පුතා අම්මා කියද්දි ජීවිතේ දිනලා ඉවරයි කියල දැනෙනවා - මාධවී

gossiplanka image 1
සමාජ මාධ්‍යයේ අතිශයින්ම ජනප්‍රිය මාධවී ඇන්තනී සහ කසුන් හීනටිගල යුවළ මේ දිනවල නැවතත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ඔවුන්ගේ පුංචි පුතුගේ උපතත් සමඟිනි. පසුගියදා සමාජ මාධ්‍යයේ පළවූ ජායාරූප පෙළක් හේතුවෙන් නැවතත් ඔවුන් ගැන සොයා බලන්නට බොහෝ දෙනෙක් පෙලඹී ඇති බව දුටු නිසාම පුංචි පුතුගේ දඟකාරකම් එක්ක ජීවිතය විඳින මාධවීව අපේ කතාබහට එක්කර ගත්තෙමු.



මාධවී මේ දවස්වල පුංචි පුතු නිසා ගොඩක්ම කාර්යබහුල වෙලා. කොහොමද ඒ අත්දැකීම?



මම මගේ ජීවිතේ අහපු, දැකපු දේවල් කොතරම් ඇත්ද? ඒ වගේම කළ දේවල්, කළ හැකිව තිබියදීත් මඟහැරගත් දේවල් කොතෙක්ද? ඒ හැම අත්දැකීමකටම පරාදයි මේ ‘අම්මා‘ කියන හැඟීම. මේ තරම් විශාල අත්දැකීමක් ලබන්න මට මීට පෙර වාසනාව තිබුණෙ නෑ. මගේ පුතා ‘අම්මා‘ කියද්දි දැනෙන්නෙ මම ජීවිතේ දිනලා ඉවරයි කියලයි. මගෙ පුතා වෙනුවෙන්, කසුන් වෙනුවෙන් මගේ වගකීම් අකුරටම ඉටු කරනවා.


පුංචි පුතාත් එක්ක දවස ගෙවෙන්නෙ කොහොමද?


හැම දවසක්ම කුමක් හෝ අලුත් අත්දැකීමක් එක්කරනවා. පුතාගෙ සිඟිති ආලවට්ටම්වලින් ජීවිතේ ලස්සනට සැරසිලා. මුළු දවසම ගෙවෙන්නෙ පුතා එක්කමයි. රෑ නින්ද වුණත් වෙනදා තරම් දැන් සුවපහසු නෑ. රෑ දවල් නැතුව පුතාට අවශ්‍ය දේවල් සපයමින් තමයි මගෙ දවස ගෙවෙන්නෙ.


දරුවෙක් ලැබෙන්න ඉන්නව කියන්නෙ කාන්තාවකගේ ජීවිතේ ආශ්චර්යමත්ම සිදුවීම. ඒ හැඟීම ඔබට දැනුණෙ කොහොමද?



මට දැනුණෙ මගෙ හදවත වෙන ශරීරයක ගැහෙනවා වගේ හැඟීමක්. කුසේදී හුස්මකින් පවා ආරක්ෂා කරගෙන රැකගත්ත පුතා දැන් ලෝකයට නිරාවරණය වෙලා නිසා මොන තත්ත්වයන් ඔහුට අහිතකරව බලපායිද කියන බයත් දැනෙනවා. ඔහු ගැන හිතන හැමවෙලේම ආඩම්බරය මුසු සතුටක් දැනෙනවා. කාටවත් කරදරයක් නොවන, ගෞරවය පුදන්නත්, ලබන්නත් එක සේ දන්න ආදරණීය මිනිසෙක් විදිහට පුතාව උස් මහත් කරන්නයි මට ඕනෙ. ඒක අම්මා අප්පච්චි වුණු අපට පැවරුණු ලොකු වගකීමක්. මේ පණ ගැහෙන්නෙ අපේ ආදරේ නේද කියලා හිතෙද්දි මං කොතරම් වාසනාවන්තද කියල හිතෙනවා. අපි ආදරේ කරන කාලෙ හීන මැවුව විදිහෙම පුතෙක් අපට ලැබිල තියෙනවා.


