රෑනගල වලව්වෙන් හීනෙ හැබෑවුණා - තරුෂි පෙරේරා




මේ දිනවල විකාශ වන ටෙලිනාට්‍ය රැසකම තිර රචනාව සිදුවී තිබෙන්නේ කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය කලාකරුවන් අතින්මයි. ඉතින් ඒ තිර රචනාකරුවන් අතරට ජනප්‍රිය රංගන ශිල්පිනියක්ද එකතු වී තිබෙනවා. ඇය තමයි තරුෂි පෙරේරා. මේ දිනවල විකාශ වන ‘රෑනගල වලව්ව’ ඇයගේ නිර්මාණයක්. ඉතිං ඇය ඇගේ අලුත් තොරතුරු ගැන පුවත්පතකට මෙලෙස කියා තිබුනා.



 ‘රෑනගල වලව්ව’ ටෙලිනාට්‍යයේ කතා නායිකාවක් වෙලා නේද. එය ගැන මුලින් කතා කරමුද?

මගේ හිතේ තිබුණු සිහිනයක් තමයි මේ. ‘රෑනගල වලව්ව’ ටෙලිනාට්‍යයේ තිර පිටපත කාලෙක ඉඳලා සැලසුම් කරගෙන ලියපු කතාවක්. ඉතින් මේ දවස්වල ‘රෑනගල වලව්ව’ට ලැබෙන ප්‍රතිචාර ගැන මම සතුටු වෙනවා.


 වර්තමානයේ අපි දකින ටෙලිනාට්‍ය රැල්ලට ‘රෑනගල වලව්ව’ ගැළපෙයිද?

මේ දවස්වල විකාශ වන කොටස් කිහිපය කලින් කරපු කොටස් කිහිපයක්. නමුත් ඉදිරියේදී වර්තමාන සමාජයට ගැළපෙන විදියට කතාව ලියාගෙන යනවා. හැබැයි මේ යන රැල්ලට කරපු නිර්මාණයක් නෙවේ. එයට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. නුවර පැලැන්තියේ වලව් කතාවක් මූලාශ්‍රය කරගෙන තමයි මම ලියන්න හිතුවේ. මේ කතාව අවසානයේ සමාජයට ආදර්ශවත් කතාවක් වෙයි.


 ඔබ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් නිසා කතාව ලියන විට ඔබේ සහෝදර ශිල්පීන් නිතරම මතක් වෙන්න ඇති?

මම එහෙම කිසිම කෙනෙක් හිතේ තියාගෙන තිර පිටපත රචනා කළේ නැහැ. ‘දෙව්’ චරිතය තුළ ජීවත් වෙමින් රචනා කළා. හැබැයි චරිතයට ගැළපෙන සුවිශේෂම දක්‍ෂ රංගන ශිල්පීන් සම්බන්ධ කරගැනීමට හැකි වුණා.


 ‘රෑනගල වලව්ව’ නිර්මාණය කිරීමට නිෂ්පාදකවරුන් සෙවීමත් ඔබට අපහසු වෙන්නට ඇති?

පෞද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයකින් මගේ නිර්මාණය ඉල්ලලා තිබුණා. කියුට් ආර්ට් ආයතනය තමයි මෙය නිෂ්පාදනය කිරීමට බාර ගත්තේ. හැබැයි ඔවුන් කිසිම කෙනෙක් ලාබය ගැන කතා කළේ නැහැ. ඒ ආයතනයට ඕනෑ කරලා තිබුණේ හොඳ නිර්මාණයක් සමාජගත කිරීමටයි.


 ඔබගේ මීළඟ සැලැසුම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂිකාවක් වීමලු නේද?

ඔව්… මම මීළඟට කරන්න යන නිර්මාණයේ තිර පිටපත ලියලා ඉවරයි. එය මගේ අතින්ම නිර්මාණය කිරීමට අදහසක් තිබෙනවා. .තාම මම මේ ගමන පටන් ගත්තා විතරයි. හෙමිහිට මේ ගමන යනවා.


ඔබ කාර්යබහුල රංගන ශිල්පිනියක්. ඒ සියල්ලත් එක්ක මේ වැඩකටයුතු කරන්නේ කොහොමද?

මේ දවස්වල නීල පබළු, දෙවැනි ඉනිම, අකුරු මැකී නෑ ටෙලිනාට්‍ය සඳහා කාර්යබහුල වෙලා වැඩ කරගෙන යනවා. ඒ හැම දෙයක් එක්ක ගෙදර වැඩකටයුතුත්, පුතාගේ වැඩකටයුතුත් කරනවා. ඉතින් ඒ හැම දෙයක්ම සැලැසුම් ඇතිව වැඩ කළාම කිසි ප්‍රශ්නයක් නැතුව අනෙකුත් වැඩකටයුතු කරගෙන යන්න පුළුවන්.


වසන්ත විතාරණගේ






Previous Post Next Post