලයක් ගත්තා.
අලුත් නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න ලොකු කාලයක් ගන්න එක ඔබව තරුවක් කළ ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් නෙවෙයිද?
ඒක එහෙම අසාධාරණයක් වෙන්නෙ මම ඉක්මනටම නිර්මාණ කරලා වැඩක් නැති නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙනවා නම් කියලයි මම හිතන්නෙ . මේ අවුරුදු 12ටම මම ඕනෙ නම් සින්දු 15ක් කරලා ඇති. ඉක්මනින් අසාර්ථක නිර්මාණයක් කරනවට වඩා මේ අවුරුදු දෙක ඇතුළේ මම කලින් කරපු නිර්මාණ ප්‍රේක්ෂකයා රස විඳින එක වටිනවා. මම නිර්මාණ කරන ජනප්‍රිය වෙන්න මිසක් ප්‍රසිද්ධ වෙන්න නෙවෙයි. මට ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය වුණේ නැහැ. කල් අරන් මිනිස්සුන්ගේ ඔළුවේ රැඳෙන නිර්මාණයක් කරන එකයි වැදගත්. අදටත් මම වේදිකාවට ගියාම මිනිස්සු වැඩිපුරම ඉල්ලනෙ මම අවුරුදු ගාණකට කලින් කියපු “ළංවෙලා හිම සීත්තේ" ගීත ඒවගේ දැනෙන නිර්මාණයක් කරන්නයි මට අවශ්‍ය. කල් අරන් හොඳ නිර්මාණයක් කළාම ඒකේ වටිනාකම වැඩියි.
ඔබේ පවුලට එකතු වුණු අලුත් අමුත්තා ගැනත් කතා නොකළොත් ?
මගේ පුතාට දැන් මාස 4 1/2යි. “වර්ණ විභූ” තමයි එයාගේ නම. එයත් එක්ක ගෙවන කාලේ හරිම විනෝදයි. මේ තමයි එයාගේ හුරතල්ම කාලෙ. පුළුවන් හැම වෙලාවකම එයත් එක්ක ඉන්න ආසයි. දිල්හාරා සෙනරත් තමයි මගේ බිරිය. ඉතින් අපි තුන්දෙනා සතුටින් කාලය ගත කරනවා.
මේ වෙනකොට ඔබ මාධ්‍ය ලේකම්වරයෙක් විදිහටත් වැඩ කරගෙන යනවා නේද?
ඔව්. මම කලාව සහ අධ්‍යපන කටයුතු දෙකම බැලන්ස් කරගෙන කරගත්තා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ මම අවුරුදු 3 1/2ක කාලයක් බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කළා. මේ වෙනකොට මට අවස්ථාව ලැබිලා තියෙනවා අධ්‍යපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස වැඩ කරන්න. කලාකරුවෙක් විදිහට රට වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් ලොකු සේවයක් කරන්න ලැබුණු අවස්ථාවක් මේක.
කොවිඩ් තත්වය නිසා මේ වෙනකොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වෙලා තියෙනවා. ඒ නිසා දරුවන් වෙනුවෙන් වැඩසටහන් කරන්න අපිට අවස්ථාව ලැබුණා.
මේ දිනවල 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන් වෙනුවෙන් “ගුරු ගෙදර" අධ්‍යාපන වැඩසටහන නිවෙසේ සිට නැරඹීමට දරුවන්ට අවස්ථාව ලබාදී තිබෙනවා. චැනල් අයි, නේත්‍රා ටීවි සහ දෙරණ නාළිකා ඔස්සේ පැය 16ක කාලයක් මේ වැඩසටහන් විකාශය වෙනවා. ඉතින් කලාකරුවෙක් විදිහට ජාතික කර්තව්‍යයකට සම්බන්ධ විමට ලැබීම ගැන සතුටුයි.
කථිකාචාර්යවරයකුගේ භූමිකාවට ඔබ සමුදීලද?
නැහැ. මම කොහොමත් බාහිර කථිකාචාර්යවරයකු විදිහටයි වැඩ කළේ. කාර්යබහුලත්වය එක තමයි ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න නොහැකි වුණේ. එම තනතුරේ තවම ඉන්නවා. අවස්ථාවක් ලැබුණොත් නැවතත් ඒ කටයුතුවලට සම්බන්ධ වෙනවා.
දේශපාලනයට එන්න අදහසක් තියෙනවද?
නැහැ. මම කලින් ඉඳලා දන්න මැති ඇමැතිවරු ගොඩක් ඉන්නවා. දැන් මම සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා යටතේ වැඩ කරන්නේ. මම ඉගෙන ගත්ත දේ තුළින් සේවයක් කරනවා මිසක ඡන්දයකට මම ඉදිරිපත් වෙන්නෙ නැහැ. දරුවන්ගේ දියුණුවට යමක් කරනවා හැරෙන්නට කෙළින්ම දේශපාලනයට සම්බන්ධ වීමට හෝ ඡන්දය ඉල්ලන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.
ඔබේ පරපුරේ සංගීත ශිල්පීන් මේ වනවිට රියැලිටි වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලවලට සම්බන්ධව සිටිනවා.
ඔබට එවැනි අවස්ථාවක් ලැබුණොත්?
අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. නාළිකාව සහ වැඩසටහනේ ගුණාත්මක බව බලලා මගේ ප්‍රතිරූපයට හානි නොවන විදිහට මම ඒවාට සම්බන්ධ වෙනවා. මම දෙරණ ලිට්ල් ස්ටාර් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයක විනිශ්චය මණ්ඩලයකටත් සම්බන්ධ වෙලා හිටියා.
ප්‍රේක්ෂකයන් වෙනුවෙන් යමක් කිව්වොත්?
මේ වසරේ ඉතා ආරක්ෂාකාරීව ඉන්න කියලා තමයි මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නෙ. මේ අවුරුද්දේ කොරෝනාවලින් ආරක්ෂ වෙලා ඉවසීමෙන් වැඩ කළොත් ඉදිරි කාලය ලස්සනට ඉදිරියට යන්න පුළුවන්. රටක් විදිහට ඒ වගකීම ඉටු කරමු. පරිස්සමින් ඉමු.
ඉරේෂා කල්වාරි සේනාධීර