
ශ්‍රියන්ත මෙන්ඩිස් මේ දවස්වල 12 වැනි කාමරය අරින්න ට්‍රයි කරනවා කියන්නේ?
ඇත්තම කාරණාව අපි මේ වේදිකාවත් එක්ක බැඳිච්ච මිනිස්සුනේ. වේදිකාවෙන් තමයි අපි ජීවිතයට පන්නරය ලබාගත්තේ. ඒක හින්දා මොන මාධ්‍ය තුළ සැරිසැරුවත් වේදිකාව අමතක කරන්නට බැහැ. ඒ බැරි නිසාම මේ දුෂ්කර කාරණාවට මුල පිරුවා. ඒ නිසාම අවස්ථාවක් ලැබුණා වේදිකා නාට්‍යයක් කරන්න. මේක වේදිකාවට සම්බන්ධ කිහිපදෙනෙකුගේ එකතුවක්. ඒක නිසාම අවුරුදු 12කට පස්සේ 12 වැනි කාමරය හදනවා. මේක ටිකක් වෙනස් කතාන්දරයක්. ප්‍රේක්ෂකාගාරයට දැනේවි. අපිටත් වෙනස් හැඩයක් තියෙන නාට්‍යයක් බවට පත්වේවි.
12 වැනි කාමරයේ කතා වෙන්නේ මොනවගේ කාරණාද?
දැන් මොකද වර්තමානයේ හරියට කාමරත් එක්ක ප්‍රශ්න තියෙනවානේ. කාමරවල මිනිස්සු මැරෙනවා. ඊට පස්සේ ඒ ගොල්ලන්ව දාලා යනවා පොලිසියෙන් හොයනවා. කාමරවලට පොලිසියෙන් පනිනවා. එහෙම අර්බුද ගොඩකනේ අපි ඉන්නේ. ඒක නිසාම මේක කාලීන ප්‍රශ්නයක් වෙයි කියලා අපිටත් හිතෙනවා. කතාන්දරය කිව්වොත් ප්‍රේක්ෂකාගාරයට ඔය තියන කුතුහලය නැති වෙනවානේ. නමුත් කෙසේ වෙතත් මෙහෙම දේවල් වුණහම සිද්ධවෙන අලකලංචිය තමයි පෙනෙන්නේ.
12 වැනි කාමරේ අරින්න හදන කට්ටිය කවුද?
මේකේ මම ඉන්නවා. මම ඉතින් රඟපෑමට කැමැතියිනේ. ඒක නිසාම අධ්‍යක්ෂවරයා හැටියටත් නාට්‍යයේ ප්‍රධාන භූමිකාව හැටියටත් මට ඉන්න වුණා. ඊට පස්සේ අංජුලා රාජපක්ෂ, ජනක කුඹුකගේ, කුසුම් රේණු, අජිත් ලොකුගේ, ප්‍රදීප් ඇරෑගම, තාරුකී අමායා, තරංග බණ්ඩාර.
ඇත්තටම 12 වැනි කාමරේ කවදද? කොහේදිද අරින්න ලෑස්ති වෙන්නේ?
මේකට සම්බන්ධ තව කිහිපදෙනෙක් ඉන්නවා. මේ පිටපත ලිව්වේ කපිල කුමාර කාලිංග. මොකද නැතිනම් මගේ පිටපත් ගොඩක් ලිව්වේ මගේ සහෝදරයා වන අජිත් මෙන්ඩිස්. පළමු වතාවට තමයි කපිල මෙහෙම ලියන්නේ. ඊළඟට සංගීතය මෙහෙය වන්නේ රවීන් කනිෂ්ක. එයත් පළමු වතාවට තමයි වේදිකාවට සංගීතය සපයන්නේ. ඊළඟට වේදිකා පසුතල නිර්මාණය කරන්නේ සහ ආලෝකය කරන්නේ චතුර දිසානායක කියලා නව පරම්පරාවේ චරිතයක්. ජූලි මාසේ 10 වැනිදා සවස 6.45ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී.
12 වැනි කාමරේ රට වටා වගේම ලෝකය වටා අරගෙන යන්න සූදානමක් තියෙනවාද?
ඇත්තටම ඔව්. මේක නිෂ්පාදනය කරන්නේ අපේම මිත්‍රයෙක්. ඔහු මෙල්බර්න්වල ජීවත්වන අජිත් ද සිල්වා. ඔහු ජයන්ත චන්ද්‍රසිරිගේ අත් නාට්‍යයේ රඟපෑ ලංකාවට ආපුවහම විටින්විට ටෙලි නාට්‍යවල රඟපෑ ශිල්පියෙක්. ඒක හින්දා ඔහු ජීවත් වන රටේත් දර්ශන වාර සංවිධානය කරාවි. ඊට අමතරව දැනට ලංකාවේ දර්ශන වාර කිහිපයක් අපිට ලැබිලා තියෙනවා. මම හිතනවා රට වටා යන්නත් පුළුවන් වේවි.
