මගේ අලුත්ම නිර්මාණය ‘ද ලේක්’ - සේමිණි ඉද්දමල්ගොඩ

gossiplanka image 1
ඇය කිසිවිටෙකත් තිරයේ අහිංසකාවිය, නපුරු ගැහැනිය, ආදරවන්තිය ආදී චරිතයන් තුළින් ලේබල් ගැසුණේ නැත. නමුත් ඇය කඳුළු උනන තරම් හිනැස්සූ රෝෂිනී විය. තවත් විටෙක ඇය තමන්ගේ හැඟීම් එක්ක සටන් කළ කුමාරි විය. එසේම විසි අට චිත්‍රපටියේ සුද්දි විය. එසේ පණ පෙවූ භූමිකාවන් අමරණීය කරන්නට තරම් හැකියාවක් ඇය සතු විය. අද රසඳුන කතාබහ එකී අපූරු රංගන ශිල්පිනිය සේමිණි ඉද්දමල්ගොඩ සමඟයි.


කොහොමද මේ දවස්වල ජීවිතේ…


මම නිෂ්පාදනය කළ” ද ලේක්” රූපවාහිනි නාලිකාවේ විකාශනය වෙන්න පටන් ගත්තා. ඉදිරි වැඩ කටයුතු සිදුවන්නේ එකී නිර්මාණයත් සමඟයි.


සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ සෘජු කෙළින් කතා කරන කෙනෙක්. පුළුල් සමාජයක් එක්ක ගනුදෙනු කරනකොට ඒ ගතිගුණය බාධාවක් වුණේ නැද්ද?



කොහේ කොහොම ජීවත් වුණත් මම මං වෙන්න ඕනේ. එසේ තමන් ජීවත්වන පරිසරය ගොඩනඟා ගත යුත්තේත් තමන්මයි. ඒ නිසා එම ගති ගුණ වෙනස් කරන්න අවශ්‍යයි කියල කිසි විටෙකත් මට දැනිලා නැහැ. මොකද මම වෙනස් වෙන්න ඕනේ මගේ ගතිගුණ නිසා කාට හරි කරදරයක්, වදයක් වෙනව නම් විතරයි.


කාලෙකදී ඔබ නිහඬ වෙනවා. තවත් කාලෙකදී ඔබ කරළියට එනවා. එය ඔබ හිතාමතා අනුගමනය කරන ප්‍රතිපත්තියක්ද?


මම වැඩ කරන්නේ මට දැනිච්ච නිර්මාණවල විතරයි. උඩුගම් බලා පිහිනන්න හැමෝම කැමති වුණත් එය කරන්න හැමෝටම බැහැ. විශේෂයෙන් අපේ වගේ රටක වෘත්තිය රංගන ශිල්පීන්ට එය කරන්න අපහසුයි. මොකද ආරාධනා කරන නිර්මාණවලට දායක නොවුණොත් එයාලගේ ජීවිකාව කිරීම අපහසුයි. මම රඟපාන්නේ මෙය රැකියාවක් ලෙස සලකා නෙමෙයි. මගේ හැකියාවට, ආසාවට තැනක් ලැබෙනවා නම් විතරයි මම එය කරන්නේ. ඒ නිසා මට දැනිච්ච නිර්මාණවල විතරයි මම රඟපාන්නේ. එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වුණේත් අවුරුදු හතකට පසුවයි. එසේ තෝරා බේරා ගත් වගේම මට දැනුණු නිර්මාණවලට විතරයි මම දායක වෙන්නේ.



ඔබ තිරයේ අහිංසකාවියවත්, නපුරු ගැහැණියවත්, ආදරවන්තියවත් වෙලා නැහැ. එවැනි කොටු කිරීම් වලින් ඔබ පිට පැන්නේ කොහොමද?


තෝරා බේරා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙසයි එවැනි කොටු කිරීම්වලට මම හිර වුණේ නැත්තේ. හැමෝටම අඬන එක වගේම හිනාවෙන එකත් කරන්න පුළුවන්. ඒත් ප්‍රහසන කාර්යය කරන්න හැමෝටම බැහැ. ලෝකේ අමාරුම දේ තමයි කෙනෙකුට සතුටක් හිනාවක් දෙන එක. හරිම සතුටුයි කියන්න. මම ඒ කාර්යය අකුරටම ඉෂ්ට කළා. මේ වෙනකොට එයර්ස් බොස් නිම වෙලා වසර දහ අටකට ආසන්නයි. තාමත් පුංචි ළමයි මට රෝෂිනි මැඩම් කියලා කතා කරනවා. ඒවගේම නේත්‍රා මංගල්‍යය ටෙලි නාට්‍යයේ පුන්නි පුතේ කියලත් මට කතා කරනවා. එසේ චරිතවල නම් වලින් මට කතා කරන එක තුළම මම ඒ චරිත වලට සාධාරණයක් කළා කියලා ඔප්පු වෙනවා. ඒ නිසා ඒ ගැන මම නිහතමානී සතුටක් ලබනවා.


