ප්‍රදීප් රංගනගේ නමට ඉදිරියෙන් වෛද්‍ය කියන නාමය එකතු වුණු නිසා ඔහුගේ හඬින් ගයන රසවත් ගීත නිරන්තරයෙන්ම අහන්න ලැබුණේ නැහැ. ඉදහිට ඔහුට ආදරේ කරන රසිකයින්ට ඔහු ගී ගැයුවා පමණයි. ආදරණිය දියණියක් ඉන්න රංගන අලුත් ගීතයක් නිර්මාණය කරලා. දියණියත් බොහොම කැමති මේ ගීතය ගැන හා ඔහු ගැන ඔහු පුවත්පතකට මෙලෙස විස්තර තියා තිබුනා.
වෛද්‍ය වෘත්තිය නිසා ප්‍රදීප් අලුත් ගීත නිර්මාණය කරනවා අඩුයි නේද.?
ගීත එක දිගට නිර්මාණය කරන්න අවශ්‍යයි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා මගේ රසිකයින් වෙනුවෙන් ඉද හිට හෝ හොඳ නිර්මාණ කරන්න මම උත්සහ කරනවා. කරන නිර්මාණය හොඳ එකක් වෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා කාලය අරගෙන ගීත නිර්මාණය කරනවා. ඒ විදිහට අවුරුදු එකහමාරකට පස්සේ මම වීඩියෝ එකක් එක්ක ගීතයක් නිර්මාණය කළා.
ඒ ගීතය ගැන කිව්වොත්..?
පිවිතේ චාරිකා ගීතය තමයි නිර්මාණය කළේ. මේ ගීතයත් අනෙක් මගේ ගීත වගේම පද නිර්මාණය කරලා සංගීත නිර්මාණය කරලා ගායනා කරන්නේ මමමයි. මගේ ගීත මමම තමයි නිර්මාණය කරන්නේ. ඒ නිසා ගීතයේ සම්පුර්ණ කොලිටි එක ගැන මට හිතන්න පුළුවන්. මගේ අනෙක් ගීතවලට වඩා මේ ගීතය ටිකක් වෙනස්. මගේ හැඩය තියාගෙනම latin music, arabic , indian pop තුන එකතු කරලා ගීතය හැදුවා. මේ දවස්වල අපි හැමෝම කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක පිඩාවට පත් වෙලා ඉන්නේ.
වෛද්‍යවරයෙක් හැටියට එහි මානසික පීඩනය කොයි වගේද කියලා මම දන්නවා. ඒ නිසා මම කල්පනා කළා ගීත රසවිදලා පීඩනය අවම කරගන්න රසිකයින් වෙනුවෙන් මේ වගේ ගීතයක් නිර්මාණය කළොත් හොඳයි කියලා. ඒ නිසා තමයි වෙනස් ආරක් ගත් ගීතයක් කළේ. මේ ගීතය නිර්මාණය කරලා ටික දවසක් ගත වුණා.
වෙනස්ම ආරක ගීතයක් නිසා ලැබුණු ප්‍රතිචාර කොයි වගේද.?
ගීතයට එක එක විදිහට ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනෙක් ගීතයේ වෙනසට කැමති බව තමයි කියලා තිබ්බේ. ඒ ප්‍රතිචාරවලින් මම හිතනවා මගේ වෙනස සාර්ථක වෙලා තියෙනවා කියලා.
ඔබේ ආදරණිය දියණියට තවම අවුරුද්දයි මාස දෙකයි. ඇයත් මේ ගීතය නිතරම රසවිදිනවා කියලා ආරංචියි?
ශාධරි යශෝරියා තමයි මගේ දුව. මම ගීත කිහිපයක් නිර්මාණය කරලා මොන ගීතයද මුලින්ම එළිදක්වන්නේ කියලා හිත හිතා හිටියා. ඒ ගීත මම වාහනේ යන එනකොට අහනවා. දවසක් මගේ බිරිඳ වෙළෙද සැලකට ගියා දුවව මට ටිකක් බලාගන්න කියලා. මම දුවත් එක්ක වාහනේ හිටියේ. බිරිද බැහැලා ගිහින් ටික වෙලාවක් යද්දී දුව අඬන්න පටන් ගත්තා. නළවගන්න එක එක දේවල් කළා, සින්දු දැම්මා ඒත් නැළවෙන්නේ නැහැ. අඬන එක නතර කරන්නෙත් නැහැ. එකපාරටම ජිවිතේ චාරිකා මගේ මේ ගීතය වාදනය වුණා.
එකපාරටම එයාගේ ඇඩිල්ල නතර වෙලා මේ ගීතයට ඇහුම්කන් දෙනවා කියලා එයා හිටපු ඉරියව්වලින් තේරුණා. ඒ ගීතය වාදනය වෙලා අවසන් වෙනවත් එක්කම මෙයා ආයෙමත් අඩන්න පටන් ගත්තා. මම අයෙමත් මේ ගීතය ආදී මුලින් තිබ්බ ප්‍රතිචරමයි තිබ්බේ. ඊට පස්සෙන් මම බිරිඳ එනකල් ඒ ගීතයම වාදනය කළා. ඒ වෙනකොට දුවට මාස අටක් විතර ඇති. ඊට පස්සේ මම තීරණය කළා මේ ගීතය ඉක්මණින් එළිදක්වන්න. දැන් දුවව නලවගනෙත් මේ ගීතය දාලා තමයි. මම හිතන්නේ එයාටත් ඒ ගීතය දැනෙනවා ඇති.