වේදිකා නාට්‍ය කලාවට අද වෙනකොට ලොකු පිබිදීමක් තිබෙනවා නේද?
මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. වේදිකාව පෝෂණය වෙනවා. ප්‍රේක්ෂකාගාරයෙන් ඒකට ලැබෙන සහයෝගය ඉතා විශිෂ්ටයි. මම හිතන්නේ ඒක නිසාම ඉතාම හොඳ ප්‍රේක්ෂකාගාරයක් අපිට ලැබිලා තියෙනවා. ඒ පෝෂණීය අත්දැකීම වේදිකාවට සම්බන්ධ කලාකරුවෝ හැටියට අපි හැමෝටම සුබ ලකුණක්.
ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි දැවැන්තයෙක් රවීන් කනිෂ්කව සම්බන්ධ කරගන්න හිතුවේ ඇයි?
මම හිතන්නේ රවීන්ව මට හම්බ වෙනවා චිත්‍රපටයකදී. ඔහු ඇසුරු කරනකොට මට හිතුනා නව පරම්පරාවේ යමක් කරන්න පුළුවන් චරිතයක් කියලා. ඒක නිසාම මම ඔහුට ආරාධනා කරනවා, මගේ ඊළඟ නාට්‍යයේ සංගීතය මෙහෙය වන්න මල්ලි කියලා. එයා හරි කැමැත්තෙන් මේ අභියෝගය භාරගත්තා. වෙනකෙනකුට නම් වේදිකාවක කාරණාව අභියෝගයක්නේ. ඔහු ඉතාමත්ම රසවත් ප්‍රේමණීය සංගීත කණ්ඩයක් සහ ගීත රැසක් අපිට හදලා දුන්නා. මම හිතන්නේ ඒක සුවිශේෂයි. ඊළඟ පරම්පරාව අපිත් එක්ක යන්න හදාගන්න ඕනෑ.
ඔබ දිගු නිහැඬියාවකට පසුව තමයි අධ්‍යක්ෂණ කාර්යයට සම්බන්ධ වෙන්නේ?
පසුගිය කාලයේ මට වැඩිපුරම ටෙලිනාට්‍ය එක්ක ගැවසෙන්න වුණා. ඒක නිසා ජීවිතයේ පොඩ්ඩක් අවිවේකී වුණා. එහෙම වුණැයි කියලා මේක අතහරින්නත් බැහැනේ. අතහරින්න බැරි නිසාම මම සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් නාට්‍යයක රඟපානවා. රාස්ස පරාස්ස, සුභ සහ යස වගේ නාට්‍ය කිහිපයක් මගේ අතේ තියෙනවා. ඒවායේ රඟපාන නිසාම මම ටිකක් වෙනස් වූ පෝෂණයක් ලබනවා වේදිකාවෙන්. ඔය තත්ත්වය යටතේ මට හිතුණා වේදිකාවට තව දෙයක් කරන්න ඕනෑ කියලා. ඒක තමයි මේකේ ප්‍රතිඵලය. ඒක හින්දම මට ගැළපෙන නාට්‍යකරුවෝ කිහිපදෙනෙක්, නළු නිළියෝ කිහිපදෙනෙක්, රචකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් වගේ වෙනස් වෙනස් කිහිපදෙනෙක් හම්බවුණා. ඉතිං මේ වෙනසට මිනිස්සු කැමැතියිනේ. හැමෝම බලාපොරොත්තු වෙන්නෙත් වෙනසනේ. ඉතින් ඒ වෙනස යම්කිසි ප්‍රමාණයකට සාක්ෂාත් කරගන්න තමයි මේ නාට්‍ය නිර්මාණය කරන්නේ.
12 වැනි කාමරේ මොනවගේ සෙල්ලම් ද සිද්ධ වෙන්නේ?
කාමරයක එක එක සෙල්ලම් තියෙනවානේ. මේක සෙල්ලම් ලෙල්ලං වෙන වැඩක්. ඒක දකින්නම ඕනෑ. මොකක්ද වුණේ කියලා. මොකක්ද වෙන්නේ කියලා බලාගන්න. මෙහි රංග වස්ත්‍ර නිර්මාණය කරන්නේ මගේ දියණිය. මගේ අනෙක් දුවත් මෙහි රඟපානවා. හැමෝම මේ වැඩේට එකතුයි. අංග රචනාව සිදු කරන්නේ චන්දන බණ්ඩාර.
දිනේෂ් විතාන
