
මක්නිසාදයත් ප්‍රේක්ෂකයා ද පැවතුණු හා පවතින දේශපාලන පරිසරය පිළිබඳව දැනුවත්ව සිටිය යුතුය. විල්සන් ගුණරත්නයන් විසින් දේශපාලන ප්‍රහසනයත්, වෙනත් මාදිලියක ප්‍රහසනයත්, නිවැරදිව අවබෝධ කරගත් බව අපට පෙනී යන්නේ ‘නෝනාවරුණි මහත්වරුණි’ ටෙලි මාලාවේ ‘කොඩිතුවක්කු’ චරිතය හරහා ය. එමෙන් ම ‘සත්පුරවැසියෝ’ ටෙලි නාට්‍යයේ ‘පප්පා’ චරිතය අයිරාංගනී සේරසිංහ සමඟ රඟපාමින් විල්සන් ගුණරත්නයන් අපට පෙන්වා දුන්නේ ප්‍රහසනයට හාත්පසින්ම වෙනස් වූ ගැඹුරු ජීවන දර්ශනයකි. එනම් පරම්පරා අරගලයකට මුහුණ දෙන පියෙකුගේ ශෝකාන්තයයි. “චරිත හතක්’ වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් වේදිකාව මත පෙළහර පෑ දේශපාලනමය ප්‍රහසනය හමුවේ සිනහා නූපදවාගෙන සිටීමට කිසිදු ප්‍රේක්ෂකයෙකු සමත් නොවීය. ඔහුගේ ප්‍රහසනාත්මක රංග කෞශල්‍යය එතරම් විශිෂ්ටය. චරිත හතකින් නොනැවතී ‘චරිත අටක්’ රඟන්නට ඔහුට සිදු වූයේ ද ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ඔහු ලද උත්තේජනයේ ප්‍රබලතාව හේතුවෙනි. හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ විධායක තනතුරු දරමින් වෘත්තීය ජීවතයක් ගත කරන ඔහු එම වෘත්තිය ක්ෂේත්‍රයේ වසර 50ක සේවා කාලයක් ගෙවමින් මේ වන විට හෝටල් කළමනාකරණ උපදේශකවරයකු ලෙස කටයුතු කරන්නේය. ඔහුගේ කලා ජීවිතයට ද මේ වන විට වසර 50කි. ඔහුගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ නිර්මාණය කළ ශේක්ස්පියර් නාට්‍ය නිර්මාණයක් වූ ‘වැනිසියේ වෙළෙන්දා’හි රංග කාර්යයට ඔහු සම්බන්ධ වීමයි. ධම්ම ජාගොඩයන්ගේ ‘සකල ජන’, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ‘පොකුරු වැස්ස’, සුසිල් ගුණරත්නයන්ගේ ‘මුහුණු දෙකක්’, ඩේවිඩ් ධර්මකීර්තිගේ ‘දිවසළු දිව මාළිගා’ ආදි වේදකා නාට්‍ය රැසකට ඔහු දායක වී ඇත. ගුවන්විදුලි සංස්ථාවෙන් විකාශය වුුණු ‘විනෝද සමය’ වැඩසටහනට ජ්‍යේෂ්ඨ නිවේදකයකු වන ඇල්ෆ්‍රඩ් පෙරේරාගේ ආරාධනයෙන් විල්සන් ගුණරත්න සම්බන්ධ වූයේ වයස අවුරුදු 16දීය. ඒ එහි පසුබිම් සංගීත නිර්මාණ කණ්ඩායමේ වාදකයකු ලෙසිනි. විවිධාකාර වූ කුසලතාවන්ගෙන් අනූන වූ විල්සන් ගුණරත්නයන්ගේ නවතම ප්‍රහසන නාට්‍ය නිර්මාණය වන “සුද්දගෙ කියුම” පසුගිය දා කරළියප්‍රාප්ත වූයේ කලකට පසු ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් පුරවාලන අතර ම ඉතා සියුම් ලෙස ප්‍රඥාව ද අවධි කරවමිනි. පළමු භාගය සිනහාසෙන, අග භාගය හඬා වැටෙන දෙආකාර තත්ත්වයන් තුළ ජනී ජනයාට අලුතෙන් සිතන්නට පුරුදු කරවන මෙය පර්යේෂණාත්මක වේදිකා නාට්‍යයකි.