වර්තමානයේ ප්‍රේක්ෂකයන්ට චරිත වගේම නිර්මාණ මතක හිටිනවා ඉතාමත් අඩුයි. ඇයි එහෙම වෙන්නේ…



මේ පරපුර ගොඩක් වෙනස්. එයාලා ගනුදෙනු කරන්නේ අලුත් තාක්ෂණයත් සමඟයි. බොහොමයක් දෙනාට තාක්ෂණය වඳුරාට දැළිපිහිය ලැබුණා වගේ. එය සමබර කරන්න එයාලට දැනුමක් නැහැ. මෑත කාලයේදී බොහොම දක්ෂ කෙල්ලො, කොල්ලෝ ටිකක් රංගන ක්ෂේත්‍රයට එක්වුණා. එයාලට ලස්සන අනාගතයක් තියේවි කියල අපිි හිතුවා. නමුත් එයාලා විහින්ම පොර කියලා ඇඳගන්නවා. ඔවුන් නැතිව ටෙලි නාට්‍ය, චිත්‍රපට බිහි නොවෙයි කියලා එයාලා විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් එම රංගන ශිල්පීන්ව ඩිමාන්ඩ් කරන්න විස පොවනවා. යම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ඩිමාන්ඩ් කරන්න අවශ්‍යයි. නමුත් එය යම් සීමාවකට කළ යුතුයි. වර්තමානයේ ඇතැම් රංගන ශිල්පීන්ට අවශ්‍ය සමාජ මාධ්‍යවල කැපී පෙනෙන්න විතරයි. නිර්මාණවලට කැපකිරීමක් කරන්න ඔවුන්ට බැහැ. යම් නිර්මාණයක් මිනිසුන් හොඳින් වැලඳ ගත් පසුව ඔවුන්ව ඒ තැනට ගෙනාපු පිරිසත් ඔවුන් අමතක කරනවා. ඔවුන් හැසිරෙන්නේ තනියෙන් ආපු ගමනක් විදිහටයි. ඒ වගේම රංගන ශිල්පීන්ට වැරදි සහකරුවන් හා සහකාරියන් සම්බන්ධ වුණාම ඔහු හෝ ඇය මෙතෙක් ආ රංගන ගමන උඩු යටිකුරු කර, මඟ අහුරවනවා. නැත්නම් වැරදි භාවිතයන්ට ඇබ්බැහි කරවා නොමඟ යවනවා. මෑත කාලයේ බිහි වූ දක්ෂ රංගන ශිල්පීන් බොහොමයක් එවන් අවාසනාවන්ත සිද්ධීන්වලට මුහුණ දෙනවා අපි දැක්කා.



ඔබ ජනතා සම්මානයෙන් නිතර පිදුම් ලැබුවත්, කලා ක්ෂේත්‍රයේ ඔබ ඇගයීමට ලක් කලා මදියි කියා මට හිතෙනවා. ඔබත් ඉන්නේ ඒ හැඟීමේමද?


ඔව් ඒක ඇත්ත. මේ අවුරුදු විසි ගානටම ජනප්‍රිය නිළිය සම්මානය ලබන්න ලිස්ට් එකේ වත් මම ඉඳලා නැහැ. ඒ ලිස්ටවල නොහිටියට මිනිස්සු අතර මම ඉන්නවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මට කිසිම දුකක් නැහැ. සුමති හා රයිගම් සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මානය මට හිමි වුණේ ‘‘එයා දැන් බැඳලා” ටෙලි නාට්‍යයට පමණයි. වේදිකාවෙත් හොඳම නිළිය සම්මානය වරෙක මට හිමි වුණා. සිනමාවෙත් හොඳම නිළිය ජනාධිපති සම්මානය මට හිමිවුණා. ටෙලි නාට්‍යවලත් නිර්දේශිත නාම ලැයිස්තුවේ හොඳම නිළිය සම්මානයට නිර්දේශ වී තිබුණා. නමුත් ‘එයා දැන් බැඳලා‘ ටෙලි නාට්‍යයට හිමි සම්මානය මට ලැබුණේ වසර විසි ගණනකට පසුවයි. නමුත් ඒ ගැන හිතමින් මම පසුතැවුණේ නැහැ. මම හැමතිස්සෙම උත්සාහ කළේ තවත් මාව ඔපමට්ටම් කරගන්නේ කෙසේද යන්න පමණයි. මට ඒ සම්මානය ලැබුණත් මම තමයි පොර කියලා තාම මට හිතුනෙත් නැහැ.


