
රිද්ම් ඔෆ් ද ගිටාර් හි ඔබයි කතා නායකයා එහෙමත් නැත්නම්, ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ජිවය දෙන්නේ ඔබ. කොහොමද මේ අවස්ථාව ලැබුණේ.
ඇත්තටම මේ අවස්ථාව ලැබෙන්නේ රුවන් කොස්තා මහතා හරහා. එතුමාව මුලින්ම මට හමුවෙන්නේ වෙළඳ දැන්වීමක දී. එතැනදී මාව හඳුනාගෙන තේජා ඉද්දමල්ගොඩ මහතාට මාව යොමු කළා. මොකද ඒ වෙද්දී මේ සිනමා නිර්මාණය සඳහා ගොඩක් අයව සම්බන්ධ කරගෙන යමින් සිටි නිසා. තේජා ඉද්දමල්ගොඩ මහතා හමුවෙලා කතා කළාම එතුමා මා ගැන බලාපොරොත්තුවක් තියා ගත්තා. ඒ හරහා නිෂ්පාදකවරයා ඇතුළු සමස්ත කණ්ඩායමටම මාව හඳුන්වා දෙනවා. මට මේ අවස්ථාව ලබා දුන් තේජා ඉද්දමල්ගොඩ මහතාටත් මාව ඔහුට හඳුන්වා දුන් රුවන් කොස්තා මහතාට සහ මා කෙරෙහි විශ්වාසය තියපු තුසිත විජයසේන නිෂ්පාදකතුමාටත් ස්තුතිවන්ත වෙනවා.
ක්ලැරන්ස් විජේවර්ධන කියන චරිතෙටයි ජීවය දෙන්න වෙන්නෙ කියද්දී මුල්වරට දැනුනු හැඟීම විස්තර කළොත්?
මට හිතා ගන්න බැරි වුණා. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සින්දු අපි පුංචි කාලේ ඉඳන් අපේ ගෙවල්වල නිතර ඇහුණා. එතුමන්ගේ සංගීතය අපේ ජිවිත එක්ක සම්බන්ධ වෙලා තිබ්බා. මගේ අම්මා අප්පච්චි එතුමාගේ ගීතවලට සහ සංගීත රසයට එදා වගේම අදත් ප්‍රිය කරනවා. එවැනි චරිතයක් මට කරන්න ලැබීම ලොකු ආශීර්වාදයක්. මම හැමවිටම උත්සහ කළා මේ නිර්මාණය හරහා උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න.
අමතක කරන්න බැහැ මෙහි සොඳුරු අධ්‍යක්ෂවරයා තේජා ඉද්දමල්ගොඩ. ඔහු ගැන මතක් කළොත්?
ඇත්තටම තේජා ඉද්දමල්ගොඩ කියන්නේ මගේ සිනමා ගමනේදී බොහොම සංවේදී කාරණාවක්. තේජා අයියා මට මගේ ගමනට හිටිය ලොකු මාර්ගෝපදේශකයෙක් කිව්වොත් හරි. මම බොහොම ආදරේ කරන ප්‍රිය කරන චරිතයක්. තාත්තා කෙනෙක් වගේ හරි ලස්සනට මාව මේ නිර්මාණයට යොදා ගනිමින් මගෙන් ගන්න ඕනේ දේ උපරිමයෙන් ගන්න උත්සහ කළා. අධ්‍යක්ෂවරයෙක්ට වැඩිය යමක් මම ඔහුගෙන් දැක්කා. එතුමා ගැන අද මතක් කරන හැම වාරයකදීම මම ගොඩක් සංවේදී වෙනවා. එතුමා අසනීපයෙන් ඉන්න කාලෙත් මම එතුමාව බලන්න ගියා. පුළුවන් හැම වෙලාවකම කතා කළා. අවාසනාවන්ත විදියට එතුමා අපි අතරින් සමුගෙන ගියත් එතුමා කලාවට දායාද කරලා ගිය නිර්මාණ හෙටටත් ප්‍රේක්ෂකයින් අතර රැඳී තියේවි. එතුමාගේ මතකය සදාදරණිය මතයක් අපේ හිත්වල.
සින්දුමය සිනමා නිර්මාණයක් නිසා අමතක නොවන මතකයන් ඇති නේද?
