මේ දවස්වල කවුරුත් කතා කරන ගරු නැන්දම්මා- මාලි ජයවීරගේ

gossiplanka image 1
මාලි ජයවීරගේ කියන්නේ අපිට ඉන්න දක්ෂ රංග ශිල්පිනියන්ගෙන් එක්කෙනෙක්. මේ දවස්වල ඇගේ රංගනය ඔබට නාට්‍ය කිහිපයකම දැක ගන්න පුළුවන්. නරඹන්නන් අතර මේ දවස්වල බොහොම ජනප්‍රිය ස්වර්ණවාහිනියේ විකාශය වන ‘සින්ටෝ’ ටෙලිනාට්‍යයේ මිඩ්වයිෆ් ලෙසත්, දෙරණෙන් විකාශය වන ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ බිසෝ ලෙසත් ඈ ඔබ අතරට එනවා.



“මේ දවස්වල මේ චරිත නරඹන්නන් අතර බොහොම ජනප්‍රියයි. මට ඒ බව දැනෙන්නේ මා මිනිස්සු අතරට ගියාට පස්සේ ඒ චරිතවල නම් වලින් ඔවුන් මට කතා කරන නිසා. එක් වරෙක සාලින්ද රත්නායකගේ ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ගරු නැන්දම්මා කියලා ඔවුන් මට ආමන්ත්‍රණය කරනවා. තවත් වරෙක අසංක සායක්කාරගේ ‘සින්ටෝ’ ටෙලිනාට්‍යයේ මිඩ්වයිෆ්ගේ චරිතේ ගැන අහනවා.”


මේ කුමන නිර්මාණවල රඟපෑවත් ඈ මුල අමතක කරලා නැහැ. ඒ කියන්නේ වේදිකාව. ඇගේ රංගන ගමන ආරම්භ කළ වේදිකාවේ ඈ තවමත් සක්‍රියව රැඳී සිටින්නියක්.


“මගේ ජීවිතයේ පළමු තැන ලැබෙන්නේ වේදිකාවට. සුජීව ප්‍රිය­ාල් මහත්තයාගේ ‘ලෝරන්ස්ගේ මනමාලි’ සමඟ මා රංගනයෙන් සම්බන්ධ වෙලා වසර 11ක විතර කාලයක්. මේ වනවිට ඒ වේදිකා නාට්‍යය ලංකාව වටේම ගිහින් යන්න තැනක් නැති තරම්. ඒ නිසා ඒක දැන් ලෝකෙ වටේම යන්න පටන් අරගෙන. පසුගිය කාලයේ අපි නවසීලන්තයේ සංචාරය කළා. එහි ‘ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකා නාට්‍ය පළාත් තුනක දර්ශන තුනක් වේදිකාගත වුණා. ඒ හැම දර්ශනයක්ම හවුස්ෆුල්. ජූලි මාසෙ පස්වැනිදා නැවතත් එහි තවත් දර්ශනයක් තියෙනවා පුංචි තියටර් එකේ. ඒ වගේම ජයනාත් බණ්ඩාරයන්ගේ ‘රෝමියෝ ජුලියට්’ වේදිකා නාට්‍යයත් එක්ක රට වටේම යනවා. පසුගිය දවස්වල ඉන්දියාවේ පැවැත්වුණු මහා භාරත රංග මහෝත්සවය සඳහා ලංකාවේ නාට්‍ය විසිදෙකකින් අපේ නාට්‍යය තේරිලා තිබුණා. එහිදි කර්ණාටක ප්‍රාන්තයේ අපේ නාට්‍යය වේදිකාගත කළා. ඊට පස්සේ ඊට සමගාමීව ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ‘රෝමියෝ ජුලියට්’ වේදිකාගත කළා. ඊට අමතරව මහාචාර්ය මංගල සේනානායකගේ ‘ගුරු ගීතය’ වේදිකා නාට්‍යයේත් මා රඟපානවා.”



මාලි ජයවීරට වර්තමානයේ රඟපාන්න ලැබෙන්නේ අලුත් පරපුරත් එක්ක. වර්තමානයේ ඒ කාලය වගේ නොවුණත් ඒ අත්දැකීම ගැනත් අහන්න අප අමතක කළේ නැහැ.



