
අනුරාධා ඔබ ලංකාවට ආවේ කොච්චර කාලයකට පස්සේ ද?
මේ සැරේ මම ආවේ අවුරුදු එකහාමාරකට පස්සේ. සාමාන්‍යයෙන් මම ආවම මාස එකහමාරක් වගේ කාලයක් ලංකාවේ ඉන්නවා. මේ සැරේ මම ආවේ අම්මවත් එක්කගෙන යන්න.
කොහෙද දැන් ජීවත් වෙන්නේ
මම අවුරුදු 35ක් තිස්සෙම විදෙස් ගතව ජිවත් වෙන්නේ. ඒත් මම ලංකාවට යනවා එනවා.
කොච්චර කාලයකින් ආවත් රසික ආදරේ අඩුවක් නැහැ නේද?
ඇත්තටම මමත් හිතනවා මාව කට්ටිය දන්නේ නැහැනේ කියලා. එහෙම හිතලා මම මගේ පාඩුවේ ඉන්නවා. හැබැයි එ්ක එහෙම නැහැ. මඟ තොටේදී මාව හඳුනාගෙන කවද්ද ලංකාවට ආවේ, අලුත් වැඩ කටයුතු මොනවද කියලා අහන ආදරණිය ප්‍රේක්ෂකයින් පිරිසක් තවම ඉන්නවා. ඒ ගැන නම් මට පුදුමයි. ඒ වගේම ඒ ආදරය ගැන මට සතුටුයි
අනුරාධා ඔබ අන්තිමට සින්දුවක් කළේ කොයි කාලෙද?
ගිය සැරේ ලංකාවට ආව වෙලාවෙත් වික්ටර් රත්නායක අන්කල් එක්ක අලුත් සින්දුවක් කළා.
මේ අවුරුද්දෙත් අලුත් ගීත නිර්මාණය කරනවද?
ඔව්… මම ලංකාවට යන එන වේලාවන්වලදී තමයි මගේ අලුත් නිර්මාණ කරන්නේ. මේ වතාවෙත් අමල් පෙරේරා එක්ක ගීතයක් කරනවා. මම බොහොම ආසාවෙන් හිටියේ අමල් එක්ක නිර්මාණයක් කරන්න. ඒ එක්කම රොෂාන් ප්‍රනාන්දුත් මා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. තව නිර්මාණ දෙක තුනකට ඇරයුම් ලැබිලා තියෙනවා. හැබැයි තවම ඒ නිර්මාණ කොයි විදියට කවුරු එක්ක කරනවද කියන එක තීරණය කරලා නම් නැහැ.
පවුල් පසුබිමෙන්ම කලාව උරුම කෙනෙක් වුණත් අද යම් ප්‍රමාණයකට හෝ ඈත් වෙලා ගත කරන ජිවිතේ කොහොමද?
ජිවිතේ සුන්දරයි. මම එදත් අදත් කලාව විඳිනවා. රියලැටි තරග නරඹනවා. මගේ ජීවිතේ එදිනෙදා කටයුතු කරගෙන යන අතර වාරයේ තෝරා බේරා ගත් කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.
රියලැටි තරග නරඹනවා කිව්ව නිසාම අහන්න හිතුණා, තාත්තාගේ ගීත, ඔබේ සහෝදරයාගේ ගීත සහ ඔබේ ගීතත් මේ තරගවලදී අහන්න දකින්න ලැබෙනවා, ඒ ගැන මොකද හිතෙන්නේ
මට නම් ඇත්තටම සතුටුයි. මගේ පියා නැතිවෙලා අවුරුදු 35කට වැඩියි, අයියා නැති වෙලා අවුරුදු 12ක් වෙනවා. ඒ අයගේ ගීත නිර්මාණ අලුත් පරම්පරාවේ හඬින් අහද්දී ලොකු සතුටක් දැනෙනවා, අනේ තවමත් ඒ ගීත පවතිනවා නේද කියලා. ඒ එක්කම කියන්න ඕනේ නව පරපුරේ බොහෝ දක්ෂතා සපිරි අය බිහිවෙලා තියෙනවා. තාත්තා කියපු ගීත ගයන එකත් ලෙහෙසිත් නැහැනේ. ඒ ගීත ගයනවා අහද්දී, දකිද්දී මට හරිම සතුටුයි.
තාත්තා ගැයූ ගීත අතරින් අනුරාධා ආසම ගීත මොනවද?
