මව් පදවියට නිගා දෙමින් දරුවන් තනිකර අයාලේ යන මව


දරුවන් තිදෙනා කෘරත්වයට පත්කර මාස ගණනාවක් අයාලයේ ගිය තරුණ මවකගෙන් දරු තිදෙනා හමුවට යෑමට කැමැති දැයි මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී විමසූ අවස්ථාවේ දරුවන් එපා කී සැකකාර මව තවදුරටත් ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා නියෝග කළේය.

අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාරිය අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මඟින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්  කළ අවස්ථාවේ විනිසුරුවරයා මෙම  නියෝගය නිකුත් කළේය.

තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත

කෙරුණේ අනුරාධපුර විමුක්ති මාවතේ පදිංචි තිස් හතර හැවිරිදි විවාහක තිදරු මවකි. ඇයගේ සැමියා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පසුගිය 2017 වසරේ නොවැම්බර් මස කළ පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණවලින් පසුව අයාලයේ යමින් සිටි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ ළමා හා කාන්තා කාර්යාංශය කියා සිටියේ සැකකාරිය කීරීක්කුළම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සිටින බවට ලැබුණු රහසිගත තොරතුරක් මත එම ස්ථානය වටලා ඇය අත්අඩංගුට ගත් බවයි. සැකකාර්යට වයස අවුරුදු හතරක දියණියක් හා පාසල් වයසේ පසුවන වයස අවුරුදු 11-15 ක පිරිමි දරුවන් දෙදෙනකු සිටින බවත් මවු සෙනෙහස අවශ්‍ය  බව ඔවුන් පැවසුවත් සැකකාරිය ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාරියගේ වැඩිමහල් පුත්‍රයා විසින් පොලිසියට  ප්‍රකාශයක් කරමින් මව නොමැති නිසා නගී හා මල්ලී හඬා වැටෙන බවත් ඒ නිසා අම්මා ගෙනැවිත් දෙන ලෙසත් ඉල්ලමින් පොලිසියට ප්‍රකාශයක් කර තිබෙන බවත්  පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා තිබිණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දරුවන් සහ සැමියා සමඟ නැවත එකට කාලය ගත කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවත් දරුවන් තිදෙනා පිළිබඳව සිතා තීරණයක් ගන්නා ලෙසත් විනිසුරුවරයා විවෘත අධිකරණය අමතමින් පැවසුවේය.

නැවතත් දරුවන් හා සැමියා සමඟ තමන්ට ජීවත්වීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි සැකකාරිය විවෘත අධිකරණයේදී පැවැසීම නිසා ඇය අප්‍රේල් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.


Previous Post Next Post