
සාරා ගැන විස්තර ටිකක් කිව්වොත්?
මම පදිංචිවෙලා ඉන්නෙ මහනුවර. වයස අ.වු. 23 යි මානව සම්පත්කරණ විෂයදාරාවෙන් උපාධිය අවසාන කරලා ඉන්න අතරතුර නිළියක් විදිහට කටයුතු කරනවා.
රංගනයට ආවේ කොහොමද?
පුංචි කාලෙ ඉඳලා රඟපාන්න කැමැත්තක් තිබුණා. හැබැයි අධ්‍යාපන කටයුතුවලට කාලය වෙන්කරපු නිසා පාසල් කාලයේදි රංගන ක්ෂේත්‍රයට එන්න උනන්දුවක් තිබුණෙ නැහැ. පාසල් අධ්‍යාපනය සහ උපාධිය අවසාන කරලා ඉන්නකොට මට ආරංචි වුණා රොන් සොයා ටෙලි නාට්‍ය වෙනුවෙන් රඟපාන්න නළු නිළියො තෝරගන්න තිර පරීක්ෂණයක් තියනවා. ඉතින් අම්මා එක්ක නුවර ඉඳලා කොළඹ ඇවිත් තිර පරීක්ෂණයට සහභාගි වුණා. තිර පරීක්ෂණයට සහභාගිවෙනකොට මම හිතුවෙ නැහැ තේරෙයි කියලා. හැබැයි තිර පරීක්ෂණයෙන් මාසෙකට පස්සෙ රොන් සොයා නිෂ්පාදන කණ්ඩායම මට දැනුම් දුන්නා සාරාගේ චරිතයට මාව තෝරගත්තා කියලා.
සාරා සැබෑ නමින්ම රොන් සොයා ටෙලි නාට්‍යයේ රඟපානවා..
මගේ ඇත්ත නමින්ම රොන් සොයා ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබීම භාග්‍යයක්. රොන් සොයා ටෙලි නාට්‍යයේ සාරා සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න එඩිතර, ටිකක් නපුරු වගේම හිත හොඳ ගෑනු ළමයෙක්. ටෙලි නාට්‍යවල නිතර දකින අහිසංක ප්‍රේමවන්තියට වැඩිය මේ වෙදිහෙ එඩිතර චණ්ඩි චරිතයකින් මුලින්ම රංගන ක්ෂේත්‍රයට එන්න ලැබීම මගේ රංගන හැකියාව පුළුල් විදිහට ඉදිරිපත් කරන්න ලැබුණ අවස්ථාවක් විදිහටයි මම දකින්නෙ. ඒ වෙනුවෙන් රොන් සොයා අධ්‍යයක්ෂ නිවන්ත ප්‍රසාර සර්ට ස්තුතිවන්ත වෙනවා.
මුලින්ම රඟපාපු අත්දැකීම කොහොමද?
සාරාගේ චරිතය එඩිතර චණ්ඩි එකක් නිසා මට රඟපාන්න ලේසි වුණා. කොල්ලො එක්ක හුරතල් වෙන ආදරය කරන චරිත රඟපාන්න මම ලැජ්ජයි. ඊට වැඩිය චණ්ඩි චරිත මට ලේසියෙන්ම රඟපාන්න පුළුවන්.
සැබෑ ජීවිතයෙදි චණ්ඩි කෙල්ලෙක්ද?
රොන් සොයා ටෙලි නාට්‍යයේ සාරා වගේම සැබෑ ජීවිතයේ මමත් තරමක් එඩිතර, අසාධාරණය වෙනුවෙන් නිතරම ඉදිරියට ඇවිත් සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. හැබැයි රොන් සොයා ටෙලි නාට්‍යයේ සාරා තරම් නපුරු ගතිගුණ තියන ගහගන්න යන කෙනෙක් නම් නෙමෙයි.
සාරාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සාරාගේ එඩිතරකම සහ චණ්ඩිකම නිසා ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොල්ලෙක්ට හයියක් වෙන මේ වගේ කෙල්ලෙක් තමයි පෙම්වතිය වෙන්න ඕන කියලත් සමහර රසිකයෝ කියනවා.
පවුලෙ අයගෙන් රංගන ජීවිතයට ලැබෙන සහයෝගය කොහොමද?
පවුලෙ ඉන්නෙ අම්මයි අප්පච්චියි මල්ලිලා දෙන්නයි. මට නිළියක් වෙන්න ඕන කිව්වහම එයාලා ගොඩක් සතුටු වුණා. මුලින්ම මම රූගතකිරීම්වලට එනකොට අම්මත් දර්ශනතලවලටත් ඇවිත් ලොකු සහයෝයක් දුන්නා. මාව රූපවාහිනියෙ නිළියක් විදිහට දකිනකොට එයාලට ගොඩක් සතුටුයි කියලා මට කියලා කියනවා.
නවක නිළියක් විදිහට බලාපොරොත්තු මොනවද?
මානව සම්පත් විෂය ධාරාවෙන් උපාධිධාරිනියක් වුණාට දැන් මම කැමැති රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඉතින් රංගනයේදි මගේ අඩපාඩු දුර්වලකම් අඳුරගෙන ඒවා නිවැරදි කරගෙන රඟපාන්න පුළුවන් හැකියාව තව දියුණු කරගෙන චරිතාංග නිළියක් විදිහට රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
රොන් සොයා ටෙලි නාට්‍යයේදි චණ්ඩි සාරා වුණාට සමාජ මාධ්‍යවලදි සරාගී සාරා විදිහට ප්‍රසිද්ධයි..
ඇඟේ සිහින් හැඩය සහ පෙනුම මත Tiktok, Instagram, Facebookවල ඉන්න රසිකයෝ මාව සරාගිනියක් විදිහට හඳුන්වනවා. අනිත් අය අතරෙ කැපිලා පෙනෙන සරාගී ආකර්ෂණයක් තිබීම ගැහැනු ළමයෙක්ට ආභරණයක් කියලා මම විශ්වාස කරනවා.
සාරාට සරාගී පෙනුම ලැබුණෙ කොහොමද?
රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කරලා කෘත්‍රිමව හදාගත්ත පෙනුමක්වත් පාටක්වත් මට නැහැ. උපතින් උරුම වුණ ස්වභාවික පෙනුම විතරයි මට තියෙන්නෙ. ඒ විදිහට උපතින් ස්වභාවිකව ලැබුණ පෙනුම තමයි සරාගී කියලා හැමෝම අගය කරන්නෙ.
විලාසිතා කරන්න මොන කැමැති විදිහටද?
ඇඟේ හැඩයට සහ අවස්ථාවට ගැළපෙන විදිහට මම විලසිතා කරනවා. දිග ඇඳුම් අඳින්න ඕන අවස්ථාවලදි දිග ඇඳුමුත් කොට ඇඳුම් අඳින්න සුදුසු ස්ථානවලට කොට තරමක් විවෘත ඇඳුමුත් මම අඳිනවා.
විලාසිතාවලදි සරාගීකම ගැන හිතනවද?
ජාත්‍යන්තර විලසිතාවලට සමගාමීව අලුත්වෙන විලාසිතා ඇඟේ හැඩයට අනුව මම අඳිනවා. දකින කෙනෙක්ට ඒ විලාසිතා ඇඟ පේන සරාගී විලසිතා කියලා හිතන්න පුළුවන්. නමුත් මම සරාගීව ඇඟ පෙන්නන අරමුණින් විලසිතා කරන්නෙ නැහැ. ගෑනු ළමයෙක් විදිහට තරුණ කාලෙදි ඇඟේ හැඩයට ගැළපෙන විදිහට අලුත් විලාසිතා කරලා ලස්සනට ඉන්න ඕන කියන සිතුවිල්ලෙනුයි මම විලාසිතා කරන්නෙ.