තාත්තාගේ ගීත නම් හැම එකකටම වගේ මම ආසයි. ඒ අතරිනුත් බුදුනේ…, මිහිරැති වසන්ත කාලේ වගේ ගීතවලට මම විශේෂයෙන්ම කැමැතියි. ඒ ගී මගේ හිතට හුඟක් සමීපයි.
අමතක කරන්න බැහැනේ සතිෂ් පෙරේරා අයියාව. ඔහු ගැයූ ගීත අතරින්
‘සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම ගීතයට සහ කණ්ඩලමේ ගීතයට මම හරි කැමැතියි. අයියාගේ ගීත බොහෝ වෙලාවට මම සම්පූර්ණයෙන්ම අහන්නේ නැහැ. මගේ හිතට ලොකු දුකක් දැනෙනවා අයියාගේ ගීත අදටත් ඇහෙද්දී. ඒ නිසා බාගෙට අහලා, ඒක වහලා දාලා නිකම් ඉන්නවා.
අයියා නැති අඩුව, එදාටත් වඩා අද තදින්ම දැනෙනවා ඇති?
ඇත්ත අයියා නැති අඩුව තදින්ම දැනෙනවා. අපි දෙන්නා සහෝදරයෝ වුණාට අපි දෙන්නට දෙන්නා හිටියේ හොඳම යාළුවො වගේ. මම විදෙස් ගතව හිටියත් දුරකථන ඇමතුමක් අරන් පැය ගණන් අපිට කතා කරන්න දේවල් තිබ්බා. එයා හරි පුදුම චරිතයක්. එයාට යාළුවො ගොඩක් හිටියා. ඒ අතරේ මගේ එක්කත් ගොඩක් දේවල් බෙදා ගත්තා. එයා නැති අඩුව ගැන වචනවලින් කියන්න බැරි තරම්.
ගීත එකතුවක් කරන්න අදහසක් නැද්ද?
මටත් හිතෙනවා එහෙම කරන්න තිබ්බා නම් හොඳයි කියන එක. කාලය හදාගෙන ඉදිරියේදී බලමු.
තාත්තාගෙන් ආව කලාව ඔබෙන් පස්සේ මොකද වෙන්නේ?
මට පුතෙක් ඉන්නේ. ඔහුට හොඳ ගායන හැකියාවක් තියෙනවා. පුතා ගිටාර් වාදනය ඉගෙන ගත්තා. හැබැයි පුතා කවදාවත් සංගීත කලාව වෘත්තීය මට්ටමින් කරන එකක් නැහැ. ඒ නිසා අපි එයාට බල කළෙත් නැහැ. එයා වෙනමම අංශයකට යොමු වෙලා ඉන්නේ. මම කොහේ හිටියත් ජිවත් වෙන්න ආසම රට ලංකාව. ඩුබායි හිටියා අවුරුදු 19කට කිට්ටු වෙන්න. දැන් ඉන්නේ කැනඩාවේ. අවුරුදු 12ක් විතර වෙනවා. ඒ අතරේ මම ඉන්දියාවේත් ජීවත් වුණා. ඒ කොයි රටේ හිටියත් මට වටින්නේ ලංකාව. මගේ හිත තියෙන්නේ ලංකාවෙ. ඒ නිසා ආයෙම ලංකාවට ඇවිත් ලංකාවේ පදිංචි වෙන්න තමයි මගේ කැමැත්ත.
සංගීතයට දුන්නු කාලය මදි කියලා හිතෙන්නේ නැද්ද?
මම මගේ පවුලේ අයට, මගේ පවුල් ජිවිතේට, මගේ සැමියාගේ පවුලේ අයට දුන්නු කාලය එක්ක ජිවිතේ ගැන මම ඉන්නේ සතුටින්. ඒ අතින් මම තෘප්තිමත් සහ ඒ සතුට මට තියෙනවා. සංගීතය පැත්තෙන් මම කරපු දේවල් මදි කියන එක මටත් දැනෙනවා.
බොහෝම අඩුවෙන් නිර්මාණ කරත් රසිකයෝ මට මේ දෙන ආදරේ ගොඩක් වටිනවා. ඒ රසික ආදරේ ලබද්දී අහිංසක සතුටක් ලබනවා. ඒ එක්කම මම ස්තුතිවන්ත වෙනවා මාව මේ තරම් කාලයක් මතකයේ තියන් ඉන්නවට.