ඔබගේ රංගන පරාසය තුළ ඔබ උපරිමයක් කළා කියා විශ්වාස කරනවද.


ඔව්. අනිවාර්යෙන්ම මට ලැබුණු හැම චරිතයකටම උපරිම සාධාරණයක් මම කරන්න උත්සාහ කළා. මීට වඩා වෙනස් චරිතයක් ලැබුණානම් වඩාත් හොඳට කරන්න පුළුවන්කම තිබ්බා කියා මට හිතිලා නැහැ. යකඩ පිහාටු චිත්‍රපටියේ මට තිබුණේ දර්ශන වාර හතක් පමණයි. නමුත් ඒ චරිතයට සරසවි සම්මාන මට හිමිවුණා. යකඩ පිහාටු චිත්‍රපටියේ මම කළ ඒ චරිතය අද කළා නම් ඊට වඩා හොඳට කරාවි කියලා මම හිතන්නේ නැහැ. මොකද එම චරිතයට මගේ උපරිමය කරලා ඉවරයි.


මාද නුඹමය, ස්වයංජාත වැනි නිර්මාණ වලදී ඔබ අදහාගත නොහැකි තරම් කැප කිරීම් කරනවා. නිර්මාණයක් වෙනුවෙන් ඒ තරම් කැප කිරීමක් කරන්නේ කොහොමද?


මට කරන්න තියෙන්නේ දර්ශන වාර එක දෙක ද අදාල නැහැ. මම එම නිර්මාණය වෙනුවෙන් කළ හැකි උපරිමයක් කරනවා. එක නිර්මාණයකදී මම හිස මුඩු කිරීමක් කළා. මම හිතුව විග් එකක් දැම්මොත් ඒ චරිතයට දැනෙන හැඟීම මට හරියාකාරව දැනෙන එකක් නැහැ කියලා. යම් චරිතයක් වෙනුවෙන් දැනෙන හැඟීම ගතට වගේම මනසටත් දැනෙන්න අවශ්‍යයි. එසේ ලොකු හෝ කුඩා චරිතයක් ලැබුණත් ඒ වෙනුවෙන් උපරිම කැප කිරීමක් කරන්න මම සූදානම්.



වයසට යන්නැති පෙත්තක්වත් බොනවද? කොහොමද ඔය තරම් ලස්සනට ඉන්නේ….



මම වෙනස් වෙලා නැත්තේ නැහැ. වෙනස් වෙලා තියෙනවා. මම හිතන්නේ මගේ වයස නොපෙනෙන එකම බෙහෙත මගේ හැඟීම් ඒ මොහොතේම මුදා හැරීම කියලායි. මට දුක හිතෙන වෙලාවට අඬනවා. සතුටින් ඉන්නකොට කෑ ගහලා හිනා වෙනවා. මට කේන්ති ගියාම ඒ තරහා මම පිට කරනවා. ස්ට්‍රෙස් කියන වචනය මගේ ජීවිතේ ගෑවිලාවත් නැහැ. හැබැයි ඒ කියන්නේ මට ප්‍රශ්න නැහැ කියන එක නෙමෙයි. මටත් සල්ලි නැති වෙලා තියෙනවා. වාහනේ ලීසින් එක ගෙවා ගන්න බැරුව අසරණ වෙලා. වාහනයට පෙට්‍රල් ටිකක්වත් ගහගන්න සල්ලි නැතිවෙලා තියෙනවා. ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවනකොට බාහිර පෙනුමෙන් ඒක පේනවා. ඒ වගේම හොඳට වතුර බීලා, ශරීර සෞඛ්‍ය ගැන හිතනකොට ලස්සන රඳා පවත්වගන්න අමාරු නැහැ.


ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ එකම බලාපොරොත්තුව ධම්මික මැරෙන්න කලින් ඇස් පියා ගන්න එක. මොකද ගෙදර ලයිට් බිලක් වතුර බිලක් ගෙවා ගන්න තියා මෙලෝ හසරක් මම දන්නේ නැහැ. ඒ නිසා ධම්මික නැතුව තත්පරයක්වත් මට ජීවත් වෙන්න බැරිවෙයි

gossiplanka image 2
Previous Post Next Post