කෙටි පාරවල්වල ගිහින් පවතින්න පුළුවන් කෙටි කාලයයි -සුහන්‍යා ගමගේ

gossiplanka image 2
TV දෙරණ නාළිකාවේ විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයට තාමත් ඉහළ ඉල්ලුමක් තිබෙනවා. මේ නාට්‍යයේ සෙනුරිගේ චරිතය නිරූපණය කරන සුහන්‍යා ගමගේටත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. කාලයක් නිරූපිකාවක් ලෙස කටයුතු කරපු සුහන්‍යා හදිසියේ නිළියක් වුණේ ඇයි කියන කාරණාව විමසන්නත් එක්කම අපි ඇයට කතා කළා. මේ දිනවල ඇයගේ වැඩ කටයුතුවලින්ම ඇය කතාව ආරම්භ කළා...




නිරූපිකාවක් විදිහට කටයුතු කරපු මගේ පළවෙනි රංගන අත්දැකීම තමයි සංගීතේ ටෙලි නාට්‍යයේ සෙනුරිගේ චරිතය. නිරූපිකාවක් විදිහ⁣ට වෘත්තිය පටන්ගත්තට පුංචි කාලෙ ඉඳලා මගේ අදහස තිබුණෙ රටම දන්න ප්‍රසිද්ධ නිළියක් වෙන්න. ඒ හීනය සැබෑ කරගනිමින් සංගීතේ ටෙලි නාට්‍යයෙන් රංගන ක්ෂේත්‍රයට එන්න පුළුවන් වුණා.


සංගීතේ සෙනුරිගේ චරිතය මීට කලින් වෙනත් නිළියො දෙදෙනෙක් රඟපෑවා. 






තුන්වැනි නිළිය විදිහ⁣ට ප්‍රේක්ෂකයෝ අතරට යන අභියෝගය සුහාන්‍යා භාරගත්තේ කොහොමද කියලා දැනගන්න බොහෝ දෙනෙක් කැමැති ඇති...






සංගීතේ ටෙලි නාට්‍යය ⁣ආරම්භයේ සිටම එක් නිළියකුත් ඉන්පස්සේ තවත් නිළියකුත් සෙනුරිගේ චරිතය රඟපෑවා. ඔවුන් දෙදෙනා සංගීතෙන් ඉවත්ව යාමත් එක්ක මට තියන රංගන හැකියාව මත සෙනුරිගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. සෙනුරි මගේ පළමුවැනි රංගන අත්දැකීම නිසා කැමරාව ඉස්සරහා රඟපෑම මුලින් මට නුහුරු නුපුරුදු වුණා. හැබැයි සංගීතේ අධ්‍යයක්ෂවරයා නිෂ්පාදක කණ්ඩායම සහ අනිත් නළු නිළියන්ගේ සහයෝගයෙන් සෙනුරිගේ චරිතය මම ගොඩනගාගෙන ඉදිරිපත් කළා. කලින් හිටපු නිළියන්ව අනුකරණය කරන්නෙ නැතුව මටම අනන්‍ය වුණ රංග ශෛලියකින් සෙනුරිගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න මට පුළුවන් වෙලා තියනවා කියලා විශ්වාස කරනවා.








සෙනුරි වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරවලින් මේ දිනවල සුහන්‍යාගේ හිත පිරිලා තියෙන්නේ...






 මීට කලින් සෙනුරිගේ චරිතය වෙනත් නිළියො රඟපාපු නිසා ප්‍රේක්ෂකයන්ගෙන් මුලින් ඒ තරම් හොඳ ප්‍රතිචාර ලැබුණෙ නැහැ⁣. නමුත් මටම අනන්‍ය වුණ රංගන ශෛලියකින් සෙනුරිගේ චරිතය ඉදිරිපත් කරනකොට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැ⁣බෙන්න පටන් ගත්තා. මේ වෙද්දි මම සංගීතේ සෙනුරි වෙලා අවුරුද්දකට ආසන්න කාලයක් වෙනවා. ඒ කාලය ඇතුළත ⁣කලින් රඟපාපු නිළියො දෙන්නට වැඩිය මාව රසිකයන්ට හුරුවෙලා තියනවා. ඒ මගේ රංගන හැකියාව නිසා කියලයි මම හිතන්නෙ.