“මේ දවස්වල රඟපාන ටෙලි නාට්‍ය දෙකේ ම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වගේම අලුත් පරපුරේ දරුවන් එක්කයි මා රඟපාන්නේ. අපි දැන් කරන්නේ වැඩිහිටි චරිත. අපේ දරුවන් විදියට රඟපාන්නේ අලුත් පරපුරේ ළමයි. බිසෝගේ චරිතයේ හැටියට මා රඟපාන්නේ මගේ දුවගේ ළමයින් එක්ක. ඒ අයත් එක්ක රඟපාන එක නම් බොහොම සුන්දර කාර්යයක්. ඒ වගේම ඒ අයත් එක්ක ගෙවන කාලය බොහොම සුන්දරයි. ඔවුන් එතැනදී මාව බදාගන්නවා. බොහොම ආදරණීයයි. ඔවුන්ගේ ආදරය මට දැනෙනවා. ඒ වගේම මමත් ඔවුන්ට බොහොම ආදරෙයි. ‘සින්ටෝ’ ටෙලි නාට්‍යයේදිත් ඒ වගේම තමයි. ඒ තරුණ රංගන ශිල්පීන් ශිල්පිනියන් හැමෝම බොහොම හොඳයි. මම හැමදාම මගේ ඉහළ පරම්පරාවටත් ගරු කළා. ඒ වගේම මගේ පහළ පරම්පරාවටත් මම ගරු කරනවා. ඒ නිසාදෝ මට හැමෝගෙන්ම ගෞරවය ලැබෙනවා.”


මාලි ජයවීරගේ චරිත කරන්නේ බොහොම තෝරා බේරා ගැනීමක් ඇතුළේ. ඒත් එක කාලයක ඇයට එකම විදියේ චරිත ලැබුණදෝ කියන හැඟීම අපට දැනුණා. මේ වෙනකොට ඒ කාරණය වෙනසකට ලක් වෙලා වගෙයි.


“මීට ඉස්සර මට රඟපාන්න ලැබුණේ එකම වගේ චරිත. මීට ඉස්සෙල්ලා රඟපෑව චලෝ ටීචර්ගේ චරිතය බොහොම ජනප්‍රිය වුණු චරිතයක්. සමහර නිර්මාණවලට කතා කරනවිට මට කියන්නේ චලෝ ටීචර් වගේ චරිතයකුයි මේ නිර්මාණෙත් රඟපාන්න තියෙන්නේ කියලා. එතකොටනම් ඉතින් මට ඇත්තටම ඒ චරිතය රඟපාන්න ආස හිතෙන්නේ නැහැ. ඒ නිසාම නිර්මාණ කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ අවස්ථාත් තිබුණා. ඒත් මේ වෙනකොට ලැබෙන චරිත එකිනෙකට වෙනස්. එක නිර්මාණයක අම්මා කෙනෙක් විදිහට රඟපෑවා. තවත් නිර්මාණයක ආත්තම්මා කෙනෙක් විදියට රඟපෑවා. හෙදියක් විදියට රඟපෑවා. විදුහල්පතිවරියක විදියට රඟපෑවා. ගුරුවරියක් විදිහට රඟපෑවා. පසුගිය කාලයේ මට ඒ වගේ විවිධ චරිත ලැබුණා. ඒ වගේ චරිත ලැබුණා ම ඇත්තටම රඟපාන්න ආසයි.”



මාලි ජයවීරගේ කියන්නේ චරිතයක් ලැබුණාට පස්සේ රඟපෑමේදී ඒකට බොහොම සාධාරණයක් ඉටු කරන රංගන ශිල්පිනියක් කියන එක රහසක් නොවෙයි. ඒ නිසාමදෝ ඇයට ලැබෙන ප්‍රතිචාරවලින් නම් කිසිම අඩුවක් නැහැ.’ සින්ටෝ’ ටෙලිනාට්‍යයේ මිඩ්වයිෆ්ගේ චරිතයට වගේ ම ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ගරු නැන්දම්මාගේ චරිතයටත් එහෙමමයි.


