එයාලා මට සිරිත් මල්දම කියන නම පටබැන්දා-නේහා බාලසූරිය

gossiplanka image 2
නිවේදනය, හඬකැවීම, රංගනය, ගායනය සේම ලේඛනයටද දක්ෂතා දක්වන අපූරු යොවුන් රංගන ශිල්පිනියක් මෙවර රසඳුනට මුණගැසිණි. ඇය මේ දිනවල කාගෙත් ජනාදරයට පත් ‘සින්ටෝ” ටෙලි නාට්‍යයේ ජගන්මායි. නේහා බාලසූරිය වන ඇය සමඟ කල පිළිසඳරයි මේ.


කොහොමද නේහා මේ දවස්වල වැඩකටයුතු?


මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ රංග කලා උපාධිය හදාරන අවසන් වසරේ ශිෂ්‍යාවක්. උපාධියේ අන්තිම වැඩ කටයුතු ටිකත් කරන ගමන් රූගත කිරීම්වලට, හඬ කැවීම් වගේම ලේඛන කටයුතුත් සමබරව කර ගෙන යනවා.


කාලයක් තිස්සේ නේහා විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙන නිසා ඔබ කලාවට අලුත් කෙනෙක් නෙවෙයි ?


ඇත්තටම. මම මුලින්ම රූපවාහිනියට එන්නෙ 2020 වගේ කාලේ. ඒ ජයප්‍රකාෂ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘ලෝකා‘ කියන ටෙලි නාට්‍ය හරහා. ඊට කලිනුත් පොඩි පොඩි වැඩවලට මම සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ‘ලෝකා‘ නාට්‍ය තමයි මගේ රංගන ජීවිතේ ආරම්භය.


‘සින්ටෝ‘නාට්‍ය ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ­්‍යයක් කීවොත් මම වැරදි නෑ ?


අනිවාර්යයෙන්. මම ජනතාව අතරට ගියපු ටෙලි නාට්‍ය තමයි සින්ටෝ නාට්‍ය. ‘ලෝකා, අකුරු අස්සේ, තප්පරයක් දෙන්න, ලොකු ඉස්කෝලේ මහත්තයා‘ වගේ ටෙලි නාට්‍යවලට මම රංගනයෙන් සම්බන්ධ වුණාට ප්‍රේක්ෂකයා මං ගැන හොඳටම දැනගත්තේ සින්ටෝ නාට්‍යයේ ජගන්මාගේ චරිතයෙන්. අසංක සායක්කාර අයියා ජගන්මාගේ චරිතය ලියලා ඒ වෙනුවෙන් මාව තෝරගත්ත නිසා තමයි ප්‍රේක්ෂකයා අතර මේ තරම් ඉක්මනට මාව ජනප්‍රිය වුණේ.


ජගන්මාගේ චරිතය නේහාට අභියෝගයක් වුණාද?


මම හරි කැමතියි අභියෝගාත්මක දේවල් කරන්න. අසංක සායක්කාර අයියා මම කරපු වැඩ ගැන බලලා මට කතා කරලා ඇහුවේ මේ කතාවේ ජගන්මාගේ චරිතෙට ඔයාව ගන්න තීරණය කරලා තියෙනවා ඔයා මේක භාර ගන්න කැමතිද කියලා. මම මේ වැඩේ බොහොම සතුටින් භාර ගත්තා. ඒ චරිතය හරියට කරන්න හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා.


රංගනය ගැන ඔබට හැදෑරීමක් තියෙනවද ?


ඔව්, මම පාසලේ 9 වන ශ්‍රේණියේ ඉඳලා නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා උසස් පෙළ දක්වාම. ඒ වගේම මම උපාධිය හදාරන්නෙත් නාට්‍ය හා රංග කලාව සම්බන්ධව.


සිරිත් මල්දම කියලා නේහාට නම පටබැඳුණේ කොහොමද ?


මම පාසල් කාලේ මාධ්‍ය ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවක්. හැමදාම උදේට ඉස්කෝලේ සිරිත් මල්දම කියන්නේ මම. මම ඉස්කෝලේ ආවද නැත්ද කියලා යාළුවෝ හොයා ගන්නේ උදේට මම සිරිත් මල්දම කියන එකෙන්. එයාලා මට සිරිත් මල්දම කියලා තමයි නම පටබැන්දේ.


බොහෝ දෙනා නොදන්න කාරණාවක් තමයි නේහා හඬ කැවීම, තිර පිටපත් රචනය හා නිවේදනයටත් සම්බන්ධයි කියන දේ. ඒ ගැන දැනගන්න කැමතියි?