“අපි මේ සිනහා වෙන්නේ අපටමයි. දුක්ඛ දෝමනස්සයන් කර පින්නාගෙන, විවිධ ආර්ථික දුෂ්කරතාවන් සමඟ සටන් වදිමින් දිවි ගෙවන මිනිස්සුන්ට යම්කිසි ආකාරයක මානසික සුවයක් මෙන්ම අප ජීවත් වන සැබෑ දේශපාන හා පරිපාලන ස්වරූපය මැනවින් අවබෝධ කර දීම ප්‍රහසන නාට්‍ය කලාව මඟින් සිදු කෙරෙනවා. අපේ ඉතිහාසය ගත්තාම ශාන්තිකර්මවල, සොකරි කෝලම් නාට්‍යවල හාස්‍ය උපහාසය විනෝදාස්වාදය උපරිම අයුරින් තිබුණා. ජනයාගේ වෙහෙස නිවීම සඳහා කලාකරුවා තුළ හටගත් පරිකල්පන ඥානය මතින් වරින් වර හාස්‍යෝත්පාදක කලා නිර්මාණ බිහි වුණා. මගේ ‘චරිත හතක්’ නාට්‍යයත් ජන මනස නිවාලීමේ සමාජ කාර්ය වසර ගණනක් තිස්සේ දෙස් විදෙස් වශයෙන් ඉතා හොඳින් සිදු කළා. මගේ අලුත් නිර්මාණයට පාදක වන්නේ සුදු ජාතික පර්යේෂකවරයෙක් ලංකාවට ඇවිල්ලා පර්යේෂණ කරන අතරතුරදී ‘එදා සහ අද’ නමින් ඔහු පොතක් ලියනවා. ඒ පොතේ ඔහු ලියන්නේ මිනිසුන්ගේ විශ්මයජනක බව සහ අහිතකර පක්ෂ දේශපාලනය, නිලධාරිවාදය, දූෂණ, භීෂණ නිසා විනාශවී යමින් තිබෙන සොඳුරු දූපතක විනාශය යි. මේ දූපත ඉතාම වටිනා භෞතික හා ස්වභාවික සම්පත්වලින් අනූන බවත්, මෙහි ඉතාම දක්ෂ මිනිස් කණ්ඩායමක් සිටින නමුත් ඒ අයගෙන් නිසි පරිදි වැඩක් නොගන්නා බවත් මෙම පර්යේෂකවරයා පෙන්වා දෙනවා. ඒ වගේම ඔහු තවත් සුවිශේෂ දෙයක් පෙන්වා දෙනවා.
‘උඩරට පහතරට ලෙස සැම බෙදුනා
ජාති භේද ආගම් ඇදගෙන බෙදුනා
පක්ෂ පාට සලකුණු අරගෙන බෙදුනා
ඉන්පසු දෙවියනේ රටට ම හෙණ වැදුණා….’
මේ රටේ වරින් වර බිහි වුණු දේශපාලඥයෝ රටේ ජනතාව අතර ජාති භේද, ආගම් භේද, පක්ෂ පාට භේද, කුල භේද ඇති කරමින් තමන්ගේ න්‍යායපත්‍රයන් සපුරා ගැනීමට කටයුතු කළා. මේ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව වන විදේශීය පර්යේෂක මහාචාර්ය ජෝර්ජ් විල්සන් නමැති නළුවාගේ භූමිකාව හරහා මුළු නාට්‍ය පුරා දිගහැරෙන්නේ නිවැරැදි දැක්මක් නොමැති පරිපාලනයේත්, නිවැරදි දෘෂ්ටියක් නොමැති කළමනාකරණයේත් ප්‍රතිඵල ලෙස මාතෘභූමියට අත්වී ඇති ඛේදනීය ඉරණම ගැනයි.”
