
ඒ අනුව දමිතා අබේරත්න, ඉනෝකා සත්‍යාංගනී අධ්‍යක්ෂණය කළ ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටයේ ‘රතී’ගේ චරිත නිරූපණය කිරීම නිමිත්තෙන් හොඳම නිළිය ලෙස තෙවරක්ම අන්තර් ජාතික සම්මාන උලෙළවලදී සම්මානයටත් (බංගලාදේශ්, තම්ල්නාඩු, ජපන්) ගෞරවයටත් පාත්‍ර වෙද්දී, ශ්‍රී ලංකාවේදී ඇය හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නේ ඕ.සී අයී.සී. සිනමා උත්තමාචාර උලෙළේ දි ‘දකින දකින මල්’ නමැති ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටයේ ගැටකපන්නියක ලෙස කළ රංගනය නිමිත්තෙනි.
බොහෝවිට සිනමා සම්මාන උලෙළවල ජනප්‍රියවාදී සිනමා රැල්ලේ චිත්‍රපට සම්මානනීය මට්ටමින් නොසලකා හැරෙන අතර ඕ.සී අයි. සී සිනමා උලෙළේ ජුරිසභිකයින්ට දමිතාගේ රංගනය නොතකා හැර සිටින්නට නොහැකි තරම් ප්‍රශස්ත විය. ‘දකින දකින මල්’ වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි.
දමිතා අබේරත්නට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක වඩා පුළුල් පරාසයක සිට ස්වකීය කුසලතා ඉහළින්ම ප්‍රකට කරන්නට අවස්ථාව ලැබෙන්නේ ‘සුළං කිරිල්ලි’ චිත්‍රපටයේ ‘රතී’ගේ චරිතයෙනි.
නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුළ යන්ත්‍ර සූත්‍රවල ඇන මුරිච්චි බවට පත්ව ශ්‍රම වහලුන් ලෙස අතිශය සූරාකෑමට බඳුන්වූ තරුණියන් අතර ‘රතී ද’ විය. ගමෙන් නගරයට අවුත් ස්වකීය අනාගත ජීවත අපේක්ෂාවන් ජය ගැනීමට අවශ්‍ය මුදල් ඉපැයීම උදෙසා දිවා රෑ කර්මාන්ත ශාලා තුළ ශ්‍රමය වැගිරවූ එම තරුණියන් ඉඩ ලැබුණු මඳ විවේකයෙන් ස්වකීය මානසික ආතතිය මඟහරවා ගැනීම සඳහා බාහිර සමාජය සමඟ පැවැත්වූ සබඳතා ඇසුරින් උපසංස්කෘතියක් ද නිදහස් වෙළෙඳ කලාප ආශ්‍රිතව ගොඩනැගුණේය. එම උප සංස්කෘතිය තුළ ඔවුන්ට අවශ්‍ය විනෝදය සැපැයුණේ එවකට පැවති බහුලව අලෙවි වූ මල් පත්තර, ලිංගික ප්‍රකාශන, චිත්‍රකතා, වීඩියෝපට, සංගීත සංදර්ශන ආදිය ඔස්සේය. ජීවිතාවබෝධයකට මංපෙත් නොපාදවන එකී සරල විනෝදාත්මක මාධ්‍ය ඔස්සේ පොම්ප කෙරුණු ස්වප්න ආකල්ප මත ගොඩනැගුණු ඔවුනගේ ෙප්‍ර්ම සබඳතා, ලිංගික සබඳතා, විවාහ සබඳතා අතරමඟ කඩා ඉහිරී යන්නට විය.
ඉනෝකා සත්‍යංගනී යථොක්ත සමාජ, සංස්කෘතික ඛේදවාචකය මැනවින් ග්‍රහණය කරගනිමින් ‘රතී‘ගේ චරිතය තුළින් තරුණියන් ගොදුරු වූ ශෝචනීය තත්ත්වය ඔස්සේ පුළුල් සමාජ කතිකාවකට මුලපිරුවාය.
නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිත පුරුෂ සමාජය ස්වකීය ලිංගික සංතර්පණය උදෙසා මුදාහරින සුලබ ‘ප්‍රේමයේ ’ ගොදුරක් වන ‘රතී’ තම පෙම්වතා සමඟ හෘදයෙන්ම බැඳෙන්නේ යුවතියක ලෙස අනාගත සිහින පොදි බැඳගෙනය. ඒ නිසාම බියෙන්, සැකයෙන් තොරව තම පෙම්වතා සමඟ නිදහස් ලිංගික ඇසුරකට ද පෙළඹෙන ඇය ඔහු නිසා හටගත් දරුගැබ මහත් සෙනෙහසින් රැක ගනිමින් තමා විවාහ කරගන්නා ලෙස යෝජනා කරයි. එහෙත් දරුගැබ ගැන සැල කළ පමණින් පෙම්වතා යෝජනා කරන්නේ එය විනාශ කිරීමටය. දෙදෙනා අතර ගැටුම දුරදිග යද්දී ඔහු විවාහකයකු බව ද රතී සොයා ගනී. එය හෙළිදරව් වීමෙන් පසුව වුවද පෙම්වතා සමඟ දිගින් දිගටම සබඳකම් පවත්වන්නට ඇය පෙළඹෙනුයේ තම සුරක්ෂිතභාවය නිසාමය.
