මම කැමැති නැටුම් ටීචර් කෙනෙක් වෙන්න- ට්‍රිනිටි ක්ලියාරා

gossiplanka image 2
මේ දවස්වල ‘‘මායාවී” ටෙලි නාට්‍යයේ මනමාලි අම්මා එක්ක හුරතල් වෙන කටකාර පුංචි අරලියා ඔබට නුපුරුදු කෙනෙක් නම් නොවේ. ‘විසේකාරී, ජානු, දියණි, සිත නිදි නෑ‘ වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් හරහා ඔබේ ආදරය දිනා ගත් ඇය නමින් ට්‍රිනිටි ක්ලියාරාය.


හෙලෝ, ට්‍රිනිටි කොහොමද ඔයාට ?


හොඳින් ඉන්නවා. පාසලේ අධ්‍යාපන කටයුතුත් එක්ක මේ දවස්වල ‘සිත නිදි නෑ, මායාවී, විසේකාරී‘ කියන ටෙලි නාට්‍ය තුනේම රූ ගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව අලුත් නිර්මාණයක රූගත කිරීම්වලට සහභාගී වෙනවා.


කොහොමද මෙච්චර වැඩ ගොඩක් ඔයා ඉස්කෝලේ වැඩත් එක්ක කරන්නේ, අමාරු නැද්ද ?



ඔව්… ටිකක් අමාරුයි. ඒත් මම පාසල් වැඩවලට මුල් තැන දීලා ඒ වැඩ හරියට කරනවා. පංති භාර ගුරුතුමියත් මට ගොඩක් උදව් කරනවා මඟ හැරෙන පාඩම් වැඩ කරගන්න. මම ඉගෙන ගන්නේ Pollymath ජාත්‍යන්තර පාසලේ තුන ශ්‍රේණියේ. දොළහමාරට ඉස්කෝලේ ඇරෙනවා. රූගත කිරීම්වලට යන්නේ ඊට පස්සේ. මට මඟහැරෙන පාඩම් කවර් කරන්න තව ගුරුතුමියක් ගෙදරට එනවා.


ට්‍රිනිටි ඔයා නාට්‍යවල දෙබස් පාඩම් කරන්න ගොඩක් මහන්සි වෙනවා ඇති?


අපෝ නෑ. ලොකේෂන් එකට ගියාම රූගත කිරීම් පටන් ගන්න කලින් එක සැරයක් මං පිටපත බලා ගන්නවා. ඊට පස්සේ මට ඒවා හොඳට මතක හිටිනවා. මගේ ඒ දක්ෂකමට හැමෝම හරි කැමැතියි. ‘සිත නිදි නෑ‘ ටෙලි නාට්‍යයේදී එහෙම මට කැමැති විදියට වචන දාලා කතාවේ තේරුම මතු වෙන විදියට දෙබස් කියන්න නිදහස දීලා තියෙන්නේ. මම දෙබස් කියන විදිහට හැමෝම කැම­ැතියි.


ඔයා රඟපාපු පළවෙනි ටෙලි නාට්‍යය මතකද ?


ඔව්, හර්ෂ උඩකන්ද මාමාගේ ‘දියණි‘ ටෙලි නාට්‍යය. ඒ ටෙලි නාට්‍යයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ ලලිත් පැරකුම් සර් හරහා. ඔහු තමයි මගේ නර්තන ගුරුවරයා. එතකොට මට වයස අවුරුදු පහයි. සර් තමයි මගේ දක්ෂකම මුලින්ම දැක්කේ. එදා සර් මං ගැන කියපු දේවල් අද හැබෑ වෙලා තියෙනවා.


ක්ෂේත්‍රයේ ප්‍රවීණ නැන්දලා මාමලාගෙන් ලැබෙන සහයෝගය ගැනත් අපි මතක් කරමු?



දමයන්ති ජයසූරිය නැන්දා මගෙ දක්ෂකම දැකලා දවසක් කීවා මේක මගේ උපන් හැකියාවක්, ඒක මට විශ්වයෙන් ලැබුණු දායාදයක් කියලා. මම රඟපාන හැම නාට්‍යයකම නාට්‍ය කණ්ඩායමේ හැමෝම මට උදව් කරනවා. ප්‍රවීණ නැන්දලා මාමලා හැමෝම හරිම මිත්‍රශීලීව මගේ අඩුපාඩු කියලා දීලා මට උදව් කරනවා.


ඔයාට මොනවද තව තියෙන දක්ෂතා ?


