
මේ දිනවල ඔබ දේවි කුසුමාසන ලෙසින් ප්‍රේක්ෂක ආදරය විඳිනවා. කොහොමද ඒ අත්දැකීම?
ලැබෙන ප්‍රතිචාරත් එක්ක දේවි කුසුමාසන මේ දිනවල ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳගෙන කියල හිතෙනවා. විශේෂයෙන්ම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ලයිකා ප්‍රඩක්ෂන් එක්ක එකතු වෙලා වැඩිම වියදමක් දරලා කළ අති දැවැන්ත නිර්මාණයක් මේක. කුසුමාසන දේවිය පුළුල් තිරයේ දැක්කම මටත් ලොකු සතුටක් දැනුණා.
දේවි කුසුමාසන චරිතය උදාරිට අභියෝගයක් වුණාද කියල ඇහුවොත්?
කුසුමාසන දේවියවත් දෝන කතිරිනාවත් මට ඕන විදිහට හසුරුවන්න පුළුවන් චරිත නෙවෙයි. ඒවා ඉතිහාසයේ සැබැවින්ම ජීවත් වුණු චරිත නිසා මගේ අතින් ඒ චරිතවලට කැළලක් වේවිද කියන බය මට තිබුණා. ඒ නිසා ඒක මට ඇත්තටම අභියෝගයක් වුණා. එතැනදි චරිතය හරිහැටි හසුරුවන්න අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සහායක් ලැබුණා. මං ඒ අභියෝගය ජය ගත්තා කියල විශ්වාස කරනවා.
මංගල දර්ශනයට සහභාගි වුණු ඔබේ ක්ෂේත්‍රයේ මිතුරන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ගොඩක් අයගෙන් ලැබුණේ ධනාත්මක ප්‍රතිචාර. ඇත්තම කතාව මේකමද කියල අහපු අයත් හිටියා. ඇත්තටම මේක කුසුමාසන දේවියගෙයි කනප්පු බණ්ඩාරගෙයි ආදර කතාවත් එක්ක පටබැඳුණු කතන්දරයක් මිසක් ඔවුන්ගේ ජීවිත කතාවම නෙවෙයි. ඍණාත්මක ප්‍රතිචාර නම් ලැබුණෙම නැහැ.
සම්පූර්ණයෙන්ම මෙය රූගත වෙන්නේ රන්මිණිතැන්න ආශ්‍රිතව. ඒ අත්දැකීම කොහොමද?
ඇත්තටම හරිම වටිනවා අපේ ක්ෂේත්‍රයට ඒ වගේ තැනක් තියෙන එක. මේ කතාව ගත්තොත් ලයිට් කණුවක්වත් පේන්න පුළුවන් කාලවකවානුවක් නෙවෙයි. ඒ වගේම පැරණි මාලිගා නිර්මාණය කරන්නත් ඕන වුණා. ඒ පරිසරය තුළ හරිම පහසුවෙන් ඒ දේවල් ගොඩනඟාගන්න අපිට හැකියාව ලැබුණා.
ජයන්ත චන්ද්‍රසිරි වගේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් එක්ක මේ වගේ නිර්මාණයක් කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මං හරිම වාසනාවන්තයි ඒ වගේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්න ලැබුණු එකට. මේ මං ඔහුත් එක්ක කරන දෙවැනි චිත්‍රපටය. මීට කලින් මිදුණු විශ්වයට සම්බන්ධ වුණා. මං ඔහුට ස්තුතිවන්ත වෙනවා මං ගැන විශ්වාසය තියලා ඔහුගේ නිර්මාණවලට මාව සම්බන්ධ කරගන්නවට. සිනමා නිළියක් විදිහට ආපු මට සිනමාවෙන් හොඳම නිළියට සම්මානිත වෙන්නේ ඔහුගේ මිදුණු විශ්වය සිනමා නිර්මාණයෙන්. මට වෘත්තීය වශයෙන් වටිනාම ඇගැයීම ලැබෙන්නෙත් ඔහු නිසා. ඔහුට මං ස්තුතිවන්ත වෙන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.
මෙහි කොනප්පු බණ්ඩාර විදිහට ඔබට ආදරය කරන්නේ හේමාල් රණසිංහ. කොහොමද ඔහුගෙන් ලැබෙන සහයෝගය?
මම ඔහුත් එක්ක මීට කලින් චිත්‍රපට කිහිපයකම වැඩ කරල තියෙනවා. අපි දෙන්නගෙ සුසංයෝගය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් හොඳ නිර්මාණයක් බිහි කරන්න හේතුවක් වේවි කියන විශ්වාසයත් තියෙනවා. හේමාල් කියන්නේ චරිතය තුළ ජීවත් වන කෙනෙක්. හරිම සපෝටිව්. ඔහුගෙන් ලැබෙන සහාය මගේ චරිතය ඔප් නංවන්නත් හේතුවක් වෙනවා කියන විශ්වාසය මා තුළ තියෙනවා.
ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
හේමාල් සමඟ රංගනයෙන් දායක වන චමීර නාඔටුන්නගේ ‘වයිෆ්‘ සිනමාපටය තිරගත වීමට නියමිතයි. ඒ වගේම ජැක්සන් ඇන්තනී මහත්මයාවත් මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරනවා. ඔහුගේ අතිදැවැන්ත නිර්මාණ තුනක් එන්න නියමිතව තියෙනවා. ඒ සියල්ලේම ප්‍රධාන භූමිකාවෙන් දායක වෙන්නේ මං.
ඔබ නිතර නිතර විදෙස්ගත වන නිළියක්. කාර්යබහුලත්වය හමුවේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?
පහුගිය අවුරුදු දාහත පුරාවටම මං සැරින් සැරේ විදෙස්ගත වුණා. ඒ මගේ සැමියා සහ දියණිය සිංගප්පූරුවේ ඉන්න නිසා. ඔවුන්ට මාව අවශ්‍ය ඕනෑම වෙලාවක මං ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන්ගේ අවශ්‍යතාවන් මත වගේම රූගත කිරීම් නැති ඕනෑම වෙලාවක මං ඔවුන් බලන්න යනවා.