මම ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලි නාට්‍යවල හඬ කැවීම් වලට පාසල් කාලේ ඉඳලා සම්බන්ධ වුණා. 4 ශ්‍රේණියේ ඉඳලා තමයි මම මහින්ද අල්ගම මාමාගේ ගුවන්විදුලියේ ‘ළමා පිටිය‘ට සම්බන්ධ වෙන්නේ. ‘සමනළ ලන්ද‘, ‘චක්‍රාවාටය‘ කියන වැඩසටහන් නිවේදනය කරන්න එකතු වුණා. ගුවන් විදුලියෙන් මට ලොකු පන්නරයක් ලැබුණා. සාමාන්‍ය පෙළින් පස්සේ මම හඬ කැවීම්වලට සම්බන්ධ වෙනවා. දෙරණ, හිරු, සියත, සිරස වගේ නාළිකාවල හඬ කැවීම් වගේම වෙළඳ දැන්වීම් හඬ කැවීමත් කරනවා. ගුවන්විදුලි නාට්‍ය තිරපිටපත් රචනය මං ආරම්භ කරන්නේ අවුරුදු 19, 20 වගේ කාලෙදි. එහෙම ලියපු පළමුවෙනි ගුවන් විදුලි තිර කතා මාලාව දෙරණ ‘කෙම්මුර අඩවිය‘ ට තමයි ලියන්නේ. අවුරුදු දෙකක් විතර මම ඒකට ලීවා. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනියට මම ටෙලි ෆිල්ම් එකක් ලියනවා. ප්‍රභාත් දුශ්‍යන්ත මහත්මයා අධ්‍යක්ෂණය කරපු ‘සුරංගනාවී‘ කියන ටෙලි ෆිල්ම් එක. අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘වැඩි රස අවුරුදු‘ කියලා ක්‍රොස් ඕවර් එකක් මං ස්වාධීන රූපවාහිනියටම ලිවුවා.


ඔබට වේදිකාවත් පුරුදු තැනක් නේද?


ඔව්, සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් වෙතින් කරපු ‘සීක්‍රට් පිනෝකියෝ ,1983 නාට්‍ය, ලිලීස් මැජික් වර්ල්ඩ්, හණමිටිකාරයෝ, සීක්‍රට් සිම්පනි‘ කියන වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වුණා.


ඔබට ලැබුණු ඇගයීම් ගැන සිහිපත් කළොත් ?


ළමා සමාජ මට්ටමින් පවත්වපු නාට්‍ය තරගාවලියෙන් සමස්ත ලංකා හොඳම සහාය නිළියට හිමි සම්මානය, 2024 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ ‘ලිලීස් මැජික් වර්ල්ඩ්‘ නාට්‍යයේ ලිලීගේ චරිතයට කුසලතා සහතිකයක් මට ලැබුණා.


ඉදිරියට එන්න තියෙන වැඩ මොනවද ?


මේ දවස්වල මම හිරු නාළිකාවට ටෙලි චිත්‍රපට පිටපත් කිහිපයක් ලියා ගෙන යනවා. ඒ වගේම මම සම්බන්ධ වෙන ‘යන එන මං‘ නිර්මාණය සහ අලංක ටී කලුආරච්චි අයියගේ නිර්මාණයක් එන්න නියමිතයි.


නේහාට මේ තරම් දුර එන්න අතදුන්න අය ගැනත් මතක් කරමු නේද?


මගේ අම්මා, අක්කා, අයියා, යාළුවෝ, විහඟ මල්ලි ඇතුළු පවුලේ අයත් විශේෂයෙන් සින්ටෝ නාට්‍ය වෙනුවෙන් අසංක සායක්කාර අයියටත් ස්තුති කරන්න ඕන.


අනාගතයේදී ඔබ කුමන වෘත්තියක් තෝරා ගනීවිද ?


මගෙ බලාපොරොත්තුව කලාවෙන් ඉස්සරහට යන්න. විශේෂයෙන්ම මම කැමතියි රාමුවකට කොටු නොවී චරිතාංග නිළියක් විදිහට රංගන හැකියාව දියුණු කරගෙන පුංචි තිරය, වේදිකාව, සිනමාව කියන හැම අංශයකටම මගේ හැකියාව පෙන්නලා දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගේම මම තවදුරටත් අධ්‍යාපනය හදාරන්න කැමති අංශ කිහිපයක් තියෙනවා. ඒ අංශ සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබන්නත් බලාපොරොත්තු.

gossiplanka image 1
Previous Post Next Post