
පියුමාල් සිය ජයග්‍රහණයේ සතුට අප හා බෙදා ගත්තේ මෙලෙසිනි.
“පසුගිය 2 – 10 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වුණු 23 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගයේ රටවල් 37ක තරගකරුවන් අතරින් අනුශූරතාව හිමිකර ගන්න ලැබීම ලොකු සතුටක්. ශූරතාව හිමිවුණේ ප්‍රංශයට.
මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගය කියන්නේ ලෝකයේ පිරිමින් වෙනුවෙන් ඇරැඹුණු ප්‍රථම නිරූපණ තරගය. දැනට ලෝකයේ තියෙන පැරැණිතම මේල් පැජන්ට් එක මේක. ආරම්භ වෙලා දැනට අවුරුදු 32ක් වෙනවා. මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණයක් හිමිකර ගත් පළමු ශ්‍රී ලාංකිකයා මම. එහි අනුශූරතාව වගේම ලබන වසරේ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලැබීමත් අපේ රට ලැබූ ජයග්‍රහණයක්. ඒක අපේ රටේ සංචාරක කර්මාන්තයට ලොකු වරප්‍රසාදයක්. ශ්‍රී ලංකාවට වීසා ගැනීමේ පහසුව නිසා විදේශිකයන් පැමිණීමේ ප්‍රවණතාව ඉහළයි. තරගකරුවන් ලංකාවේ සුන්දර තැන්වලට එක්ක ගිහින් සමාජ මාධ්‍ය හරහා එම දසුන් ප්‍රචාරය කිරීමෙන් අපේ රටේ සංචාරක කර්මාන්තයට විදේශ විනිමය ඉපයීමේ හැකියාවත් තියෙනවා. ඒ වගේම ලබන වසරේ අපේ රට නියෝජනය කරන තරගකරුවාටත් මේක ලොකු අවස්ථාවක්. ලබන වසරේ ජයග්‍රහණය අපේ රටට ලබාගන්න උත්සාහ කරනවා.
ජයග්‍රහණය උදෙසා විනිශ්චය මණ්ඩලයේ විශේෂ අවධානය යොමුවී තිබුණේ මෙවන් කරුණු පිළිබඳව බවද ඔහු පැවසීය.
“නිරූපණය වගේම අපි මාධ්‍ය හසුරුවන විදිහ, කොතරම් දුරට අපි පොසිටිව් මැසේජ් එකක් දෙනවද කියන එක වගේම අපේ පෞරුෂත්වය, අපි අපිව මේන්ටේන් කරන විදිහ, අපිට කොතරම් අනෙක් පිරිමි අයව මෝට්වේට් කරන්න පුළුවන්ද කියන එක ඔවුන්ගේ විනිශ්චයට ලක්වුණා. අපේ ශරීරය, අඳින පලඳින විදිහ, අනෙක් අය ඇසුරු කරන විදිහ වගේ දේවලුත් විනිශ්චයට ලක්වුණා. විශේෂයෙන්ම සන්නාම තානාපතිවරයෙක් විදිහට ප්‍රඩක්ට් එකක් කොතරම් දුරට ප්‍රමෝට් කරන්න පුළුවන් ද කියන එකත් එතැනදි බලනවා.”
අහඹු ලෙස හිමිවුණු අවස්ථාව තම දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූ අයුරු ද ඔහු සිහිපත් කළේය.
“මුලින්ම මම නිරූපණ ක්ෂේත්‍රයට යොමුවෙන්නේ 2012 වසරේ. 2015දී සිරස මෑන් හන්ට් වෙනවා. ඊටත් කලින් බෙස්ට් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් තරගයට ඉදිරිපත් වෙලා අවසන් පස්දෙනා අතරට එන්න ලැබෙනවා. ඊට පස්සේ නිරූපණයට ගොඩක් අවස්ථා ලැබුණු නිසා මට තරග කිරීමේ මානසිකත්වය නැතුව යනවා. දවසක් අහම්බෙන් මුණගැහුණු චන්දිමාල් ජයසිංහ තමයි මාව අර්ජුන් සේනානායකට හඳුන්වලා දෙන්නේ. ජාතික පුහුණුකරු විදිහට ඔහු තමයි මාව 2024 මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගය සඳහා යොමු කරවන්නේ. මොඩ්ල් කෙනෙක් විදිහට කොහොමත් මම මේන්ටේන් වෙන නිසා සිරුර ගැන මට කිසිම ගැටලුවක් තිබුණෙ නැහැ. තරගයට ඉදිරිපත් වෙලා හිටිය බොහෝ දෙනා නවකයින් නිසා මගේ අත්දැකීම් ගොඩක් දුරට මේ ජයග්‍රහණයට බලපෑවා කියලත් හිතනවා. ”
ජයග්‍රහණයත් සමඟ හිමිවුණු වරප්‍රසාද හරහා ලාංකේය නාමය තවදුරටත් ලෝකය පුරා බැබළවීම ඔහුගේ බලාපොරොත්තුවයි.
