
අවිශ්කා මේ දවස්වල පුංචි තිරයේ දකිනවා අඩුයි නේද ?
මේ දවස්වල දෙරණ නාළිකාවේ තුෂාර තෙන්නකෝන්ගේ නිකිණි කුසුම් ටෙලි නිර්මාණය විකාශය වෙනවා. දිල්කි කියන්නේ ප්‍රධාන වශයෙන් දිවෙන චරිතයක් නිසා සතියේ දින පහේම ප්‍රේක්ෂකයන් මාව දකිනවා. ඒ නිසා අඩුවෙන් දකිනවා කියන්නත් බෑ. ඊට අමතරව ගුවනිගේ මතකය අලුත් කරමින් හිතුවක්කාර ටෙලි නිර්මාණය මේ දිනවල නැවත විකාශය වෙනවා. ගුවනි කියන්නේ එදා වගේම අදටත් ආදරණීය ප්‍රතිචාර ලැබෙන චරිතයක්. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙන එකක් නැහැ කියල හිතනවා.
නෙතුෂි කියන්නෙ ඔබේ රංගන ජීවිතයේ ලොකුම පෙරළිය කළ චරිතය කිව්වොත් ?
නෙතුෂිටත් වඩා මං හිතන්නේ මාව ප්‍රේක්ෂකයන් අතරට ගියේ හිතුවක්කාරී ටෙලි නිර්මාණයේ ගුවනි නිසා. ඒ වගේම සංගීතේ ටෙලි නිර්මාණයේ මල් කඩේ මිස්ටත් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. රෝස සුදුයි ආදරියේ ටෙලි නිර්මාණයේ නෙතුෂි කොතරම් නපුරු වුණත් වැඩිපුරම ලැබුණේ ආදරය. නෙතුෂිගේ චරිතය ගොඩක්ම ප්‍රේක්ෂකයන්ට දැනුණේ ඒක විලන් කැරැක්ටර් එකක් නිසා කියලයි මට දැනෙන්නේ. අහිංසක චරිතවලින්ම මාව දැකපු ආදරණීය ප්‍රේක්ෂකයන්ට මගේ නපුරුකම තදින්ම දැනෙන්න ඇති. ඒ වෙනසටත් බොහෝ දෙනෙක් ආදරේ කළා.
අවිශ්කාට නෙතුෂිගේ නපුරුකම් කරන්න ලේසි වෙන්න නැතුව ඇති නේද?
ඇත්තම කිව්වොත් ගොඩක් අමාරු වුණා. සමහර දවස්වල නෙතුෂි වගේ මට නපුරු වෙන්න බැරිව සීන්ස් නවත්තපු අවස්ථාත් තිබුණා. සාමාන්‍ය ජීවිතයේ මං අහිංසකයි කියල කියන්නෙත් නැහැ. ඒත් මං මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ නිසා නෙතුෂි මට ලොකු අභියෝගයක් වුණා කිව්වත් හරි. ඒ කොහොම වුණත් මම ඒ තිරපිටපතට උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. ඒකට පුදුමාකාර ආදරයක් ලැබුණා. ඒ වෙනසට, ඒ නපුරුකමට ආදරය කළ බොහෝ පිරිසක් හිටියා. ඒ නිසා ආදරය ලබන්න පුළුවන් විලන් කැරැක්ටර් එකක් කරන්න ලැබීම මට ලොකු සතුටක්.
රෝස සුදුයි ආදරියේ ටෙලි නිර්මාණයේ ‘ඇහි දාර පවා නුඹ සෙව්ව නිසා’ ගීතය දිගු කාලයක් ට්‍රෙන්ඩින් වුණා. එහි කොටස්කරුවෙක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඒක තාමත් බොහෝ දෙනා අහන, අලුතින් අහන්න පිරිස එකතු වන ගීතයක්. මේ ටෙලි නිර්මාණයේ ගීත දෙකක් අපි එළියට දැම්මා. ‘ඇහි දාර පවා’ ගීතයට මේ තරම් ප්‍රතිචාරයක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් හිතුවෙ නැති විදිහට එක එකපාරටම ට්‍රෙන්ඩින් වුණා. පද පෙළ, සංගීතය, ගායනය, රංගනය මේ හැම දෙයක්ම ඒකට හේතු වෙන්න ඇති. එහි කොටස්කරුවෙක් වෙන්න ලැබීම ගැන මටත් ලොකු සතුටක් දැනෙනවා.
ගුවනි කියන්නේ ඔබට සමීපතම චරිතයක්. ඒත් නෙතුෂි ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ වෙනස ඔබ දකින්නෙ කොහොමද?
ගුවනි මට සමීපම චරිතයක් කියන්නත් බැහැ. සාමාන්‍යයෙන් මම ඉන්න විදිහයි ගුවනියි අතර සමානකම් තියෙනවා. ගුවනිගෙ අහිංසකකමට ප්‍රේක්ෂක ආදරේ ගොඩක් ලැබුණා. ඒ වගේම නෙතුෂිගෙ නපුරුකමටත් ඒ තරම්ම ආදරේ ලැබුණා. වෙන විලන් කැරැක්ටර්ස්වලට වගේ මට ලොකුවට බැණුම් අහන්න වුණේ නැහැ. නෙතුෂිගෙ ඒ නපුරුකමට සමහරු ආදරේ වුණා. මුලදි නපුරු වුණත් අන්තිමට ඇය හොඳ කෙනෙක් වුණු නිසා ද මන්දා වැඩිපුරම ලැබුණෙ ආදරය. විලන් කැරැක්ටර් එකකට වුණත් මිනිස්සු ආදරේ කරන අවස්ථා තියෙනවා. අහිංසකකමටයි නපුරුකමටයි දෙකටම ආදරය ලැබීම මගේ ලොකු වාසනාවක්.
පහුගිය දවස්වල අවිශ්කා රංගන කටයුතුවලින් ඈත්වෙලා ඉන්න විශේෂ හේතුවක් තිබුණ ද?
නැහැ. එහෙමම කලා කටයුතුවලින් ඈත් වෙලා හිටියෙත් නැහැ. මම පැජන්ට් එකකට සූදානම් වෙන නිසා පොඩ්ඩක් කාර්යබහුල වුණා. ඒ අතරේත් ටෙලි නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. තව මගේ අධ්‍යාපන කටයුතුවලටත් කාලය වෙන්කරන්න වුණු නිසා දින වෙන්කර ගැනීමේ පොඩි ගැටලුවක් තිබුණා. ඒ නිසා පොඩි විවේකයක් ගත්තා. නමුත් ෆොටෝ ෂූට්ස්වලට සම්බන්ධ වුණා. මේ දිනවල තවත් ටෙලි නිර්මාණයක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒකත් අගෝස්තුවල විකාශය වේවි. ඊට අමතරව පැජන්ට් එකේ වැඩකටයුතුවලට තමයි වැඩිපුරම කාලය යොදවන්නේ. ඉදිරියේදී දිගටම කලා ක්ෂේත්‍රයේ නියැළෙන්න බලාපොරොත්තු වෙනවා.