“අපේ ගමේ මිඩ්වයිෆ්ගේ චරිතය මම දැකලා තියෙනවා. අපේ ගෙවල්වලට ඇවිත් ඔවුන් කතාබහ කරලා යනවා. නංගිලා නිසා අපේ ගෙදරට එනවා. ඒත් ‘සින්ටෝ’ ටෙලිනාට්‍යයේ ඉන්න මිඩ්වයිෆ් බොහොම නපුරු කෙනෙක්. මට හැම නිතරම තියෙන්නේ බණින්න. හැබැයි මම දන්නේ නැහැ මිඩ්වයිෆ්ලා එහෙම නිතරම බණිනව ද කියලා. ඒ මා රංගනයේ යෙදුණේ පිටපතේ තිබුණු චරිතය. ඒත් මේ නාට්‍යය නරඹන්නන් මගෙන් අහන්නේ මොකද අනේ ඔයා ඔච්චර බබාලා හම්බෙන්න ඉන්න අම්මලත් එක්ක ඊර්ෂ්‍යා කියලයි. සමහර වෙලාවට මම විවාහ නොවුණු නිසා බබාලා ලැබෙන අම්මලත් එක්ක තරහයි කියන අදහසක් නරඹන්නන්ගේ ඔළුවට එන වගකුයි ඔවුන්ගේ කතාවලින් මට හැඟෙන්නේ. එතකොටම මම එයාලට පිළිතුරු දෙන්නේ මා ඒ චරිතය කරන්නේ අධ්‍යක්ෂවරයා කියන විදියට කියලයි. නරඹන්නන්ට කියන්න ඕන මා එහෙම නපුරු කෙනෙක් නොවෙයි. ඒත් රඟපාන චරිතයට අවශ්‍ය විදියට නපුරුකම අවශ්‍ය නම් නපුරු වෙන්න ඕනෑ. ඒ වගේමයි ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ බෑනා මට කතා කරන්නේ ගරු නැන්දම්මේ කියලා. ඒ නමින්ම නරඹන්නන් මට නිතරම ආමන්ත්‍රණය කරනවා. ඒ නම මේ දවස්වල නරඹන්නන්ගේ කටේම තිබෙන වචනයක්.”


බොහෝ ටෙලි නාට්‍ය නරඹන්නන් ඒ නිර්මාණවල චරිත ඔවුන්ගේ ජීවිතවලට ඈඳාගන්න එක හැමදාම සිදුවන දෙයක්. ඒ ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයි රංගන ශිල්පීන් ශිල්පිනියන්ව ජීවත් කරවන්නේ.


“සමහර නරඹන්නන් ඉන්නවා අපේ පැරණි නිර්මාණ නරඹලා කතා කරන. එහෙම අවස්ථාවකට මට පසුගිය දා දවසක මුහුණ දෙන්න වුණා. රාජගිරිය ප්‍රදේශයේ ඉන්න නරඹන්නෙක් ‘දඬුබස්නාමානය’ ටෙලිනාට්‍යය නැවත නරඹලා මට කතා කළා. ඒ දයාදේව අයියගෙන් මගේ දුරකතන අංකය ඉල්ලගෙන. අපි යන යන තැන ඉන්න නරඹන්නන්ට අපි කළ චරිත මතකයි. ඒ ගැන ඔවුන් කතා කරනවා. ඒක ඇත්තටම සතුටට කාරණයක්. ඒ වගේම රංගන ශිල්පිනිය, ශිල්පියා කියන්නේ මා බොහොම ගෞරව කරන තනතුරක්. ඒක කිසිම කෙනෙකුට තව කෙනෙක් කළාට කරන්න පුළුවන් වෘත්තියක් නොවෙයි. රංගනය කියන්නේ ඇත්තටම උතුම් රැකියාවක්. මොකද මේ රැකියාව තමයි අපට ගෞරවය ලබා දෙන්නේ. අපව ජීවත් කරවන්නේ. මේ වගේ හැම දෙයක්ම අපට ලබා දෙන්නේ මේ වෘත්තිය. ඒ නිසා අපි ඒකට ගෞරව කරන්න ඕනෑ.”

gossiplanka image 2
Previous Post Next Post