රංගනයෙදී ලැබෙන විවේචන හරිම වැදගත්. ඒවා දරාගන්න ආකාරයෙන් තමා නිළියකගේ අනාගතය තීරණය වෙන්නේ...






සංගීතේ පිටපතේ සෙනුරිගේ චරිතය ගලාගෙන යන විදිහ⁣ සම්බන්ධයෙන් සමහර ප්‍රේක්ෂකයන්ගෙන් විවේචන එල්ලවෙලා තියනවා. සෙනුරිගේ ජීවිතය විනාශ කරලා රවට්ටපු ආදරය ආපහු සෙනුරි විශ්වාස කරනවා. හරි හෝ වැරැදි තමන්ගෙ පළමු ආදරය අමතක නොකර හදවතින්ම වැලඳගත්ත සැබෑ ආදරවන්තියක් සෙනුරි. ඒ විදිහෙ චරිතයකට ප්‍රේක්ෂකයන්ගේ විවේචන එල්ලවීම සාමාන්‍යයි. විවේචන කරන්න තරම් සෙනුරිගේ චරිතයට මම සාධාරණයක් කරනවා කියලා ඒ මගින් හැඟෙනවා. ඒ නිසා සෙනුරි වෙනුවෙන් ලැබෙන විවේචන මම භාරගන්නවා.




සුහන්‍යා කියන්නේ දක්ෂ නිරූපිකාවක්. සෙනුරිගේ චරිතයත් එක්ක ඇය නිළියක් වුණත් බොහෝ දෙනාට ඇයව මතක නිරූපිකාවක් ලෙස. මෙතැනින් පස්සේ ඇගේ


නිරූපණ ජීවිතයට කුමක් වෙයිද කියන කාරණය ගැන ඇය තුළ තිබෙන්නේ මෙවන් අදහසක්...






පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කළ සැණින් මම නිරූපිකාවක් විදිහ⁣ට කටයුතු කරන්න පටන් ගත්තා. Miss Universe Sri Lanka 2024 තරගාවලිය සඳහා ඉදිරිපත් වෙලා ලස්සනම මුහුණට හිමි කිරුළ ජයග්‍රහණය කරන්න මට පුළුවන් වුණා. ඊට පස්සෙ සංගීතේ ටෙලි නාට්‍යයෙන් රංගනයට ආරාධනා ලැබීමත් එක්ක නිරූපණයෙන් මම ටිකටික ඈත් වුණා. නිළියක් වෙන්න පුංචි කාලෙ ඉඳලා තිබුණ හීනය තමයි අද සැබෑවෙලා තියෙන්නෙ. ඉතින් ඒ සෑබෑ වුණ හීනය තව කලඑළි කරගෙන රංගනය ගැන අඩුපාඩු දුර්වලකම් නිවැරැදි කරගෙන දක්ෂ ටෙලි නාට්‍ය සහ සිනමා නිළියක් විදිහ⁣ට ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.




ඇයට හිමි සිහින් හැඩයේ සිරුර උපතින්ම ලැබුණ දායාදයක් කියලයි සුහන්‍යා කියන්නේ...






පුංචි කාලෙ ඉඳලා මට තිබුණෙ සිහින් හැඩයේ ඇඟක්. නිරූපණයට සහ රංගනයට වෙනම ඇඟ හදන්න මහන්සි වුණේ නැහැ⁣. ස්වභාවිකව සිහින් හැඩයේ ඇඟක් තියනවා වගේම කොච්චර කෑම කෑවත් මම වැඩිපුර මහත්වෙන්⁣නෙ නැහැ⁣. ඒ නිසා කෑම පාලනයවත් ව්‍යායාම කරන්නවත් මට අවශ්‍ය නැහැ⁣. මම හිතන්නේ මේ පෙනුම මට ලැබුණු ත්‍යාගයක්.




විලසිතාවලදි සුහන්‍යා සරාගී බව රැකගන්න නිතරම උත්සාහ කරනවා.