අමතක නොවන මතකයන් ගොඩක් තියෙනවා. තේජා ඉද්දමල්ගොඩ කියන සොඳුරු අධ්‍යක්ෂවරයා එක්ක වැඩකරගෙන යද්දී අපට දැනුණේ නැහැ චිත්‍රපටයක රූ ගත කිරීම් සිදු වෙන්නේ කියලා. බොහෝම සුහදව සතුටින් කාලය ගත කරපු කාල පරාසයක් තිබුණේ. මේක සංගීතමය සිනමා නිර්මාණයක් නිසා සංගීත වටපිටාවක් එක්ක අපේ මනස හදලා තියන්න තේජා අයියා ගොඩක් උත්සහ කළා. සින්දු නිතර ඇහෙන්න සැලැස්සුවා. ක්ලැරන්ස් චිත්‍රපටය මගේ ජිවිතේ හරිම සුන්දර මතක ගොඩක්.
පළමු සිනමා අත්දැකීම මෙය වීම ගැන අද මොකද හිතෙන්නෙ?
පළමු සිනමා අත්දැකීමම මෙවැනි සිනමා නිර්මාණයක් වීම ගැන තියෙන්නේ නිහතමානී සතුටක්. මේ නිර්මාණය හරහා ප්‍රේක්ෂකයින් ආදරේ කරන ක්ලැරන්ස් විජේවර්ධන වැනි දැවැන්ත චරිතයක් නිරුපණය කරන්න ලැබීම භාග්‍යයක්. බොහොම සතුටුයි මෙවැනි සිනමා නිර්මාණයක් හරහා සිනමාවට එන්න ලැබීම.
ඉදිරියට එන්න තියෙන සිනමා නිර්මාණ මොනවද?
විනෝෂා කිරිවන්දෙණිය අධ්‍යක්ෂණය කළ ‘හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්‘ සිනමා නිර්මාණය එන්න තියෙනවා. එය නිෂ්පාදනය කළේ විජේන්ද්‍රන් වොට්සන්. එයත් බොහොම ලස්සන නිර්මාණයක්. මේ වෙද්දී ජාත්‍යන්තර ඇගයීම් කිහිපයක් ලබලා තියෙන සිනමා නිර්මාණයක්. එහිත් මම ප්‍රධාන චරිතේ නිරූපණය කළේ. බොහොම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා ඒ සිනමා නිර්මාණයත් තිරගත වෙනකම්.
වෙළෙඳ දැන්වීම් හැරුණු කොට සිනමාව පමණද ඔබ භාර ගන්නෙ?
ඔව්. දැනට මම රැකියාවක් කරන ගමන් කලාව කරගෙන යන්නේ. ඒ නිසා කාර්යබහුල කාලයක් ගත කරන්නේ. මේ වෙද්දී සහ ඉදිරියටත් වෙළඳ දැන්වීම් සහ නිරූපණ ශිල්පියෙක් විදියට කටයුතු කරනවා. ඒක තමයි මම ආසම කරන දේ. ඒ හැරුණු කොට සිනමාව තමයි මම කැමතිම තැන.
කලාවේ ඔබේ අරමුණ මොකක් ද?
මට තියෙන්නේ බොහොම ඉවසීමෙන් හෙමින් යන ගමනක්. ප්‍රේක්ෂකයා තුළ මතක හිටින චරිතයක් විදියට ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ එකම අරමුණ.
මේ කතාබහ අවසානයේ ප්‍රේක්ෂකයින් ට මොනවගේ ඇරයුමක් ද කරන්නෙ
දැනට මාව සිනමාවෙන් දකින්න ලැබෙන්නේ ‘රිද්ම් ඔෆ් ද ගිටාර්‘ සහ හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ් සිනමා නිර්මාණ දෙක තුළින්. ඒ අතර මගේ පළමු සිනමා නිර්මාණය වන තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළ ‘රිද්ම් ඔෆ් ද ගිටාර්‘ සිනමා නිර්මාණය ජූනි 27 වැනිදා සිට තිරගත වීම ආරම්භ වෙනවා. හැමෝටම ආරාධනා කරනවා ‘රිද්ම් ඔෆ් ද ගිටාර්‘ සිනමා නිර්මාණය බලන්න එන්න. ඔබේ අදහස් ගුණ දොස් කියන්න. ඉස්සරහටත් සිනමාව වෙනුවෙන් ප්‍රේක්ෂකයා වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආදරේ කරන හැම දෙනාටම ආදරෙයි.