අවසානයේ අනාගත සුබ සිහින බොඳවෙද්දී ඇයගේ දරුගැබ මෝරා එයි. සමාජයෙන් ද වසන්වී ජීවත් වූ ඇයට අවසානයේදී සිය දරු ගැබ ප්‍රසූත කරන්නට සිදු වන්නේ වැසිකිළි වළක් තුළටය.
චිත්‍රපටය පුරා රතී මුහුණදෙන මේ කඨෝර අත්දැකීම්, විශ්වසනීය ලෙස මුදාහරින්නට දමිතා සමත් වෙන්නේ එම චරිතයේ අභ්‍යන්තර මනෝභාවයන් භාව ප්‍රකාශනයක් ලෙස සිය සතර වැදෑරුම් අභිනයන් මෙහෙයවමිනි. විශේෂයෙන් ඇයගේ ආංගික, වාචික සහ සාත්වික අභිනයන් රතී මුහුණ දෙන සුඛාත්මක හා ශෝකාත්මක භාවයන් විදාරණය කිරීමේදී මැනවින් යොදා ගන්නට දමිතා සමත් වෙයි. විශේෂයෙන් දමිතාගේ මුහුණ භාවයන් ප්‍රකාශ කිරීමේ කැටපතක් බඳුය. ඒ ඔස්සේ සතුට සන්තාපය, කෝපය, ද්වේෂය මෙන්ම උපේක්ෂාව ද දැනවීමේදී ඇය ස්වකීය ඉංගිතයන් විහිදුවන ආකාරය ප්‍රශස්තය.
රතී, සිය දරුගැබ ලෝකයට හොරා වැසිකිළි පිළිබඳ වළට මුදා හැරීමේ අසීරු රංගනය ඇයට උපදෙස් දෙන්නට තරම් අත්දැකීමක් අධ්‍යක්ෂ ඉනෝකා සත්‍යාංගනීට නොවූ බව ඇය වරක් මා සමඟ කළ සාකච්ඡාවේදී හෙළි කළාය.
“රතී” දරුගැබ දරාගෙන සිටියේත් හොර රහසේය. ඒ නිසාම පෙම්වතාවත් ළඟ නොමැති රැයක විලිරුදාව හැදුණු අවස්ථාවේදී ඇයට හඬ නඟා කෑගහන්න වත් කාගේවත් පිහිටක් පතන්නවත් බෑ. ස්වාභාවික ලෙස දරුවකු ප්‍රසූත කරන්නේ කෙසේද යන්න මාවත්, දමිතාවත් දැන සිටියේ නෑ.
ඒ අවස්ථාවේදී මා ඇයට උපදෙස් දුන්නේ ශරීරය ඇතුළේ මාරාන්තික වේදනාවක් දෙන බරකින් නිදහස් ෙවන්න මොනවගේ පරිශ්‍රමයක් ද දැරිය යුත්තේ කියන එක සිහියේ තබා ගන්නා ලෙසයි. ශරීරය අැතුළේ වේදනාව, පීඩාව කොහොමද ඒ වගේ අවස්ථාවකදී එළියට එන්නේ කියන එක සිහිපත් කරගෙන රංගනය සිදු කරන ලෙසයි මා ඇයට උපදෙස් දුන්නේ. ඒ වගකීම බාරගෙන ඒ මොහොතේ දමිතා කළ අසීරු රංගනය ජාත්‍යන්තර සිනමා උලෙළෙකදී විශේෂයෙන් කතාබහට ලක් වුණා.” සැබැවින්ම දමිතා ඒ අසීරු රංගනය කළේ ඇයගේ පරිකල්පනයේ ශක්තියෙන්ම බව ඉනෝකාගේ ප්‍රකාශයෙන් පැහැදිලිය.
රංගවේදියකුට හෝ වේදිනියකට රංගනයේදී පරිකල්පනය කෙතරම් වැදගත්ද යන්න මේ කාරණයෙන් පැහැදිලි වෙයි. එසේම එය රංගනය යනු ආශ්චර්යවත් කායික හා මානසික ක්‍රියාවලියක් බව ද සනාථ කරවයි.