මම තැනට සුදුසු විදිහ⁣ට විලසිතා කරනවා. විශේෂිත අවස්ථාවලදි තරමක් විවෘත කොට⁣ ඇඳුම් හා සරල අවස්ථාවලදි ඇඟ වැහෙන දිග ඇඳුම් අඳිනවා. ඇඟ හැඩට තියනවා නම් අවස්ථාවට ගැළපෙන විදිහට සරාගී විලසිතා කළාට කමක් නැහැ⁣ කියලයි මම හිතන්නෙ. මොකද නිළියකට ලස්සන හා ආකර්ෂණය කියන්නේ හුඟක් වටින දෙයක්.




වඩාත් පහසුවෙන් වැඩ කරන්න පුළුවන් රංගන ක්ෂේත්‍රයේද? නිරූපණ ක්ෂේත්‍රයේද? කියන ප්‍රශ්නයට සුහන්‍යා මුහුණ දීලා නැහැ. නටන්න පුළුවන් නම් කොයි පොළොවත් එකයි කියලයි ඇය සිතන්නේ..







ිරූපණ ක්ෂේත්‍රයවත් රංගන ක්ෂේත්‍රයවත් කියලා වෙනසක් නැහැ. ක්ෂේත්‍රයන් දෙකේම ස්ථාවර තැනකට යන්න නම් මහන්සි වෙලා පුරුදු පුහුණු වෙලා විෂය සම්බන්ධව කැ⁣පවෙන්න ඕන. කෙටි පාරවල්වලින් ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න නම් ඕන තරම් ක්‍රම තියනවා. හැබැයි ⁣කෙටි ක්‍රම පාවිච්චි කරලා පවතින්න පුළුවනුත් කෙටි කාලයයි. හැකියාවට සහ දක්ෂතාවයටයි ක්ෂේත්‍රය තුළ සහ ප්‍රේක්ෂකයො අතර පවතින්න පුළුවන්කම තියෙන්නෙ.




බොහෝ දෙනෙක් කියනවා මේ ක්ෂේත්‍රයට ආවාම අයුතු යෝජනා එනවා කියලා. මේ කාරණාව ඇයගේ ජීවිතයට දැනුණේ කොහොමද කියන එකටත් ඇය උත්තර දුන්නා....






‘‘රංගන සහ නිරූපණ ක්ෂේත්‍රයේ අයුතු යෝජනා ආශ්‍රිත සිද්ධි ගැන වැඩිපුර අවධානයට ලක්වෙන්නෙ හැමෝගෙම නෙත ගැටෙන ප්‍රසිද්ධ ක්ෂේත්‍රයන් නිසයි. ඕනෑම ක්ෂේත්‍රයකදී හැකියාව සහ දක්ෂතාවය තියනවා නම් කාගෙවත් අයුතු යෝජනාවලට අවනත වෙන්න ඕන නැහැ⁣. හැකියාවට සහ දක්ෂතාවයට ඕන තැනක අවස්ථාව තියනවා. නිරූපිකාවක් නිළියක් විදිහ⁣ට කටයුතු කරනකොට මටත් අයුතු යෝජනා ආපු අවස්ථා නැතුව නෙමෙයි. ඒ විදිහෙ අවස්ථාවලදී මම කෙරුවේ හැකි ඉක්මනින් එතැනින් ඉවත් වෙලා දක්ෂතාවයෙන් හැකියාවෙන් විතරක් ඉදිරියට යන්න පුළුවන් මාර්ග තෝරාගැනීමයි. ඒ විදිහ⁣ට ⁣බුද්ධිමත්ව කටයුතු කරපු නිසා අද වෙද්දී යාම් තාක් දුරකට ක්ෂේත්‍රයේ ස්ථාවරය හදාගෙන ඉන්නවා.




පවුලෙ අයගෙන් සුහන්‍යාට ලැබෙන සහයෝගය ගැන නම් ඇය තුළ තිබෙන්නේ ඉහළ ප්‍රසාදයක්...






