මං පස්ස දොරෙන් ගිහින් ඇමතිකං ගන්නෑ - රාජිත


ජනාධිපතිවරයා හමු වී අමාත්‍යධූරයක් ලබා ගැනීමට යන බවට විවිධ මාධ්‍ය මගින් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ බහුතරය සූදානම් බවත් එය හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ පෙන්වීම තම අභිලාෂය බවත් ඔහු පවසා තිබේ.

ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම 2015 ජනවාරි 8 වැනිදා යහපාලනයක් සදහා චන්දය දුන් 62 දෙලක්ෂයක් ජනතාවගේ

පැතුම් වලට විරුද්ධ කිසිම කුමන්ත්‍රණයකට තමා කිසිවිටෙකත් අනුබල නොදෙන බවත් පසුපස දොරෙන් ගොස් ඇමතිකමක් ගෙන ප්‍රජාතන්ත්‍රවාදය පාවා දීමට තමා කිසිවිටෙකත් කටයුතු නොකරන බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
තමා සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී විවිධ ජාවාරම්කාර සමාගම් වලට මෙන්ම දුම්කොළ සහ ඖෂධ මාෆියාවන්ට යට නොවී අන්ත දූෂිතයන්ට, හොරුන්ට, ජාවරම්කරුවන්ට එරෙහිව සටන් කල අතර විවිධ ජීවිත තර්ජන මැද බාධක මැද දුම්කොළ නිෂ්පාදන වලට දැඩි නීති පනවමින් ඖෂධ මිල අඩු කලේ ජනතාව වෙනුවෙන් බවත් වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
තමා කිසිවිටෙකත් ජාවාරම්කාර සමාගම් වල ඕනෑඑපාකම් වලට අවනත නොවූ හෙයින් ඔවුන්ගේ කළු සල්ලි යොදවා සමහරක් මුදලට විකිණෙන බංකොලොත් දේශපාලුවන් ඔවුන්ගේ හෙන්චයියන් මෙන්ම මුදලට විකිණෙන සමහරක් මාධ්‍යකරුවන් ලවා අසත්‍ය ප්‍රචාරයන් මාධ්‍ය හරහා ප්‍රචාරය කරන බවත් එම අවලාදයන්ට මඩ ප්‍රචාරයන්ට තමා කිසිවිටෙකත් බිය නොවන බවත් වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. තමා ඉදිරියට කටයුතු කරන්නේ ජාවාරම්කරුවන් ජාවාරම්කාරයන්ට කළු සල්ලි වලට ගිජු බංකොලොත් දේශපාලන අතකොලු, සමහරක් මාධ්‍යකරුවන්ට අවශ්‍ය ආකාරයට නොවන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරිමට පමණක් බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය. එබැවින් මොවුන් විසින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලාංකීය ජනතාවගෙන් වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉල්ලයි.

Previous Post Next Post