දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මගේ උපරිම කාලය වෙන්කරලා තියෙන්නේ - මංජුලා කුමාරි.

gossiplanka image 1
‘ඕලු’ කියූ සැණින් මුළු රටක් ආදරය කරන ඒ සොඳුරු රුවැත්තිය ඔබට මතක ඇති. ඇය, ඕලු ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් පුංචි තිරයේත්, සිනමාවේත් අහිංසකාවිය මංජුලා කුමාරි. කාලෙකට පස්සේ අපි ඇය සමග කතා කළා. ඇගේ කලා දිවියේ අලුත් තොරතුරු ගැන ‘මව්රට’ ‘හාට්’ සමග ඇය කිව්වේ මේ විදියටයි. 


ඕලු කොහොමද ඉතින්?

සතුටින් ඉන්නවා අයියේ.

මේ දවස්වල කොහොමද වැඩකටයුතු?

සුපුරුදු පරිදි පවුලේ වැඩකටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කරමින් කාලය ගතකරනවා.

වෙනසකටත් එක්ක නැවත නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

තවම ඒ ගැන මට හිතිලා නැහැ. ඒ වෙනුවෙන් මට ලොකු කාලයක් වෙන්කරන්න අමාරුයි. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මගේ උපරිම කාලය වෙන්කරලා තියෙන්නේ. පසුගිය දවස්වල නම් මම පෝය ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. මොකද දැන් හැදෙන ටෙලිනාට්‍ය දීර්ඝ නිර්මාණ නිසා මට සම්බන්ධ වෙන්න අමාරුයි. ආරාධනාවලින් නම් අඩුවක් නැහැ. හිතට දැනෙන හොඳ නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණොත් සලකා බලනවා.

සිනමාවට ඔබ දැක්වූ සහාය කොහොමද?

සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘රංකොල්ල’ චිත්‍රපටයටත්, ලලිත් රෝහිත එදිරිසිංහගේ ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ නිර්මාණය සඳහාත් මම සම්බන්ධ වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ නිර්මාණ මම ගොඩක් ආශාවෙන් සම්බන්ධ වෙච්ච නිර්මාණ.

කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් රැසක් සමග මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා.

කාලයක් ඔබ නිෂ්පාදන කටයුතුවලට යොමුවෙලා හිටියා. දැන් ඒ සියල්ල නතර වෙලාද?

ඔව්, ටික කාලයක් නිෂ්පාදන වැඩකටයුතු නතර වෙලා තිබුණේ. නැවත ඒ කටයුතු පටන්ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. හොඳ නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. බොහෝ දුරට ඒ නිර්මාණයේ මමත් රඟපාවි.

මග තොටේදී හමුවන ප්‍රේක්ෂකයන්ට ඔබ දක්වන අදහස?

ගොඩ දෙනෙක් තවමත් මාව හඳුන්වන්නේ ඕලු විදියටයි. ඒ වෙලාවට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අහන දේවලට හිතට පුංචි දුකක් දැනෙනවා. හැමෝම හිතන්නේ මම කලා කටයුතුවලින් ඈත් වෙලා කියලා. ඒ ලැබෙන ආදරයට අනිවාර්යයෙන් මම නිර්මාණයක් ගැන හිතනවා. ඒ සියල්ලට පිළිතුරක් බොහෝ දුරට ඉක්මනින් ලැබේවි.

එදා දැකපු රූපයමයි අදටත්. විශේෂත්වයක් එහෙම තියෙනවද?

එහෙම විශේෂයක් නැහැ. මම එහෙම රූපලාවන්‍ය පැත්තට යන කෙනෙක් නෙවෙයි. කෘත්‍රිම දේවල් ආලේප කරන්නේ නැහැ. සමට, හිසට ස්වභාවික දේවල් එකතු කරගෙන තමයි සත්කාර කරන්නේ. සතුටින් සිනාවෙන් ඉන්න කොට නිකන්ම ලස්සන වෙනවා.


වසන්ත විතාරණගේ

gossiplanka image 2
Previous Post Next Post