මහාචාර්යවරයාගේ චරිතයට පණ පොවන විල්සන් ගුණරත්නයන් විසින් අපට හොඳින් දැක හුරු පුරුදු තවත් ප්‍රකට චරිත හතරකට මෙම නාට්‍ය තුළ රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. මේ නාට්‍යයේ සෙසු චරිත සඳහා කීර්ති බණ්ඩාර, ගාමිණි කොස්තා, බුද්ධික පතිරණ, සම්මානිත ආචාර්ය නිශාන්ත දර්ශන, ළමා නිළි බුත්සදි මනෙල්කා, හසාරා විහංගි, පාරා ස්ටෙෆ්නා ඉවෙන්ජලි, චින්තක පතිරණ, අනුර වීරසිංහ සම්බන්ධ වේ. සම්මානනීය වේශ නිරූපණ ශිල්පීන් වන තුෂාර ජාගොඩ නාට්‍ය ආචාර්යවරයාත්, ගාමිණි කොස්තා කලාකරුවාත් සම්බන්ධ වන අතර ගීත ගායනා සංගීතාචාර්ය මාලිකා චතුරාණි ද සිල්වා, විදුලි ආලෝකකරණය දනුෂ්ක පෙරේරා, ශබ්ද පරිපාලනය ගාමිණි අබේරත්න විසිනි. සංගීත අධ්‍යක්ෂණය විශාරද පුලස්ති අභිශේක් හා කථිකාචාර්ය ඔසඳ ගුණරත්තන විසිනි. ඇඳුම් මෝස්තර හර්ෂ ටේලර්ස් හා ගුණදාස ටේලර්ස් වෙතින් ද සම්බන්ධීකරණය සෙරිල් සොනිකා සහ කුසලා ප්‍රියදර්ශනී විසිනි. වේදිකා පරිපාලනය ධනුෂ්ක ප්‍රියංගිකා හා බුද්ධික පින්නදූව විසිනි. පසුතල නිර්මාණයෙන් දායක වී ඇත්තේ නීල් පලිහවඩන යි.
“අපි මේ නාට්‍ය කණ්ඩායම එකතු වෙලා අපේ රටේ මිනිස්සුන්ට මේ රට ගැන හිනන්න පෙලඹවීමක් කරනවා. අපේ ඉතිහාසය ගත්තොත් අපේ රටේ ජනතාව පවුලක් වශයෙන්, ගමක් වශයෙන් පුදුමාකාර සහයෝගයෙන් ජීවත් වුණා. සශ්‍රීක රටක්, උද්‍යෝගිමත් ජන පිරිසක් මේ රටේ සිටියා. විශ්මිත කලා නිර්මාණ කළා. වැව් දාගැබ් හැදුවා. 1975දී ලංකාවට පැමිණි සිංගප්පූරු නායක ලී ක්වාන් යූ මහතා සිංගප්පූරුවට ගිහින් කියා තිබුණේ ශ්‍රී ලංකාව වගේ සිංගප්පූරුවක් හදනවා කියායි. පසුව ඔහු 1985 නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක අපේ නායකයින්ට කියා තිබුෙණ් සිංගප්පූරුව වගේ ශ්‍රී ලංකාව හදන්න කියායි. ඒ තත්ත්වයට මේ රට ඇදවැටුණේ අපි නිරන්තරයෙන්ම රැවටුණු නිසයි. මම මගේ නාට්‍යයෙන් අවසානයේදී ජනතාවට කියන්නේ ‘ඇයි අපි රැවටෙන්නේ… අපි නොරැවටී වැඩ කරමු’ කියායි. මම මේ රටට ආදරෙයි. මම මේ ලෝකයේ කොහේ මැරුණත් මගේ දේහය ලංකාවේ මිහිදන් කරන්න කියලායි මගේ බිරිඳට කියලා තියෙන්නේ.”