පුංචි පුතා නිසා ජීවිතේ ලොකුවටම වෙනස් වුණු තැන් ඇති?


අනේ ඔව්. මමත් ආයෙ ඉපදුනා වගේ. මේක අලුත් ජීවිතයක්. මට මාව අමතක වෙලා, අතහැරිලා කියලා මට තේරෙනවා. මං මහත් වෙලා, මං ඉස්සර වගේ හැඩ නෑ, පෙනුම නෑ කියලා කණ්ණාඩිය බැලුවම මටම හිතෙනවා. ඉස්සර වගේ එළියට යන්න, කලා කටයුතුවල යෙදෙන්න මට තාම වෙලාවක් නෑ. මම තනියම මගෙ අතින්මයි පුතාගෙ හැමදේම කරන්නෙ. කසුන්ගෙ අම්මා සතියට දවසක් දෙකක් ඇවිත් මට ගොඩක් උදවු කරලා යනවා. පුතාව තාම එක රැයක්වත් මං ළඟ නැතුව තියලා නෑ. මට ලෝබයි එක තප්පරයක්වත් මිස් කරගන්න. මං ඒ තරම්ම පෙරුම් පුරලා ඇති අම්මා කෙනෙක් වෙන්න. එයා තරම් මට වෙන කිසි දෙයක් වටින්නේ නෑ.


කසුන්ගෙන් ලැබෙන සහාය ගැන කතා කළොත් ?


කසුන් එයාට පුළුවන් හැමදේම කරලා දෙනවා. ගේ දොර වැඩවලටත් මට උදවු වෙන වෙලාවල් තියෙනවා. මම එයාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි පුතා වෙනුවෙන් හැම වෙලාවකම ඉන්න කියන එක. පුතා කුසේ ඉද්දිත් කවදාවත් එකමෙක වෛද්‍ය හමුවක්වත් එයා වැරැද්දුවෙ නෑ. අදටත් පුතාවත් මාවත් තනි කරන්නෙ නෑ. ඒ වගේම කසුන්ගෙ අම්මා, අක්කා දෙන්නත් මට ගොඩක් උදවු කරනවා.


කලා කටයුතු ගැන කතා කළොත්?


අපි දෙන්නගෙ සංකලනයෙන් නිර්මාණය වුණු ගීතයක් ඉදිරියේදී එන්න තියෙනවා. ඒ වගේම කසුන්ගෙ අලුත් පොතේ චිත්‍ර අඳිනවා. ඒ දේවල් තමයි මේ දවස්වල තියෙන්නේ.


සමාජ මාධ්‍යවල පුංචි පුතුට සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?



ඔව්. ගොඩාක් ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. මගෙ පුතාට රට පුරාම නෑදෑයෝ ඉන්නවා වගේ. මේ තරම් ජනතා ආදරයක් ලබන්න මගෙ පුතා ගොඩක් වාසනාවන්තයි. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයෙන් මට දිරිය දෙන සුබ පැතුම් ගොඩක් ලැබෙනවා. ඒ ගැන මං අවංකවම සතුටු වෙනවා. මට මේ ලස්සන ජීවිතේ දුන්නට කසුන්ටත් බණින, මං ගැන මොකක්දෝ කුකුසක් තියෙන අයත් ඉන්නවා. ඒත් මං එයාලව පුද්ගලිකව දන්නෙ නෑ. එයාලා හිතන විදිහට මං එයාලගෙ කාන්තාවන්ට නරක ආදර්ශයක් වෙන්න ඇති. ඒත් මං කවදාවත් කාටවත් මං වගේ වෙන්න කියල නම් නෑ. අපි හැමෝගෙම කතා වෙනස්. අනන්‍යයි. කර්මය අනුව ඒක විසඳෙනවා. ඉතින් අද මට වුණු දේ හෙට ඔබේම කෙනෙකුට වෙන්න වුණත් පුළුවන්. ජීවිතේ කියන්නෙ හරිම කෙටි චාරිකාවක්. ඒක සැනසීමෙන් විඳලා තව කෙනෙකුට සතුට කැන්දන සිනහවකට හේතුවක් වෙලා යන්නයි ඕන.

gossiplanka image 2
Previous Post Next Post