ඔබේ මහවැස්ස ගීතය තුළත් ලොකු අර්ථයක් ලියැවිලා තියෙනවා, වෛද්‍යවරයෙක් නිසාද දැන් ගීත නිර්මාණය කරද්දී ගීතයේ අර්ථය ගැන සැලකිලිමත් වෙන්නේ.?
එක පැත්තකින් බලපෑමක් තියෙනවා. මම දැන් වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන්නේ බලන්ගොඩ මරතන රෝහලේ. මේ ග්‍රාමීය තුල ජිවත් වෙන්නේ වතු ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව. බොහෝ දෙනෙක් එදාවේල හම්බකරලා කන අය. ඇතැම් පිරීමි ඒ උපයන මුදලින් මත්පැන් පානය කරනවා. දුම්වැටියට ලොල් වෙලා ඉන්නේ. මත්පැන්, මත්ද්‍රව්‍ය , දුම්පානය, කියන කාරණාව එක්ක අපේ දරු පරපුර විනාශ වෙනවා. පවුල් විනාශ වෙනවා. පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. මම වෙදවරයෙක් හැටියට ඒ වගේ බලපෑම් වලින් අසරණවූ රෝගීන් රෝහලට ආවම කතාබහ කරලා තියෙනවා. ඒ නිසා තමයි මහවැස්ස කියන ගීතය බිහි වුණේ. ඒ ගීතයෙන් කියවෙන්නේ පියාගේ මත්පැන් භාවිතය නිසා බිරිදට හා දරුවන්ට අත්වූ ඉරණම ගැන. අවසානයේ අම්මා තාත්තා මොනදේ කළත් බලපෑම එන්නේ දරුවන්ට. වෙදවරයෙක් වීම නිසා මම එක එක අත්දැකීම් වලට මුහුණ දෙනවා. ඒ අත්දැකීම් එකතු කරලා මම නිර්මාණ කරන්න උත්සහ කරනවා. ඉන් සමාජයට පණිවිඩයක් දෙන්න තමයි මම උත්සහ කරන්නේ.
මේ යන රැල්ලට ගීත නිර්මාණය කරන්න කැමැත්තක් නැහැ වගේ නේද.?
මගේ ගීත කිහිපදෙනෙක් බැලුවත් ඇසුවත් කමක් නැහැ. මගේ දරුවා එක්ක එකට වාඩි වෙලා රසවිදින්න පුළුවන් ගීත තමයි මම නිර්මාණය කරන්නේ. මටම වූ රසිකයින් පිරිසක් ඉන්නවා. ඒ රසිකයින් වෙනුවෙන් මම ගීත නිර්මාණය කරනවා. එහෙම නැතිව රැලට ගහගෙන යන මගේ කැමැත්තක් නැහැ. මොකද ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය කියන එක තාවකාලිකයි. ඒක කොයි මොහොතේ ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එකම මට්ටමට තියෙන්නෙත් නැහැ. ඒ නිසා මට ගැළපෙන ගීත කරමින් මම මේ ගමන යනවා.
ඔබ ස්වයං වාරණයක් දාගෙන ඉන්න එකට වෛද්‍ය වෘත්තිය හේතුවක් වන්න ඇති නේද?
ඔව්. මම ඒක වෛද්‍යවරයෙක් විතරයි මේ වෘත්තියට. හැමෝම ගරු කරන ඒ වෘත්තිය කෙළෙසන මම කටයුතු කරන එක හරි නැහැ. සමාජයට යහපතක් කරන්නයි අපි කලරුවෙඹ විදිහට හිතන්න ඕන. ඒ නිසා මම සීමාවක් දාගෙන මේ ගමන යනවා.
ඔබේ රැකියාව එක්ක කාර්යබහුල වුණත් ඔබ තවමත් කටහඬ පුහුණුවීම් එහෙම කරනවා කියලා ආරංචියි?
මම දිනපතාම නැගිටලා කටහඬ පුහුණුවීම් වගේම breathing exercise කරනවා. උදේට වෙනත් වැඩක් වැටුනොත් විතරයි මට ඒ දවසේ එය අතපසු වෙන්නේ. මම සංගීතයට බොහොම ආදරේ කරනවා. ගරු කරනවා. ඒ නිසා මොන වැඩේ තිබ්බත් සංගීතයටත් සම්බන්ධ වෙනවා.
කාර්යබහුල ජීවන රටාවක් ඇති ඔබට බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු.?
මගේ බිරිඳ නැත්තම් මම වෛද්‍යවරයෙක්වත් ගායකයෙක්වත් වෙන්නේ නැහැ. මේ රැකියාවන් දෙකේ මානසික මට්ටම් දෙකක් තියෙන්නේ. වෛද්‍යවරයා කියන භූමිකාව එක්ක මම සම්පුර්ණයෙන්ම පිඩනයකින් හා වගකීමකින් කටයුතු කරන්නේ. ඒක වෘත්තියේ භාවය. ඉන් පිටට ඇවිත් සංගීතය එක්ක ඉන්නකොට මම සැහැල්ලුවෙන් නිදහසේ ඉන්නේ. ඒක වෙනම ලෝකයක්. ඉතින් මේ දෙකෙන්ම වෙනස තේරුම් අරගෙන පවුල් සංස්ථාව සාර්ථක කරගන්න ඇය මට ගොඩක් උදව් කරනවා.