සියලු කලාවන්ට නොදෙවැනිව ජනතාවගේ වැඩි කැමැත්ත සහ ආදරය ඇත්තේ සජීව මාධ්‍යයක් වන වේදිකා නාට්‍ය නිර්මාණයක් දැක බලා රසවිඳීමටයි. එහෙත් කාලාන්තරයක් තිස්සේ සිනමා ශාලා, නාට්‍ය ශාලා ජනයාගෙන් හිස් බවට පත් වෙමින් ඇත්තේ ප්‍රධාන වශයෙන් ම මෙරට ප්‍රවාහන පද්ධතියේ පවතින දුර්වලතාව නිසාය. අතීතයේ රාත්‍රී 9.30 චිත්‍රපටය නරඹන්නට දරු පවුල් සමඟ සිනමා ශාලා වෙත පැමිණි ජනයාටත්, සවස 6.30 වේදිකා නාට්‍ය නරඹන්නට එන ප්‍රේක්ෂකයින්ටත් නිවෙස් බලා යාමට පොදු ප්‍රවාහන පහසුකම් තිබුණි. සංස්කෘතික අමාත්‍යාංශයත්, ප්‍රවාහන අමාත්‍යාංශයත් සහසම්බන්ධ නොවන තුරාවට අපේ රටේ වාහන පහසුකම් ඇති අයට මිස රාත්‍රියේ නිදහසේ කලා නිර්මාණයක රසය විඳ ගැනීමට වරම් අහිමිව පවතී.
“මේ ගැටලුව අපේ කලාකරුවන්ට දැඩි ලෙස බලපා තිබෙනවා. සමහර නිර්මාණ කොළඹට පමණක් සීමා කරන්න අද අපේ නිර්මාණකරුවන්ට සිදුවී තිබෙනවා. ඒවාට වුණත් පැමිණෙන පිරිස අඩුවී තිබෙනවා. නාට්‍යයක් නිර්මාණය කරලා, ශිල්පීන්ට ගෙවීම් කරන්න, ශාලා ගාස්තු ගෙවන්න, විදුලිය, ඇඳුම් හා සැරසිලි වියදම් දරන්න නිර්මාණකරුවාට විකල්ප මූල්‍ය උත්පාදන ක්‍රමවේද සොයන්න සිදු වී තිබෙනවා. ප්‍රේක්ෂකාගාරය දිහා වේදිකා තිරය අස්සෙන් බලලා සැනසුම් සුසුම් හෙළන්නට වර්තමානයේ කලාකරුවන්ට හැකියාවක් නැහැ. නාට්‍යයක් බලලා පාරට බැස්සාම නිවෙස්වලට යන්න ගමන් පහසුකම් නෑ. අතීතයේ එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. රෑ වෙනකන් බස් තිබුණා. ඒ කාලේ අද වගේ ත්‍රීවීලර්ස්, තිබුණේ නැහැ. ඒ කාලේ ප්‍රවාහන සේවාවේ තරගකාරිත්වයක් තිබුණේ නැහැ. ඉතින් සංස්කෘතික අමාත්‍යාංශයත්, ප්‍රවාහන අමාත්‍යාංශයත් කතා බහ කරලා එකඟතාවකට ඇවිල්ලා මේ තත්ත්වයන් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරවිය යුතුයි.”
විල්සන් ගුණරත්න නම් වූ රංගන ශිල්පියා සතු සුවිශේෂ දක්ෂතාවය වන්නේ එකම වේදිකාවක් මත එකම නාට්‍යයක චරිත කිහිපයක් නිරූපණය කිරීම යි.