අම්මායි තාත්තායි ඇතුළු පවුලේ සියලුම දෙනා මට ලොකු සහයෝගයක් දෙනවා. නිරූපිකාවක් විදිහ⁣ට Miss Universe Sri Lanka 2024 තරගයට සහභාගි වුණ කාලෙයෙදීත් අම්මා තරගය පැවැත්වෙන ස්ථානයට පවා ඇවිත් මාව දිරිමත් කරවලා ඉදිරියට යන්න උනන්දු කළා. නිරූපණ කටයුතුවලින් පසුව රංගන ක්ෂේත්‍රයට ආවාමත් එයාලා මට ලොකු සහයෝගයක් දිරිමත් කිරීමක් කරනවා රංගනයෙන් ඉස්සරහට යන්න කියලා. මගේ හැකියාව හඳුනන සහ මගේ කැමැත්තට ඉඩදෙන පවුලක් ලැබීම සම්බන්ධයෙන් මම වාසනාවන්තයි කියලා විශ්වාස කරනවා.




නිළිය කියන භූමිකාවෙන් මිදුණට පස්සේ සුහන්‍යා කියන්නේ බොහෝම සරල කෙනෙක්...






දක්ෂ රංගන ශිල්පිනියක් වීමේ ඉලක්කය අරමුණු කරගෙන ඒ ඉලක්කය සපුරගන්න දිනෙන් දින මම තුළ තියන දුර්වලකම් අඩපාඩු නිවැරැදි කරගෙන හැකියාව වර්ධනය කරගන්න ගමන් කාගෙත් එක්කත් සුහදව කටයුතු කරන සරල විදිහ⁣ට හිතන පතන කටයුතු කරන කෙනෙක්.




ආදරය කියන කාරණයේදි සුහන්‍යා කියන්නේ සෙනුරි වගේ චරිතයක්ද කියලා බොහෝ දෙනා සිතනවා...






මිනිස්සු විදිහ⁣ට සමාජය තුළ ජීවත් වෙන්න අපිට එකිනෙකාගේ ආදරය අවශ්‍යයයි. ඒ නිසා මමත් ආදරය විඳින්න කැමැති ආදරය කරන්න කැමැති කෙනෙක්. මේ වෙද්දි අම්මා තාත්තා ඇතුළු පවුලෙ අයගෙනුත් ⁣රසිකයන්ගෙනුත් ආදරය ලබනවා. ඒ ඇරෙන්න වෙනත් විශේෂ කෙනෙක්ගෙන් නම් මම තවම ආදරය විඳින්නෙ නැහැ⁣. ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්න කලින් වෘත්තීමය අතින් ස්ථාවරයකට පත්වෙන අරමුණකයි මම ඉන්නෙ. දැන්ම ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන්න පටන් ගත්තොත් ඒ අරමුණට බාධාවෙන්න පුළුවන්. ඒ නිසා ආදරය ගැන පස්සෙ හිතනවා. කොහොමත් මම සෙනුරි වගේ තීරණ ගන්න කෙනෙක් නෙවේ.




ආදරයෙදී අනිත් යුවතියෝ වගේම සුහන්‍යා බලාපොරොත්තු වෙන දේවල් කීපයකුත් තියෙනවා...






මගේ ජීවිතයේ වැඩ කටයුතුවලට සහයෝගය, නිදහස සහ විශ්වසනීයත්වය ලබාදීම තමයි ආදරයේදී බලාපොරොත්තු වෙන්නෙ. ඒ දේවල් ලබාදෙන නළුවෙක් නොවන සාමාන්‍ය සරල පිරිමි ළමයෙක් සමග ආදරය කරන්නයි මගේ අදහස තියෙන්නෙ. නළුවො, අධ්‍යක්ෂවරු ඇතුළු ක්ෂේත්‍රයේ ඉන්න අය සමග වෘත්තීමය තත්ත්වයෙන් විතරක් සම්බන්ධතා පැවැත්විය යුතුයි කියන මතයකයි මම ඉන්නෙ. සමහර නිළියො නම් රංගනයෙන් ඉදිරියට යන්න ක්ෂේත්‍රයේ අයත් එක්ක සම්බන්ධතා පවත්වනවා. එවැනි තත්ත්වයට පත්වෙන්නෙ නැතුව මම කැමැතියි වෙනත් ක්ෂේත්‍රයක කටයුතු කරන සාමාන්‍ය සරල පිරිමි ළමයෙකු⁣⁣ට ආදරය කරන්න.  

gossiplanka image 1
Previous Post Next Post