මට හොඳට නැටුම් පුළුවන්. අවුරුදු පහේ ඉඳලා මම නැටුම් පටන් ගත්තේ. වයස අවුරුදු අටෙන් පහල තරග කාණ්ඩයක් යටතේ මෑතකදී මම සමස්ත ලංකා පළමු තැන දිනා ගත්තා. ඒ වගේම මම ජිම්නාස්ටික් කරනවා. පාසලේ ජිමිනාස්ටික් කණ්ඩායමේ සාමාජිකාවක්. මැලේසියාවේ පවත්වපු ජිම්නාස්ටික් තරගාවලියකින් මට තුන් වැනි ස්ථානය ලැබුණා.


ට්‍රිනිටිට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිත වලටද ?


මේ දවස්වල නම් ‘විසේකාරී‘, ‘මායාවී‘ ටෙලි නාට්‍ය දෙකේම මං කරන චරිතවලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ‘සිත නිදි නෑ‘ නාට්‍යයේ ‘අමේලිගේ‘ චරිතයටත් ගොඩක් අය ආදරෙයි.


ඉදිරියට එන්න නියමිත නිර්මාණත් තියෙනව ද ?


ඔව්, මිහිර සිරිතිලක මාමාගේ නිර්මාණයක් ඉස්සරහට විකාශය වෙන්න තියෙනවා. ඒක හරිම ලස්සන වලව් කතාවක්. නුවර තමා රූගත කිරීම් කෙරුණේ. ඒ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් මම කරන්නේ.


රූගත කිරීම් වලදී සිද්ධ වුණු අමතක නොවෙන සිදුවීම් ගැනත් කියන්නකො?



‘අළු පාට දේදුනු‘ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලදී එක සීන් එකකට මට පිටු තුනක දෙබස් කියන්න තිබුණා. මට ඒක දැක්කම කියන්න තියෙන දෙබස් දිග වැඩි නිසා කරන්න බෑ කියලාමයි හිතුණේ. ඉතින් මම ඇඬුවා. මාත් එක්ක රඟපාන්න හිටපු උදාරි නැන්දයි, අධ්‍යක්ෂ මාමයි සෑහෙන මහන්සි වුණා මේ වැඩේට මාව කැමැති කරවා ගන්න. කැමැති ඕනෑම කෑමක් ගන්න කීවම මං අයිස් ක්‍රීම් එකක් ගත්තා. මේ වැඩේ හරියට කෙරුවොත් මම ආස තැනකින් කන්න අරන් දෙනවා කියලා කීවා. මට හරි සතුටු හිතුණා ඒක ඇහුවම. ඉතින් මං, හා කරමු කියලා ඒ දෙබස් සේරම ටික එක සැරෙන්ම ගත්තා. අදටත් ඒ නාට්‍ය කණ්ඩායමේ හිටපු කෙනෙක් මට හම්බණොත් “ට්‍රිනිටි අපි කන්න යමු ද?“ කියලා තමයි අහන්නේ.


තව එක සිද්ධියක් කියන්නම්. ‘දියණි‘ ටෙලි නාට්‍යයේ හිටියා ජනිත් කියලා කැමරා ඇසිස්ටන් මාමා කෙනෙක්. එයා තමයි මගේ හොඳම යාළුවා. අදටත් මම ඒ මාමට හරිම ආදරෙයි. එයා ඒ රූගත කිරීම් දවස්වල මට ටොෆි, චුයින්ගම් එහෙම ගෙනත් දෙනවා. දවසක් මට ඇස් දෙක පියාගෙන කට අරින්න කියලා ලුණු අහුරක් කටට දැම්මා. මං එදා ඇඬුවා. එයා අනික් අතේ ටොෆිත් තියාගෙන තමයි ඉඳලා තියෙන්නෙ.


අනාගත බලාපොරොත්තුව ?


රඟපෑමත් කරගෙන ජිමිනාස්ටික් එක්කම නැටුම් ටීචර් කෙනෙක් වෙන්න තමයි කැමැති. ලලිත් පැරකුම් සර්, හර්ෂ උඩකන්ද මාමා තමයි මගේ හැකියාවන් දැකලා මේ ක්ෂේත්‍රයට එන්න මුලින්ම පාර හදලා දුන්නේ. ඊට අමතරව මේ තාක් කල් මාව නිර්මාණවලට සම්බන්ධ කරගත්ත, මට උදව් කරපු සෑම කෙනෙකුටම ස්තූතියි.


කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

gossiplanka image 1
Previous Post Next Post