“නළුවෙක් එකම වේදිකාව මත එක චරිතයක ඉඳලා තවත් චරිතයකට ඉතා ඉක්මනින් මාරු වීමේදී රූපණ ශිල්පියාගේ සිත, සිතිවිලි, වචන, ශරීරය, අනුපිළිවෙළ, භාව කළමනාකරණය හා කාල කළමනාකරණය සිදු කරන ආකාරය මම මගේ නාට්‍ය හරහා නවකයින්ට පෙන්වා දෙනවා. මොනෑෂ් විශ්වවිද්‍යාලය සහ තවත් විදෙස් රටවල මගේ නාට්‍ය රඟ දැක්වූ අවස්ථාවලදී මේ චරිත මාරුවීම් පිළිබඳව ඔවුන් පුදුමයට පත් වුණා. ඔවුන් එය අගය කළා. මම නවදිල්ලියේ ‘නොයිඩා’ විශ්වවිද්‍යාලය අනුබද්ධ ජාත්‍යන්තර සිනමා පර්යේෂණ ආයතනයටත්, එහිම චිත්‍රපට හා ටෙලි නාට්‍යකරණයේ සමීක්ෂණ මධ්‍යාස්ථානයටත් සම්බන්ධ වෙලා වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. පසුව මම එම ආයතනවල ඉහළම කළමනාකාරිත්වයේ ආරාධනයෙන් ඉගැන්වීම් කටයුතුත් කළා. ප්‍රහසන කලාවේ තිබෙන ඖෂධීය ගුණය පිළිබඳ මම පර්යේෂණ කරනවා. ‘ඩොක්ටර් ඇන්ඩ් ඇක්ටර්’ නමින් මමත්, වෛද්‍ය දමිත් හෙට්ටිආච්චි මහතාත් එකතු වෙලා දේශන හා වැඩමුළු පවත්වනවා. ඒ තැන්වලදී මම ආතති කළමනාකරණය පිළිබඳ ඉගැන්වීම්වලටත්, වැඩසටහනට සම්බන්ධ වන පිරිසගේ ආතතිය දුරු කිරීම සඳහාත් හාස්‍ය, ප්‍රහසනය විශාල වශයෙන් ප්‍රයෝජනයට ගන්නවා. දෙස් විදෙස් වශයෙන් හැදෑරූ කළමනාකරණ විෂය ක්ෂේත්‍රයේ පරිපාලන කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, දැක්මක් සහිත කළමනාකරණය, ස්වයං කළමනාකරණය ආදිය හරහා සිත් සුවපත් කිරීම්, සිත් සවිමත් කිරීම, ධනාත්මක සිතුවිලිවලින් පමණක් සිත් පුරවාලීම සිදු කරනවා. මේ කාර්යයේදී මහාචාර්ය මැක්ඩ අසීස්, වෛද්‍ය ඉනික පුෂ්කෝක, වෛද්‍ය සදික් ෂිකෝරා වැනි විශේෂඥවරුන් රැසක් සමඟ සමීක්ෂණ කටයුතු සමඟ හැදෑරීම් කිරීමෙන් ලද දැනුම, අවබෝධය, අත්දැකීම් මගේ දේශන හා විශේෂ පාඨමාලාවලදී මම මැනවින් භාවිත කරනවා. ඒ වගේම මගේ කුසලතා අනාගත පරපුරට ලබා දීමේ වැඩපිළිවෙළ මම සකසමින් සිටිනවා. මේ කලාව අනාගතයට යා යුතුයි. වත්මන් පරපුරත්, මතු පරපුරත් වෙනුවෙන් විවිධ ජාතින්ට එකට එකතුව ජාති, ආගම්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව සාමයෙන් සහජීවනයෙන් ජීවත්විය හැකි අභිමානවත්
මවුබිමක් තිබිය යුතුමයි. මගේත් මගේ නාට්‍ය කණ්ඩායමේත් වෑයම එයයි.”
සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් දැන් එක පවුලක්
හදන්න එපා කිසිම කෙනෙක් ආයෙත් අවුලක්
සාමය රජවන තැන වේමැයි දෙවොළක්
මේ රට දියුණු වෙන්න ඕනේ ඒ වගේ හවුලක්