“මේ ජයග්‍රහණයත් එක්ක මං තවදුරටත් ජාත්‍යන්තරය එක්ක වැඩකරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දුරට මිලානෝ, පැරිස් පැෂන් වීක්වලට යන්න අවස්ථාව ලැබේවි කියන බලාපොරොත්තුවත් තියෙනවා. මේක මගේ අවසාන ජාත්‍යන්තර තරගය. ලෝක තරගයක අනුශූරතාව හිමිවුණාට පස්සේ සාමාන්‍යයෙන් නැවත ඉදිරිපත් වෙන්නෙ නැහැ. මේ ලැබුණු ජයග්‍රහණය ගැන මං ගොඩක් සතුටු වෙනවා. දැනට මම ව්‍යායාම උපදේශකවරයෙක්. මම වැඩිපුරම කැමැති මගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක හරහා ශාරීරික යෝග්‍යතාව සහ මානසික සෞඛ්‍ය ගැන මිනිසුන්ව දැනුම්වත් කරන්න.”
ඉදිරි වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගය සඳහා තම දායකත්වය උපරිමයෙන්ම ලබාදීම ඔහුගේ බලාපොරොත්තුවයි.
“මෙවර ජයග්‍රාහකයන් ඊළඟ ජයග්‍රහණය වනතුරු ඒ බ්‍රෑන්ඩ් එක එක්ක ඉන්න ඕන. ඒ වගේම තරගය ප්‍රමෝට් කිරීම, මිනිස්සු දැනුම්වත් කරමින් ඊළඟ තරගකරුවන් බිහිකිරීමට උදවු කිරීමත් ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙනවා. අපට ලෝකයේ ඉහළම පෙළේ නිරූපණ සන්දර්ශනවලට අවස්ථාව ලබාදෙන්නෙත් ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණෙන්. ලබන වසරේ අපේ රටේ පැවැත්වෙන තරගයේ වගකීම 50% ක්ම මටයි පැවරෙන්නේ. මිනිසුන් දැනුම්වත් කිරීම වගේම අනුග්‍රාහකයන් සෙවීමත් ඇතුළත්.”
මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් ඉතිහාසයේ පියකු ලෙස මෙවන් ජයග්‍රහණයක් ලද පළමු කෙනා තමන් බව ඔහු දැනගත්තේ අවසන් මොහොතේ වීම ද විශේෂත්වයකි.
“මේ තරගයට යන්න මං මුලින්ම ඇහුවේ බිරියගෙන්. ඔයාට පුළුවන් කියලා ඇය මාව දිරිමත් කළා. හොඳ සපෝටිව් මැනේජර් කෙනෙක් සහ බිරියක් විදිහට යමීෂා හැමවෙලේම මාත් එක්ක හිටියා. දරුවන් දෙන්නත් එක්ක ඇය අවසන් තරගයටත් ආවා. ඒ අවසන් මොහොතේ තමයි හැමෝම දැනගත්තේ මං විවාහ වෙලා දරුවන් දෙදෙනකුගේ තාත්තා කෙනෙක් කියලා. ‘තාත්තා කෙනෙක් විදිහට මේ වගේ ලෝක ජයග්‍රහණයක් ලැබුණා කියන්නේ ඔයා ජීවිතේම දිනුව කෙනෙක්‘ කියලා එතැනදි හැමෝම මට සුබ පැතුවා. මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් ඉතිහාසයේ පියෙක් මෙවන් ජයග්‍රහණයක් ලබාගත් පළමු අවස්ථාව මේක කියලත් එතැනදී සඳහන් වුණා. මගේ බිරියගෙන් ලැබුණු සහාය වගේම අපි දෙන්න අතරේ තියෙන අවබෝධය නිසා තමයි මේ ජයග්‍රහණය ලැබුණේ.”
